Skip to content

පටුනට යන්න

ගැඹුරින් කල්පනා කළ ගෝත්‍රික නායකයෙක්

ගැඹුරින් කල්පනා කළ ගෝත්‍රික නායකයෙක්

ගැඹුරින් කල්පනා කළ ගෝත්‍රික නායකයෙක්

● අන් අයගේ මතකයේ රැදෙන්න ඔබ කැමති කොයි වගේ කෙනෙක් ලෙසද? ඔබේ නම කියූ සැණින් අන් අයගේ මතකයට නැඟෙන්නේ කුමක්ද? සමහරුන් තමන්ටම කියා හොඳ නමක් දිනාගැනීම සඳහා විද්‍යාව, දේශපාලනය, ක්‍රීඩා හා කලා වැනි ක්ෂේත්‍රවල හිනිපෙත්තටම නැඟීමට උත්සාහ කරනවා. නමුත් කෙනෙකු ප්‍රසිද්ධ වුණේ බුද්ධිමත් ප්‍රශ්න ඇසූ කෙනෙකු ලෙස නම් ඔබට ඒ ගැන හැඟෙන්නේ කොහොමද?

අවුරුදු 500කට පමණ පෙර මධ්‍යම ඇමරිකාවේ ජීවත් වූ මිනිසෙක් ඇසූ ප්‍රශ්නවලින් ඔහු ගැඹුරින් සිතා බලන කෙනෙක් බව පැහැදිලි වෙනවා. ගෝත්‍රික නායකයෙකු වූ ඔහුගේ නම නිකරාවෝ. ඔහු ජීවත් වූ ප්‍රදේශයටත් ඔහුගේ ගෝත්‍රිකයන්ටත් එහි විශාල විටලත් නම් ලැබුණේ ඔහුගේ නම මුල් කරගෙනයි. වර්තමානයේ “නිකරගුවාව” යන රටට ඒ නම ලැබී තිබෙන්නේත් ඔහුගේ නමින් කියා සිතිය හැකියි.

නිකරාවෝ ගෝත්‍රිකයන් ජීවත් වුණේ පැසිෆික් සාගරයත් විශාල නිකරගුවාව විලත් අතර බිම් තීරයේයි. කොලොම්බස් විසින් ඇමරිකාව සොයාගෙන ටික කාලයකට පසු ස්පාඤ්ඤ දේශ ගවේෂකයන් නිකරාවෝ ගෝත්‍රිකයන් සිටි ප්‍රදේශ ගවේෂණය කිරීමට පැමිණියා. ක්‍රිස්තු වර්ෂ 1523දී කපිතාන් හිල් ගොන්සාලෙස් දවිල්ලා ඔහුගේ බට පිරිසත් සමඟ නිකරාවෝගේ දේශයට ඇතුල් වුණා. ඔවුන් ඇතුල් වුණේ වර්තමානයේ කොස්ටාරිකාව ලෙස හඳුන්වන රටේ උතුරු ප්‍රදේශයෙනුයි.

නුහුරු නුපුරුදු දේශයකට ඇතුල් වන විට ගවේෂකයන්ට මහත් චකිතයක් දැනෙන්න ඇති. නමුත් නිකරාවෝ ඔවුන්ව සාදරයෙන් පිළිගෙන ආගන්තුක සත්කාරය පෙන්වීම ගැන ඔවුන්ට මොන තරම් සතුටක් දැනෙන්න ඇද්ද! ඒ වගේම නිකරාවෝ ගෝත්‍රිකයන් විශාල රත්රන් ප්‍රමාණයක් ඇතුළු නොයෙකුත් දේවල් ඔවුන්ට තෑගි කළා. එම ත්‍යාගශීලී ස්වභාවය අදටත් නිකරගුවාවේ වැසියන් තුළ දකින්න ලැබෙනවා.

කාලයක් පුරා නිකරාවෝ වැදගත් ප්‍රශ්න රැසකට පිළිතුරු දැනගැනීමට මහත් ආශාවකින් සිටියා. සමහර ප්‍රශ්න ඔහුට පැනනැඟුණේ ස්පාඤ්ඤ ජාතිකයන් පැමිණීමෙන් පසුවයි. ඉතිහාස වාර්තාවල පෙන්නුම් කරන පරිදි ඔහු කපිතාන් ගොන්සාලෙස්ගෙන් මෙවැනි ප්‍රශ්න ඇසුවා.

