Skip to content

පටුනට යන්න

සාක්ෂි කිරා මැන බලන්න

සාක්ෂි කිරා මැන බලන්න

සාක්ෂි කිරා මැන බලන්න

මිහිතලය මත ජීවීන්ගේ ආරම්භයවත් ජීවීන් පරිණාමය වන ආකාරයවත් අප කිසි කෙනෙක් දැක නැහැ. * එසේනම් ජීවයේ ආරම්භය පිළිබඳ සත්‍යය තොරතුරු දැනගැනීමට ස්ථිර සාක්ෂි මත විශ්වාසය තැබීමට සිදු වෙනවා. ඒ සාක්ෂිවලින් අප දැනටමත් විශ්වාස කරන දේ තහවුරු කරන්න උත්සාහ කරනවාට වඩා සාක්ෂිවලින් ඇත්තටම ඔප්පු වන්නේ කුමක්ද කියා සාධාරණව සිතීම අවශ්‍යයි.

බොහෝ අදේවවාදීන් තරයේ පිළිගන්නේ ජීවීන් බිහි වීමට යම් දෘශ්‍යමාන දෙයක් තිබිය යුතු බවයි. පරිණාමවාදියෙකු වන රිචඩ් සී. ලවොන්ටින් පැවසුවේ මෙසේයි. ‘එම මතයෙන් අපි බැහැර වෙන්නේ නැහැ. ඒ නිසා දෙවි කෙනෙක්ව කිසි ලෙසකින්වත් සම්බන්ධ කරගන්න අපි කැමති නැහැ.’ දකින දේවල් පමණක් විශ්වාස කරන අයගේ එකම විකල්පය වී තිබෙන්නේ පරිණාමයයි.

බයිබලය විශ්වාස කරන අය පවා එහි ඇති දේවල් නිවැරදිව වටහා නොගැනීම නිසා විද්‍යාව මගින් කරන නව සොයාගැනීම් ප්‍රතික්ෂේප කිරීමට පෙලඹී තිබෙනවා. උදාහරණයකට අවුරුදු දහස් ගණනකට පමණ පෙර දෙවි පොළොව නිර්මාණය කිරීමට යොදාගත්තේ පැය 24කින් යුත් දවස් හයක් බව මැවුම්වාදීන් විශ්වාස කරනවා. එම මතයට ඔවුන් ඇලී සිටීමට උත්සාහ කරන නිසා ඔවුන් විශ්වාස කරන දේට විද්‍යාවේ ඇති සාක්ෂි නොගැළපුණත් එය කෙසේ හෝ ගළපාගැනීමට වෑයම් කරනවා. ( “දවසක්’ කොතරම් දීර්ඝද?” යන නවවන පිටුවේ ඇති කොටුව බලන්න.) ඔවුන් බයිබලය ගැන සහ විද්‍යාව ගැන එවැනි අන්තවාදී අදහස් දරන විට නිවැරදි නිගමනයකට එළඹීමට ඔවුන්ට බැහැ.

සාක්ෂිවලින් තහවුරු වන්නේ කුමක්ද?

ජීවයක් ඇති වීමට දායක වන සංකීර්ණ අණුවක ආරම්භය ගැන සමහර පරිණාමවාදීන් දරන මත කිහිපයක් පහත සඳහන් වෙනවා.

1. මූලික අණු බිහි කිරීමට හේතු වන ප්‍රධාන මූලද්‍රව්‍යයන් කෙසේ හෝ සංයෝග වුණා.

2. ජීවයේ පැවැත්මට අවශ්‍ය කාර්යයන් ඉටු කිරීම සඳහා තොරතුරු ගබඩා කරන DNA, RNA හෝ ප්‍රෝටීන බිහි කිරීමට අණු නියමිත අනුපිළිවෙළට කෙසේ හෝ පෙළගැස්වී තිබෙනවා.

3. අණුවල පිටපත් සැදීමට අවශ්‍ය නිශ්චිත ක්‍රියාවලිය කෙසේ හෝ ඒ අණු විසින්ම සොයාගන්නවා. එය සිදු නොවී ජීවීන් පරිණාමය වන්නේවත් පවතින්නේවත් නැහැ.

බුද්ධිමත් කෙනෙකුගේ මැදිහත් වීමක් නැතුව ජීවයක් බිහි කිරීමට මෙතරම් සංකීර්ණ අණුවලට හැකි වුණේ කොහොමද? ඊට ප්‍රමාණවත් පිළිතුරක් දීමට පරිණාමය සම්බන්ධයෙන් කරන පර්යේෂණවලට හැකි වී නැහැ. නිර්මාතෘ කෙනෙකු ගැන විශ්වාස නොකරන ඔවුන් කියා සිටින්නේ මේ කුඩා අණු සහ ස්වාභාවික බලවේගයන්ට වෙන කිසිවෙකුට නැති පුදුමාකාර බලයක් හා බුද්ධියක් තිබෙන බවයි.

