Skip to content

පටුනට යන්න

ජේම්ස් රජුගේ අනුවාදය ජනාදරයට පත් වෙයි

ජේම්ස් රජුගේ අනුවාදය ජනාදරයට පත් වෙයි

ජේම්ස් රජුගේ අනුවාදය ජනාදරයට පත් වෙයි

මෙම වසරේ මැයි මාසයේදී එංගලන්තයේ ජාතික උරුමයක් වෙනුවෙන් උත්කර්ෂවත් සැමරීම් සිදු කළා. එහි මුල් තැන ගෙන කටයුතු කළේ චාල්ස් කුමරුයි. එම සැමරීම් සඳහා විශේෂ රූපවාහිනී හා ගුවන්විදුලි වැඩසටහන්, දේශන, සම්මන්ත්‍රණද පැවැත්වුවා. එම විශේෂ සැමරීම කුමක්ද?

එය නම් ක්‍රිස්තු වර්ෂ 1611 මැයි මාසයේදී ප්‍රකාශයට පත් කළ ජේම්ස් රජුගේ බයිබල් අනුවාදයට වසර 400ක් පිරීම නිමිත්තෙන් පැවැත්වූ සැමරීමයි. එංගලන්තයේ පළමුවෙනි ජේම්ස් රජුගේ නම දරන එම අනුවාදය එතරම් ජනප්‍රිය වීමට හේතුව කුමක්ද?

පරිවර්තන කටයුතු ඇරඹෙයි

ක්‍රිස්තු වර්ෂ 1382දී ජෝන් වයික්ලිෆ් ලතින් භාෂාවෙන් තිබූ බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. එතැන් සිට අවුරුදු 200ක පමණ කාලයක් පුරා ඔහුගේ අනුගාමිකයන් ඉංග්‍රීසි බයිබලයේ කොටස්වල අත්පිටපත් රට පුරා බෙදාහැරියා. එහි ප්‍රතිඵලයක් ලෙස 1500 ගණන්වල මැද භාගය වන විට යුරෝපය පුරාම සිටි මිනිසුන් තුළ බයිබලය ගැන ඉගෙනගැනීමට මහත් ආශාවක් ඇති වුණා.

බයිබල් විශාරදයෙක් වූ විලියම් ටින්ඩේල් 1525දී බයිබලයේ අලුත් ගිවිසුම, එය ලියූ මුල් භාෂාව වන ග්‍රීක භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. වර්ෂ 1535දී මයිල්ස් කවඩේල් විසින් සම්පූර්ණ බයිබලයම ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඊට අවුරුද්දකට කලින් අටවන හෙන්රි රජු රෝමානු කතෝලික සභාව සමඟ තිබූ සියලුම සම්බන්ධකම් නවතා දමා තිබුණා. ඉන්පසු එංගලන්ත සභාවේ නායකයා ලෙස තම බලය තහවුරු කරගැනීමට උපක්‍රමයක් ලෙස ඔහු ඉංග්‍රීසි භාෂාවට තවත් බයිබල් පරිවර්තනයක් කරන ලෙස අණ කළා. විශාල වෙළුමක් වූ එම බයිබලය 1539දී මුද්‍රණය කළ අතර එය හැඳින්නුවේ මහා බයිබලය ලෙසයි.

කතෝලික සභාවෙන් පැමිණි පීඩා නිසා යුරෝපයේ විවිධ ප්‍රදේශවල ජීවත් වූ රෙපරමාදු භක්තිකයන් ස්විට්සර්ලන්තයේ ජෙනීවා නගරයට පලා ගියා. වර්ෂ 1560දී කියවීමට පහසු මුල්ම ඉංග්‍රීසි බයිබලය වූ ජෙනීවා බයිබලය එහිදී එළිදැක්වුවා. එහි තවත් විශේෂත්වයක් වුණේ එය පරිච්ඡේද හා ඡේදවලට වෙන් කර තිබීමයි. එම බයිබලය යුරෝපයේ සිට එංගලන්තයට ගෙනා අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වුණා. වර්ෂ 1576දී එම බයිබලය එංගලන්තයේම මුද්‍රණය කිරීමට පටන්ගත්තා. එහි තිබූ සිතියම් හා හරස් යොමු සටහන් බයිබලය තේරුම්ගැනීමට උපකාරවත් වුණා. නමුත් පාප්වරුන්ගේ පාලනයට විරුද්ධව යම් අදහස් එම යොමු සටහන්වල තිබුණු නිසා සමහරු ඊට අප්‍රසාදය පළ කළා.