සියලුම මිනිසුන්වයි සතුන්වයි විනාශ කළ මහා ජලගැල්මක් ගැන ඔබ අහලා තිබුණාද? දෙවියන් නැවතත් ජලගැල්මක් ගෙනෙයිද? මැරුණට පසු සිදු වන්නේ කුමක්ද? ඉර, සඳ සහ තරු ගමන් කරන්නේ කොහොමද? ඒවා අහසේ රැඳී තියෙන්නේ කොහොමද? ඒවා තියෙන්නේ කොච්චර දුරකින්ද? ඒවායේ දීප්තිය නැති වෙන්නේ කවදාද? සුළඟ හමන්නේ කොහේ ඉඳලද? එළිය සහ අඳුර, රස්නය සහ සීතල ඇති වෙන්නේ කොහොමද? අවුරුද්දේ සමහර කාලවලදී දවල් කාලය වැඩි වෙන්නෙත් අනික් කාලවලදී අඩු වෙන්නෙත් ඇයි?

එම ප්‍රශ්නවලින් පැහැදිලි වන්නේ අවට ලෝකය ගැන දැනගැනීමට ඔහු තුළ තිබූ මහත් උනන්දුවයි. ඔහුගේ ආගමික විශ්වාසයන් ගැනද බොහෝ දේවල් එම ප්‍රශ්නවලින් හෙළි වෙනවා. ඔහුට තිබුණේත් අද සිටින මිනිසුන් පිළිතුරු දැනගැනීමට කැමති ප්‍රශ්නමයි. නිකරාවෝ සහ ඔහුගේ ගෝත්‍රිකයන් විශාල ජලගැල්මක් ගැන දැන සිටි බව ඔහු ඇසූ ප්‍රශ්නවලින් පැහැදිලි වෙනවා. ඉන් අපට දෙවි ගෙනා ජලගැල්ම පිළිබඳ බයිබලයේ සඳහන් වාර්තාව මතක් කර දෙනවා.—උත්පත්ති 7:17-19.

භූතවාදය හා මිනිස් ජීවිත බිලි දීම නිකරාවෝගේ සංස්කෘතියේ මුල් බැස තිබූ දෙයක්. ඒවා ඔහුගේ හෘදය සාක්ෂියට වද දුන් බව එම ප්‍රශ්නවලින් පැහැදිලි වෙනවා. හෘදය සාක්ෂිය ගැන බයිබල් ලේඛකයෙක් වූ පාවුල් සඳහන් කළේ මෙසේයි. ‘ඔවුන්ගේ හෘදය සාක්ෂිය ඔවුන්ට කතා කරයි. ඔවුන් ඒ හඬට සවන් දී ඒ ගැන කල්පනා කර බලන විට තමන් කළ දේ හරිද වැරදිද කියා තේරුම්ගැනීමට ඔවුන්ට පුළුවන. ඒ අනුව නීතියට පදනම සපයන ප්‍රමිති ඔවුන්ගේ හදවත්වල තැන්පත් වී ඇති බව ඔවුන්ගේ ක්‍රියාකලාපයෙන් ඔප්පු වෙයි.’—රෝම 2:14, 15.

නිකරාවෝගේ රුව දැක්වෙන ස්මාරකයක් ඔහු ස්පාඤ්ඤ දේශ ගවේෂකයන්ව මුණගැසුණායයි සිතන ස්ථානයේ අද දකින්න තිබෙනවා. ජීවිතය ගැනත් අවට ලෝකය ගැනත් ඇසූ වැදගත් ප්‍රශ්නවලින් ඔහු මොන තරම් ගැඹුරින් කල්පනා කළ කෙනෙක්ද කියා අපට පැහැදිලියි. අපත් කළ යුත්තේ එය නොවේද?—රෝම 1:20.

[21වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

නිකරගුවාව

දකුණු ඇමරිකාව

අත්ලාන්තික් සාගරය