බිහිසුණු යුගයක් ගැන ලියූ ජෝන් ෆොක්ස්
බිහිසුණු යුගයක් ගැන ලියූ ජෝන් ෆොක්ස්
අතීතයේ සිදු වූ වැරදිවලින් මිනිසුන් අද පාඩමක් ඉගෙනගනියිද? නැත්නම් ඒවා නිකම්ම ඉතිහාසගත වාර්තාවක් ලෙස වැළලී යයිද? ජෝන් ෆොක්ස් නමැති ඉංග්‍රීසි ජාතික කතුවරයා ඔහුගේ ජීවිත කාලයේදී සිදු වූ බිහිසුණු ක්‍රියා ගැන වාර්තා කළා. මේ ලිපියේදී සාකච්ඡා කරන එම වාර්තාව සලකා බලන විට ඉහත සඳහන් ප්‍රශ්න ගැන ඔබත් කල්පනා කර බලන බව නිසැකයි.
ජෝන් ෆොක්ස් ඉදිරිපත් කළ වාර්තාවලට ඇතුළත් වුණේ එංගලන්තයේ කතෝලික ආගම ප්‍රතිසංස්කරණය වූ කාලයේදී සිදු වූ සිදුවීම් පෙළයි. එම වාර්තාව ඇතුළත් පොත සම්පූර්ණ කිරීමට ඔහුට වසර 25කට වඩා වැඩි කාලයක් ගත වුණා. ඉංග්‍රීසි භාෂාවටත් ඔවුන්ගේ සංස්කෘතියටත් විශාල බලපෑමක් කළ බයිබලයට පසුව තිබුණු එකම පොත වුණේ එයයි.
බිහිසුණු යුගය
වර්ෂ 1516 හෝ 1517දී එංගලන්තයේ බොස්ටන් නගරයේ ඉපදුණු ජෝන් ෆොක්ස් උපතින්ම කතෝලික භක්තිකයෙක්. මාටින් ලූතර් කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධව තම විරෝධය ප්‍රකාශ කළේත් ඒ කාලයේදියි. කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට සහ නායකත්වයට එරෙහිව මිනිසුන්ගේ විරෝධය ඒ වන විටත් එංගලන්තයේ පැතිර තිබුණා.
ජෝන් ෆොක්ස් ඉගෙනීමේ කටයුතු සඳහා ඇතුල් වුණේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයටයි. ඔහු ඉගෙනගත් විෂයන් අතරට ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂා ඇතුළත් වූ නිසා බයිබලය ලියවුණු මුල් භාෂාවෙන්ම එය අධ්‍යයනය කිරීමට ඔහුට හැකියාව ලැබුණා. තම ආගමික විශ්වාසයන් ගැන ප්‍රශ්න කිරීමට එය ඔහුට හේතුවක් වුණා. නමුත් ඔහු සමඟ විශ්වවිද්‍යාලයේ ඉගෙනගත් අනික් සිසුන් සිතුවේ ඔහු කතෝලික ආගමට පිටුපා රෙපරමාදු ආගම වැලඳගන්න උත්සාහ කරන බවයි. ඔවුන් ඒ බව විශ්වවිද්‍යාලයේ ප්‍රධානීන්ට දැන්වූ අතර සියලුදෙනාම සිටියේ ඔහු ගැන සාවධානවයි.
වර්ෂ 1543දී ෆොක්ස්ට ඉහළ උපාධියක් ලැබුණා. ඔහුට පූජකයෙකු වීමේ අවස්ථාවද උදා වී තිබුණා. නමුත් පූජක පක්ෂය විවාහ නොවී සේවය කළ යුතුයි කියා කතෝලික පල්ලිය පනවා තිබූ නීතියට ඔහු එකඟ නොවූ නිසා එම තනතුර ඔහු ප්‍රතික්ෂේප කළා. ඒ හේතුව නිසා ඔහු කතෝලික ආගමට ද්‍රෝහි වෙනවා යන සැකය තවත් වැඩි වුණා. තමා ලබමින් සිටි උසස් අධ්‍යාපනය නතර කර 1545දී ඔහු විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා අස් වුණා. පසුව ඔහු ගුරුවරයෙක් ලෙස සේවය කිරීමට පටන්ගත්තා. ඇග්නස් රැන්ඩෝල් නමැති කාන්තාව සමඟ ඔහු විවාහ වුණේ ඉන් අනතුරුවයි.
