Skip to content

පටුනට යන්න

මෙක්සිකෝවේ විශේෂිත වූ පානයක්!

මෙක්සිකෝවේ විශේෂිත වූ පානයක්!

මෙක්සිකෝවේ විශේෂිත වූ පානයක්!

● දහසයවෙනි ශතවර්ෂයේදී ස්පාඤ්ඤ ජාතිකයන් මෙක්සිකෝව ආක්‍රමණය කිරීමට පැමිණි විට ප්‍රණීත පානයක රස බැලීමට ඔවුන්ට අවස්ථාව ලැබුණා. මෙක්සිකානුවන් එය හැඳින්නුවේ පුල්කේ ලෙසයි. බීර හා සමාන එම පානයේ මත්පැන් අඩංගු වන්නේ සුළු ප්‍රතිශතයක් පමණයි. එහි එළවළුවල ඇති ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට් හා ඛනිජ ලවණද අඩංගුයි. ඒ නිසා එය පෝෂ්‍යදායි පානයක් ලෙසත් හඳුන්වනවා.

ස්පාඤ්ඤ ජාතිකයන් තම ආහාර වේල සමඟ සැර මත්පැන් වර්ග පානය කිරීමට පුරුදු වී සිටි නිසා පුල්කේ පානය පෙරා මෙස්කාල් නමින් හැඳින්වූ සැර මත්පැන් වර්ගයක් සාදාගත්තා. අද එය හඳුන්වන්නේ ටෙකීලා ලෙසයි.

ටෙකීලා මධ්‍යසාරමය පානය සාදාගන්නේ බැලූ බැල්මට අන්නාසි පැළයක පෙනුම ඇති අගාවේ නමැති පැළයෙන් ලබාගන්නා ගෙඩියකිනුයි. ඒවා වගා කරන්නේ මෙක්සිකෝවේ වියළි ප්‍රදේශවලයි. විශේෂයෙන්ම ටෙකීලා නමැති නගරයේ ආසන්නයේ ඒවා වැඩි වශයෙන් වගා කරන නිසා මෙම මධ්‍යසාරමය පානයට ටෙකීලා යන නම පටබැඳී තිබෙනවා. * එම පැලවලින් පලදාව ලබාගැනීමට නම් ඒවා වගා කර අවුරුදු 12ක් පමණ බලා සිටීමට සිදු වෙනවා. ඒ කාලය අතරතුර ගස මගින් පසේ තිබෙන ඛනිජ ලවණ විශාල ප්‍රමාණයක් උරාගන්නවා. එහි කටු සහිත කොළ කපා ඉවත් කළ විට සාමාන්‍යයෙන් කිලෝ 50ක පමණ බරැති ගෙඩියක් ලබාගත හැකියි. ටෙකීලා මධ්‍යසාර ලීටරයක් සෑදීමට එම ගෙඩියෙන් කිලෝ හතක් පමණ අවශ්‍යයි. මෙක්සිකෝවේ ටෙකීලා නිෂ්පාදකයන් වසරකට ලීටර මිලියන 189ක් පමණ නිෂ්පාදනය කරනවා. ඉන් සියයට 40ක්ම අපනයනය කරනවා.

මෙක්සිකානු ජාතිකයන් ටෙකීලා පානය කරන්නේ ලුණු සහ දෙහි පෙත්තක් සමඟයි. නමුත් විදේශිකයන් ඊට දෙහි යුෂ සහ වෙනත් මත්පැන් වර්ග මිශ්‍ර කර පානය කිරීමට වැඩි කැමැත්තක් දක්වනවා. * එසේ සකස් කරන ලද මධ්‍යසාර පානය ඔවුන් හඳුන්වන්නේ මාගරීටා ලෙසයි. රටවල් 90ක පමණ අලෙවි කරන ටෙකීලා මධ්‍යසාරය මෙක්සිකෝවටම විශේෂ වූ පානයක්!

[පාදසටහන්වල]

^ 4 ඡේ. මෙම ශාකයට අයත් ශාක විශේෂ 136ක් පමණ තිබෙනවා. නමුත් ටෙකීලා සෑදීමට භාවිත කරන්නේ ඉන් එක් විශේෂයක් (blue agave) පමණයි.

^ 5 ඡේ. මත්පැන් පානය කිරීම බයිබලයේ තහනම් කර නැහැ. (ගීතාවලිය 104:15; 1 තිමෝති 5:23) නමුත් ප්‍රමාණය ඉක්මවා මත්පැන් පානය කිරීම හා බේබදුකම බයිබලයේ හෙළා දකිනවා.—1 කොරින්ති 6:9, 10; තීතස් 2:3.