Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

ගැටලු ඇති නොවන විදිහට විනෝද වෙන්නේ කොහොමද?

ගැටලු ඇති නොවන විදිහට විනෝද වෙන්නේ කොහොමද?

ඔබ සාදයකදී වැඩියෙන්ම කිරීමට කැමති දේට ඉදිරියෙන් ✔ ලකුණක් දමන්න.

  • කන්න බොන්න

  • නටන්න

  • සෙල්ලම් කරන්න

  • අලුත් මිතුරන් ඇති කරගන්න

  • පරණ මිතුරන් මුණගැහෙන්න

  • වෙනත් ․․․․․

මිතුරන් සමඟ එකතු වී විනෝද වීමට යෞවනයන් හුඟක් කැමතියි. එහි කිසි වරදක් නැහැ. බයිබලයේ පවා එවැනි අවස්ථා ගැන සඳහන් වෙනවා.

ඔබ දන්නවාද?

  • යෝබ්ගේ පුත්‍රයන් පවුලක් ලෙස එකතු වී භෝජන සංග්‍රහයන් පැවැත්වුවා.—යෝබ් 1:4.

  • යේසුස් විවාහ උත්සවයකට සහභාගි වුණා.—යොහන් 2:1-11.

  • පළමු සියවසේ ක්‍රිස්තියානීන් එකට එකතු වී සතුටු වුණා.—ක්‍රියා 2:46, 47.

මිතුරන් සමඟ එකතු වී විනෝද වීමෙන් ඇත්තටම සතුටක් ලබන්න පුළුවන්. නමුත් සමහර අවස්ථාවලදී බලාපොරොත්තු වූ සතුට ලැබෙන්නේ නැහැ.

සැබෑ අද්දැකීමක්: “මට සාදයකට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. ඒකට ඕනම කෙනෙක්ට එන්න පුළුවන්. ඒක තිබුණේ ආරාධනා කරපු පිරිමි ළමයාගේ ගෙදරමයි. එයාගේ අම්මයි තාත්තයි එදා ගෙදර හිටියේ නැහැ. මම තීරණය කළා ඒ සාදයට නොයන්න. මම ඒ ගැන සතුටු වුණා. මොකද ඊළඟ දවසේ මට ආරංචි වුණා ඒ සාදයේදී හුඟක් අය වෙරි වෙනකල් බිව්වා කියලා. පිරිමි ළමයි තුන්දෙනෙක් වැටිලත් ඉඳලා තියෙනවා. ලොකු රණ්ඩුවකුත් ඇති වෙලා තියෙන නිසා පොලීසිය ඇවිත් ඒ සාදය නතර කරලා.”—ජෙනෙල්.

පාඩම අප සාදයකින් බලාපොරොත්තු වන්නේ සතුටක්. නමුත් සාදයක් අවසන් වීමෙන් පසු අපට ඒ ගැන තිබෙන්නේ අමිහිරි මතකයන් නම් ඉන් කිසි ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබ සාදයක් පැවැත්වීමට සැලසුම් කරනවා නම් නැත්නම් ඔබට සාදයකට ආරාධනාවක් ලැබී තිබෙනවා නම් ඊළඟ පිටුවල ඇති ප්‍රශ්න ගැන සලකා බලන්න.

සාර්ථක ප්‍රතිඵල ලැබූ අය

“මගේ යාළුවෙක් සාදයක් පැවැත්තුවා. අපි කරන හැම දෙයක් ගැනම එයාගේ අම්මා හිටියේ හොඳ කල්පනාවෙන්. සැරයක් මම ගෙයින් එළියට යද්දි එයාගේ අම්මා ඇහුවා ඔයා කොහේද යන්නේ කියලා. මට හිතෙන්නේ ඒක ඇත්තටම අපිට ආරක්ෂාවක්. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා දුක් වෙනවට වඩා එහෙම හොයලා බලන එක කොච්චර හොඳද!”—කිම්.

“මම ගිහින් තියෙන හුඟක් සාදවල කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මොකද ඒවාට අවේ මගේම වයසේ අය විතරක් නෙමෙයි. අනික ඒවායේ සංවිධානය කරලා තිබුණේ ඇවිල්ලා ඉන්න හැමෝටම හවුල් වෙන්න පුළුවන් දේවලුයි. ඒ නිසා තනි වෙලා දේවල් කරන්න කාටවත් අවස්ථාවක් ලැබුණේ නැහැ.”—ඇන්ඩ්‍රියා.