Skip to content

පටුනට යන්න

සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක්

සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක්

සලකා බැලිය යුතු වැදගත් ප්‍රශ්නයක්

“‘ඇත්තටම දෙවි කෙනෙක් ඉන්නවාද?’ මීට වඩා වැදගත් ප්‍රශ්නයක් මේ ලෝකයේ නැහැ.” එසේ පැවසුවේ ප්‍රවේණි විද්‍යාඥයෙක් වන ෆ්‍රැන්සිස් කොලින්ස්. එය ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් නොවේද? ටිකක් සිතන්න. දෙවි කෙනෙක් නැත්නම් අපට ජීවිතයේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. අපට මඟ පෙන්වීම් ලබා දීමට මිනිසුන්ට වඩා බුද්ධිමත් කෙනෙකුත් නැහැ.

සමහරුන් දෙවි කෙනෙකු සිටින බව සැක කිරීමට හේතු වී තිබෙන්නේ බොහෝ විද්‍යාඥයන් දෙවි කෙනෙකුව විශ්වාස නොකිරීමයි. නමුත් බොහෝදෙනෙක් එවැනි මත පිළිගත්තත් ඒවා සැමවිටම නිවැරදියි කියා පවසන්න බැහැ. ඒ ගැන අපි ඊළඟ ලිපියේ සාකච්ඡා කරනවා.

බයිබලයේ ඇති තොරතුරු සත්‍යය බව විද්‍යාවෙන් පවා ඔප්පු කළ හැකියි. නමුත් බොහෝ ආගම් බයිබලයේ ඇති සමහර දේවල් ගැන වැරදි ලෙස උගන්වා තිබෙන නිසා එම ඉගැන්වීම් විද්‍යාවට එකඟ නැති බව පෙනී ගොස් තිබෙනවා. උදාහරණයක් ලෙස අවුරුදු දහස් ගණනකට කලින් දෙවි මේ පොළොව පැය 24 දවස් හයකින් නිර්මාණය කළ බව ආගම්වල උගන්වා තිබෙනවා.

පරස්පරවිරෝධි මත නිසා ඇත්තටම දෙවි කෙනෙක් සිටිනවාද කියා සොයා බැලීම සමහරුන් අත්හැර දමා තිබෙනවා. නමුත් මිනිසුන්ගේ ජීවිතයට සෑම අතින්ම බලපාන එම වැදගත් ප්‍රශ්නය ගැන සොයා බැලීම අවශ්‍යයි කියා ඔබ සිතන්නේ නැද්ද? අප කිසි කෙනෙක් දෙවිව දැක නැති බව ඇත්තයි. ඒ වගේම මේ පොළොව නිර්මාණය කරන විට අප කිසි කෙනෙක් සිටියෙත් නැහැ. නමුත් අප නොදුටුවත් විශ්වාස කරන බොහෝ දේවල් තිබෙනවා. ඒ මොනවාද?

ස්ථිර සාක්ෂි මත ගොඩනැඟුණු විශ්වාසය

කෙනෙක් රැකියාවක් කරනවා නම් මාසයේ අවසානයේදී වැටුපක් ලැබෙයි යන විශ්වාසය ඔහුට තිබෙනවා. ගොවියෙක් වගා කරන්නේ ඉදිරියේදී හොඳ පලදාවක් ලැබෙයි යන විශ්වාසය මතයි. ඒ වගේම අපේ මිතුරන් කෙරෙහි අප විශ්වාසය තබනවා. විශ්වය භෞතික නීතිවලට අනුව දිගටම ක්‍රියා කරයි යන විශ්වාසය අපට තිබෙනවා. ඒ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ අපේ සාමාන්‍ය ජීවිතයේදී පවා සාක්ෂි තිබෙන සෑම දෙයක්ම අප විශ්වාස කරන බවයි.

බයිබලයේ මෙසේ පවසනවා. ‘විශ්වාසය යනු තමන් විශ්වාස කරන දේ ඇසට නොපෙනුණත් ඒවා සැබෑ බවට ස්ථිර සාක්ෂි ඇති නිසා ඒවා නිසැකව පිළිගැනීමයි.’ (හෙබ්‍රෙව් 11:1) ඔබ මුහුදු වෙරළක ඇවිදිමින් සිටිනවා කියා සිතන්න. එකපාරටම පොළොව දෙදරනවා ඔබට දැනෙනවා. ඒත් සමඟම මුහුදේ වතුර ආපස්සට යනවා ඔබ දකිනවා. ඒ දේවල් සුනාමියක් ඇති වීමට ලකුණු බව ඔබ තේරුම්ගන්නවා. සුනාමි රළ ඔබ නොදුටුවත් ඔබ දුටු ලකුණු සුනාමියක් එන බවට ස්ථිර සාක්ෂියක්. ඒ නිසා ඔබ ඉක්මනින්ම ආරක්ෂිත ස්ථානයකට දිව යනවා.

දෙවි කෙනෙක් සිටින බව විශ්වාස කිරීමත් ඒ හා සමානයි. ඔබට පැහැදිලි සාක්ෂි ලැබුණු විට දෙවිව නොදුටුවත් ඔහු සිටින බවට විශ්වාසයක් ඔබ තුළ ඇති වෙනවා. නමුත් එම සාක්ෂි සොයා බැලීමට ඔබ විද්‍යාඥයෙක් වැනි දැනුම් සම්භාරයක් තිබෙන කෙනෙක් විය යුතුමද? කොහෙත්ම නැහැ. නොබෙල් ත්‍යාගලාභියෙකු වන ව්ලැඩ්මියර් ප්‍රේලොග් මෙවැනි දෙයක් පැවසුවා. “දෙවි ගැන, ආගම ගැන සහ මරණයෙන් පසු සිදු වන දේ ගැන සාමාන්‍ය මිනිසුන්ට ඇති දැනුමවත් නොබෙල් ත්‍යාගලාභීන්ට නැහැ.”

දෙවි කෙනෙකු සිටින බවට සාක්ෂි සොයා බැලීමට නම් ඔබට අවංක හදවතක් හා සත්‍යය සෙවීමට දැඩි ආශාවක් තිබිය යුතුයි. නමුත් දැන් මතු වන ප්‍රශ්නය වන්නේ දෙවි කෙනෙකු සිටින බවට ඇති සාක්ෂි මොනවාද යන්නයි. ඒ ගැන ඊළඟ ලිපියෙන් සලකා බලමු.

[3වන පිටුවේ පින්තූරය]

ගොවියෙක් වගා කරන්නේ හොඳ පලදාවක් ලැබෙයි යන විශ්වාසය මතයි