ෆොක්ස්ගේ බිරිඳ, ස්මිත් නමැති කාන්තාවක් මුහුණ දුන් කටුක අද්දැකීමක් ගැන ඔහුට පැවසුවා. තම මව් භාෂාව වන ඉංග්‍රීසි භාෂාවෙන් බයිබලය ඉගෙනගන්නවා වෙනුවට ලතින් භාෂාවෙන් එය ඉගෙනගත යුතුයි කියා ඒ කාලයේදී පූජකයන් මිනිසුන්ට අණ කර තිබුණා. නමුත් ස්මිත් දස පනත හා ස්වාමීන්ගේ යාච්ඤාව තම දරුවන්ට ඉගැන්නුවේ ඉංග්‍රීසියෙන්. ඒ නිසා ඇයව කනුවක එල්ලා පුලුස්සා දැමුවා. ඒ වරදටම චෝදනා ලැබූ තවත් හයදෙනෙකුටත් නියම වුණේ එම දඬුවමයි. සුළු වරදකට එවැනි බරපතළ දඬුවමක් දීම ගැන මහජනයා කුපිත වුණා. ඒ නිසා බිෂොප්වරයා බොරු කතාවක් මහජනයා අතර පැතුරුවා. එනම් සිකුරාදා දවස්වල හා නිරාහාරව සිටිය යුතු දවස්වල ඔවුන් මස් අනුභව කිරීමෙන් බරපතළ පාපයක් සිදු කළ බවයි.
එලෙස මරා දැමූ අය බයිබලයේ ඇති තොරතුරු ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙනගත්තේ කොහොමද? ඊට වසර 150කට පෙර පල්ලියේ විරුද්ධවාදිකම් මැද ජෝන් වයික්ලිෆ් නමැති පුද්ගලයා ලතින් භාෂාවෙන් තිබූ බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. එය මහජනයාට ඉගැන්වීමට ඔහු කණ්ඩායමක්වද පුහුණු කළා. ඔවුන් බයිබලයේ යම් කොටස් පිටපත් කරගෙන තැනින් තැනට ගොස් ඒවා මහජනයාට කියෙව්වා. නමුත් ඊට විරුද්ධ වූ පාර්ලිමේන්තුව 1401දී පනතක් ගෙනාවා. ඒ පනතට අනුව කතෝලික ආගමට ද්‍රෝහි වන අයව සිරගත කරන්නත් වද හිංසා දෙන්නත් කණුවල එල්ලා පුලුස්සන්නත් බිෂොප්වරුන්ට බලතල ලැබුණා.
අන් අය මෙන් තමාවත් අත්අඩංගුවට ගනියි කියා බිය වූ නිසා ජෝන් ෆොක්ස් ඔහුගේ පවුල සමඟ ලන්ඩන් නුවරට ගියා. එහිදී ඔහු රෙපරමාදු ආගමට පක්ෂව වැඩ කළා. ඔහු කතෝලික පල්ලියේ ඉගැන්වීම්වලට විරුද්ධව ජර්මනියේ පළ වූ පත්‍රිකා හා ලතින් භාෂාවෙන් ලියැවුණු පත්‍රිකා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඒ වගේම ඔහුද යම් පත්‍රිකා ලිව්වා.
ඊට අමතරව තැනින් තැනට ගොස් බයිබලය ගැන ඉගැන්වූ කණ්ඩායමේ ඉතිහාසය ඇතුළත් පොතක් ඔහු ලිව්වා. එය 1554දී ලියා සම්පූර්ණ කළ අතර පිටු 212කින් යුත් කුඩා පොතක් ලෙස එය ලතින් භාෂාවෙන් ප්‍රංශයේදී එළිදැක්වුවා. ඔහු ලියූ පළමුවෙනි පොත එයයි. ඉන් අවුරුදු පහකට පසු එම කුඩා පොත විශාල පිටු 750කින් යුත් පොතක් ලෙස මුද්‍රණය කළා.—එම පොත Acts and Monuments of the Church.