සාක්ෂිවලින් ඔප්පු වන්නේ කුමක්ද? භෞතික නීතිවලට අනුව ඕනෑම සංකීර්ණ දෙයක් කාලයත් සමඟම ක්ෂය වෙනවා. උදාහරණයකට යන්ත්‍ර හා ගෙවල් වැනි දේවල් කාලයක් ගිය පසු දිරාපත් වී විනාශ වී යනවා. ඒ හා සමානව සෛලද කාලයත් සමඟම ක්ෂය වෙනවා. * නමුත් පරිණාමවාදීන් පවසන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයක්. ඔවුන් එක් පොතක සඳහන් කර තිබෙන්නේ ‘සූර්යයාගෙන් විශාල බලශක්තියක් ලබාගැනීමෙන් පෘථිවියේ සංකීර්ණ දේවල් බිහි වූ බවයි.’—Evolution for Dummies.

යම් දෙයක් නිර්මාණය කිරීමට ශක්තිය අවශ්‍ය බව ඇත්තයි. උදාහරණයකට නිවසක් සෑදීමට ගඩොල්, ලී හා ඇණ වැනි අමුද්‍රව්‍ය තිබුණත් එය සෑදීමට යම් ශක්තියක් අවශ්‍යයි. ඒ වුණත් අවසානයේදී එය නිවසක් බවට පත් කිරීමට හැකි වන්නේ වැය කරන ශක්තිය පාලනයකින් යුතුව භාවිත කළොත් පමණයි. නමුත් පාලනයකින් තොරව ශක්තිය වැය වන විට සිදු වන්නේ විනාශයක්. * කෙසේවෙතත් සංකීර්ණ දේවල් බිහි වීමට ශක්තිය පාලනයකින් යුතුව වැය වුණේ කොහොමද කියා පැහැදිලි කිරීමට පරිණාමය විශ්වාස කරන අයට හැකි වී නැහැ.

අනික් අතට මේ විශ්වය සහ එහි සිටින ජීවීන් ‘අතිමහත් බලයක් හා ශක්තියක්’ තිබෙන බුද්ධිමත් කෙනෙකු විසින් නිර්මාණය කළා කියා කෙනෙක් විශ්වාස කරනවා නම් DNA අණුවක මෙතරම් සංකීර්ණ තොරතුරු සටහන් වුණේ කොහොමද කියා ඔහුට තේරුම්ගත හැකියි. එමෙන්ම කුඩා පරමාණුවේ සිට දැවැන්ත මන්දාකිනි පාලනය වන බලවේගයන් තිතටම සකස් වී තිබෙන ආකාරය තේරුම්ගන්නත් ඔහුට හැකියි. *යෙසායා 40:26.

විශ්වයට ආරම්භයක් තිබුණු බව බොහෝදෙනෙක් විශ්වාස කරනවා. විශ්වයේ ආරම්භය ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.”—උත්පත්ති 1:1.

විද්‍යාවේ කරන නව සොයාගැනීම් නිසා ජීවීන් බිහි වීමට දායක වුණේ දෘශ්‍යමාන දේවල් පමණක් යන මතය ඔප්පු කිරීමට දිනෙන් දින අපහසු වෙනවා. ඒ නිසා තමන් විශ්වාස කරන දේ සත්‍යයද කියා කල්පනා කර බැලීමට අදේවවාදීන්ට සිදු වී තිබෙනවා. * කලින් අදේවවාදීන්ව සිටි අය විශ්වයේ ඇති පුදුමසහගත දේවල් නිරීක්ෂණය කිරීමෙන් ඒවා දෙවිගේ “ගුණාංග” හා ‘සදාතනික බලයට’ සාක්ෂි බව තේරුම්ගෙන තිබෙනවා. (රෝම 1:20) ඔබත් මේ පිළිබඳව හොඳින් කල්පනා කර බැලීම වැදගත් කියා සිතන්නේ නැද්ද! *

[පාදසටහන්වල]

^ 2 ඡේ. ජීව විද්‍යාඥයෙකු වන අර්න්ස්ට් මයර් පරිණාමය තදින්ම විශ්වාස කළත් ඔහු පවසන්නේ “පොසිල වාර්තා බලද්දී ජීවීන් ක්‍රමානුකූලව පරිණාමය වී ඇති බව කියන්න බැහැ” කියායි. ඉන් පැහැදිලි වන්නේ අලුත් ජීවීන් එක පාරටම බිහි වී ඇති බවයි.

^ 11 ඡේ. ඕනෑම දෙයක් කාලයත් සමඟම ක්ෂය වීම විද්‍යාඥයන් හඳුන්වන්නේ තාපගති විද්‍යාවේ දෙවන නියමය ලෙසයි.

^ 12 ඡේ. විකිරණ හෝ වෙනත් රසායනික විපර්යාසවලට ලක් වීම නිසා DNAවල යම් විකෘති වීම් සිදු විය හැකියි. එම විකෘති වීම නිසා ජීවීන්ගේ යම් වෙනස්කම් දකින්න ලැබෙනවා. නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස අලුත් සත්ව විශේෂයක් ඇති වන්නේ නැහැ.—වර්ෂ 2006 සැප්තැම්බර් පිබිදෙව්! කලාපයේ “පරිණාමය සත්‍යයක්ද?” යන ලිපිය බලන්න.

^ 13 ඡේ. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? යන පොත බලන්න.

^ 15 ඡේ. වර්ෂ 2010 නොවැම්බර් පිබිදෙව්! කලාපයේ “එදා මම දෙවි කෙනෙකුව විශ්වාස කළේ නැහැ” යන ලිපිය බලන්න.

^ 15 ඡේ. ජීවය ආරම්භ වුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද කියා දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයට පත් කර ඇති සියල්ල ඇති වුණේ අහම්බෙන්ද? සහ ජීවයේ ආරම්භය—වැදගත් ප්‍රශ්න පහකට පිළිතුරු යන සඟරා බලන්න.

[8වන පිටුවේ කොටුව]

පරිහානියක්ද දියුණුවක්ද?

DNA අණුවක ඇති ජෙනෝමය දිනෙන් දින පරිහානියට ලක් වන බව විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. එසේනම් මිනිසුන් දියුණු වෙනවා යන පරිණාමවාදීන් දරන සංකල්පය ඊට පටහැනියි. නමුත් මිනිසුන්ව නිර්මාණය කළේ දෙවි නම් මිනිසුන් පරිහානියට ලක් වන්නේ ඇයි? විද්‍යාවෙන් පිළිතුරු දීමට නොහැකි එම ප්‍රශ්නයට බයිබලයේ මෙවැනි පිළිතුරක් සඳහන් වෙනවා. “එක් මිනිසෙකු පව් කළ නිසා මුළු මිනිස් වර්ගයාටම පව්කාර ස්වභාවය ඇතුල් විය. එහි ප්‍රතිඵලය මරණයයි.” (රෝම 5:12) ජෙනෝමයක් පරිහානියකට ලක් වීම පරිණාමය යන සංකල්පයට පටහැනි වුණත් බයිබලයේ අදහසට එකඟයි. ඉන් අදහස් කරන්නේ ජෙනෝමය දිගටම පරිහානියට ලක් වෙයි කියාද? කොහෙත්ම නැහැ. ළඟදීම මිනිසුන් පරිහානියට ලක් කරන හේතු සියල්ලම දෙවි නැති කරන බවට පොරොන්දු වී තිබෙනවා. කිසි ලෙසකින්වත් පරිණාමයෙන් සිදු විය නොහැකි දෙයක් අපේ නිර්මාතෘ වන දෙවි ඉටු කරනවා.—එළිදරව් 21:3, 4.

[9වන පිටුවේ පින්තූරය]

 ‘දවසක්’ කොතරම් දීර්ඝද?

බයිබලයේ “දවස” කියා සඳහන් වන විට සමහර අවස්ථාවලදී ඊට යම් කාලපරිච්ඡේද ඇතුළත්. උදාහරණයකට දෙවි සියලු දේ නිර්මාණය කිරීම සඳහා දවස් හයක් යොදාගත්තා. නමුත් උත්පත්ති 2:4හි එම දවස් හය විස්තර කර තිබෙන්නේ ‘දවසක්’ ලෙසයි. නිර්මාණය කිරීම සඳහා යොදාගත් ඒ එක් එක් දවස අවසානයේදී දවස අවසන් විය කියා පවසා තිබුණත් හත්වන දවස අවසානයේදී එය අවසන් වූ බව සඳහන් වන්නේ නැහැ. ඉන් පැහැදිලි වන්නේ එම දවස තවමත් අවසන් වී නැති බවයි. එම කරුණුවලින් පැහැදිලි වන්නේ එම දවස් පැය 24 දවස් නොවන බවයි.—උත්පත්ති 2:3; හෙබ්‍රෙව් 4:4-6, 11.

[8වන පිටුවේ පින්තූරය]

නඩත්තු නොකළොත් කාලයත් සමඟම දිරාපත් වෙයි

[8, 9වන පිටුවල පින්තූරය]

විශ්වයේ දකින්න ලැබෙන දේවල් දෙවිගේ බලය හා ගුණාංගවලට සාක්ෂියක්!