විරුද්ධවාදීන්ව ඝාතනය කරයි
වර්ෂ 1553දී මේරි රැජිණට එංගලන්තයේ කිරුළ හිමි වුණ අතර ඇය වසර පහක් පමණ එංගලන්තය පාලනය කළා. ඇය දැඩි කතෝලික භක්තිකයෙකු වූ අතර ඇගේ එකම අධිෂ්ඨානය වුණේ එංගලන්තය පාප්වරයාගේ අණසක යටතට පත් කිරීමයි. ඊට හේතුව එංගලන්තයේ පාර්ලිමේන්තුව විසින් 1534දී රෝමය සමඟ තිබුණු සියලුම සම්බන්ධකම් නවතා දැමීමයි. * රැජිණගේ පාලන කාලය අතරතුරදී රෙපරමාදු පල්ලියේ නායකයන් ඇතුළු තවත් 300ක්ව රෝමානු කතෝලික ආගමට ද්‍රෝහි වූ අය ලෙස සලකා ඔවුන්ව පණපිටින් පුලුස්සා දැමුවා. තවත් බොහෝදෙනෙක් සිරගෙදරදීම මිය ගියා. ඒ ආකාරයට යුරෝපයේ රෝමානු කතෝලික ආගම ප්‍රතිසංස්කරණය වන කාලයේදී දහස් ගණන් පුරුෂයන්, ස්ත්‍රීන් පමණක් නොව දරුවන්ද කුරිරු ලෙස ඝාතනය කළා.
එංගලන්තයේ තිබුණු බිහිසුණු තත්වය නිසා ජෝන් ෆොක්ස් ඔහුගේ පවුල සමඟ ස්විස්ටර්ලන්තයට පලා ගියා. ඔහු නැවතත් තම මව්බිමට පැමිණියේ මේරි රැජිණගේ සොහොයුරිය වන එලිසබෙත්ට 1558දී එංගලන්තයේ කිරුළ හිමි වීමෙන් අවුරුද්දකට පසුවයි. එලිසබෙත් රැජිණ රෙපරමාදු භක්තිකයෙක්. ඇය 1559දී පල්ලියේ සියලු බලතල ඇගේ අතට පවරාගත්තා. නමුත් 1570දී පස්වන පයස් පාප්වරයා ඇයව රෝමානු කතෝලික සභාවෙන් ඉවත් කළා. වැඩිකල් යෑමට පෙර එලිසබෙත් රැජිණව ඝාතනය කිරීමට දියත් කළ කුමන්ත්‍රණයක් හා එංගලන්තයට එරෙහිව දියත් කළ සියලු සැලසුම් හෙළි වුණා. ඒ හේතුවෙන් එලිසබෙත් රැජිණගේ අණ පරිදි එංගලන්තයේ කතෝලිකයන් සිය ගණනකට දේශද්‍රෝහීන් ලෙස චෝදනා කර ඔවුන්ව මරා දැමුවා.
යේසුස් මෙසේ පවසා තිබෙනවා. ‘ඔබේ සතුරන්ටත් නොකඩවා ප්‍රේම කරන්න. ඔබට පීඩා කරන්නන් වෙනුවෙන් දිගටම යාච්ඤා කරන්න.’ (මතෙව් 5:44) නමුත් කතෝලික හා රෙපරමාදු පල්ලි යේසුස්ගේ ඉගැන්වීම්වලට පටහැනි දේවල් මොන තරම් කර තිබෙනවාද! ඔවුන් යේසුස් දුන් ඉහත ආඥාව පිළි නොපැදීම නිසා ක්‍රිස්තියානි ධර්මයට සිදු වී තිබෙන්නේ මහා කැළලක්. ඒ ගැන බයිබලයේද මෙසේ පවසා තිබුණා. “සත්‍ය මාර්ගයට විරුද්ධව නින්දාසහගත කතා පැතිරෙනු ඇත.”—2 පේතෘස් 2:1, 2.
ෆොක්ස්ගේ කාර්යය අවසන් වෙයි
ඉංග්‍රීසියෙන් ලියවුණු ෆොක්ස්ගේ පළමු පොත 1563දී එළිදැක්වුවා. ඔහු එම පොතේ වාර්තා කළ තොරතුරු ඔහුගේ පාඨකයන් පවා ඇසින් දුටු දේවල් විය හැකියි.
ඊට අවුරුදු හතකට පසු ඔහුගේ දෙවන පොත ප්‍රකාශයට පත් කළා. එය වෙළුම් දෙකකින් යුක්තයි. පිටු 2,300කින් යුත් එම වෙළුම් දෙකෙහි පින්තූර 153ක් ඇතුළත්. ඊළඟ අවුරුද්දේදී එංගලන්ත සභාවට අයත් සියලුම පල්ලිවල හා පල්ලියේ උසස් තනතුරු දරන පුද්ගලයන්ගේ නිවෙස්වල බයිබලය සමඟ ෆොක්ස්ගේ එම පොතද තැබිය යුතු බවට එංගලන්ත පල්ලියෙන් ආඥාවක් නිකුත් කළා. නිවෙස්වල තබා තිබූ ඒ පොත් නිසා නිවසට පැමිණි ආගන්තුකයන්ටත් එහි සේවකයන්ටත් එය කියවීමට අවස්ථාව ලැබුණා. එම පොත්වල තිබූ පින්තූර නිසා කියවීමට හැකියාවක් නැති අයත් ප්‍රයෝජන ලැබුවා.
එවකට රෙපරමාදු ආගම ඇදහූ සමහරදෙනෙකුගේ මතය වුණේ කතෝලික සභාවෙන් වෙන් වීම පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඒ වෙනුවට කතෝලික ආගමට අයත් සියලුම ඉගැන්වීම්වලින් ඉවත් විය යුතුයි කියා ඔවුන් තරයේ කියා සිටියා. ෆොක්ස්ද එම මතයටම ඇලී සිටියා. නමුත් රෙපරමාදු පල්ලිය එසේ කිරීමට කැමති වුණේ නැහැ. ඊට හේතුව ඔවුන් විසින් කතෝලික ආගමට අයත් චාරිත්‍ර වාරිත්‍ර හා ඉගැන්වීම් බොහොමයක් ඒ වන විටත් ඈඳාගෙන තිබීමයි. කෙසේවෙතත් පල්ලිවලින් කළ කෲරකම් ලොවට හෙළි කිරීමට ෆොක්ස් පසුබට වුණේ නැහැ. ඔහුගේ කෘතිවල වාර්තා කළ තොරතුරු ආගම හා දේශපාලනය කෙරෙහි මිනිසුන්ගේ ආකල්පවලට ප්‍රබල බලපෑමක් ඇති කළා.
[පාදසටහන]
^ 13 ඡේ. වර්ෂ 1534දී පාර්ලිමේන්තුව විසින් නිකුත් කළ පනතක් ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “පල්ලියේ සියලුම බලතල හිමි වන්නේ හෙන්රි රජටයි. ඊට විරුද්ධ වන යම් කෙනෙක් සිටිනවා නම් ඔහුව හැඳින්නුවේ දේශද්‍රෝහියෙක් ලෙසයි. හෙන්රි රජ එම පනත සම්මත කළ දා පටන් එංගලන්තය තවදුරටත් පාප්වරයාගේ අණසක යටතේ සිටීම අවශ්‍ය වුණේ නැහැ.”—The Leading Facts of English History.
[28වන පිටුවේ කොටුව/පින්තූරය]
තේමාවට අලුත් මුහුණුවරක්
ආගමික ප්‍රතිසංස්කරණවලට විරුද්ධව කතෝලික සභාව දැඩි පියවර ගත් කාලයේදී ජෝන් ක්‍රෙස්පින් වැනි කතුවරුන්ද තම මව්බිමෙහි සිදු වූ ආගමික කෲරකම් ගැන බොහෝ තොරතුරු වාර්තා කළා. * පල්ලිය මිනිසුන්ව ඝාතනය කරනවා යන්න ඔවුන් සෘජුවම ඔවුන්ගේ කෘතිවල තේමාවේ සඳහන් කළා. පසු කාලයේදී ෆොක්ස්ගේ කෘතියත් එම අදහස ඇතුළත් තේමාවකින් හැඳින්නුවා.—එම තේමාව Foxe’s Book of Martyrs.
[පාදසටහන]
^ 24 ඡේ. වර්ෂ 2011 මාර්තු පිබිදෙව්! කලාපයේ “ආගමික කෲරකම් හෙළි කළ පොතක්” නමැති ලිපිය බලන්න.
[හිමිකම් විස්තර]
© Classic Vision/age fotostock
[27වන පිටුවේ පින්තූරය]
තැනින් තැනට ගොස් බයිබලය ගැන ඉගැන්වීමට ජෝන් වයික්ලිෆ් කණ්ඩායමක් පිටත් කරයි
[හිමිකම් විස්තර]
From the book The Church of England: A History for the People, 1905, Vol. II
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
From Foxe’s Book of Martyrs