අභියෝගයක් ජය ගනියි

මහා බයිබලය මිනිසුන්ගේ සිත දිනා නොගත් නිසාත් ජෙනීවා බයිබලයේ තිබූ මතභේදයට තුඩු දෙන පාදසටහන් නිසාත් බයිබලය නැවත සංශෝධනය කිරීමට තීරණය කළා. මෙවර පරිවර්තන කටයුතු බාර දුන්නේ එංගලන්ත සභාවේ බිෂොප්වරුන්ටයි. ඔවුන් ඒ සඳහා පදනම් කරගත්තේ මහා බයිබලයයි. බිෂොප් බයිබලය ලෙස හැඳින්වූ එම සංශෝධනය 1568දී එළිදැක්වුවා. එහි බොහෝ පින්තූර අඩංගු වූ අතර එය විශාල පොතක්. කෙසේවෙතත් ආගමික තනතුරු හෙළා දුටු කැල්වින්වාදීන් “බිෂොප්” යන වචනය එහි භාවිත කර තිබීම ගැන අකමැත්ත පළ කළා. ඒ නිසා මෙම බයිබලයට එංගලන්තයේ මිනිසුන් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ.

වර්ෂ 1603දී එංගලන්තයේ කිරුළ හිමි කරගත් පළමුවෙනි ජේම්ස් රජුගේ * අණ පරිදි අලුත් බයිබල් පරිවර්තනයක් කළා. මතභේද ඇති කරන සටහන් හෝ අදහස් සියල්ල ඉවත් කර එම පරිවර්තනය කළ යුතුයි කියා ඔහු පැවසුවා.

ජේම්ස් රජු එම පරිවර්තන කාර්යයට පූර්ණ අනුග්‍රහය දැක්වූ අතර එංගලන්තයේ ස්ථාන හයකදී විශාරදයන් 47දෙනෙක් බයිබලයේ පිටපත් සකස් කළා. ටින්ඩේල් සහ කවඩේල් යන අයගේ පරිවර්තන භාවිත කරමින් ඔවුන් බිෂොප්වරුන්ගේ බයිබලය සංශෝධනය කළා. ඒ සඳහා ඔවුන් යොදාගත්තේ ජෙනීවා බයිබලය හා 1582දී කළ රෝමානු කතෝලික රීම්ස් අලුත් ගිවිසුමයි.

බයිබල් විශාරදයෙක් ලෙස ජේම්ස් රජු බයිබලය පරිවර්තනය කිරීමට දුන් දායකත්වය නිසා එහි මුල් පිටුවේ මෙසේ සඳහන් වුණා. “අති උතුම් ඉතා බලවත් ජේම්ස් කුමරු වෙත ගෞරවයෙන් පුදමු.” එංගලන්ත සභාවේ නායකයා ලෙසත් රටේ නායකයා ලෙසත් බයිබලය පරිවර්තනය කිරීම සඳහා ඔහුගේ කැප වීම ජනයා සැලකුවේ මුළු මහත් ජාතියම එක්සත් කිරීමට දැරූ වෑයමක් ලෙසයි.

විශිෂ්ට පරිවර්තනයක්

පල්ලියේ කියවීම සඳහා බයිබලයක් රජුගේ අතින්ම ලැබීම ගැන පූජකයන් සතුටු වුණා. කෙසේවෙතත් ජේම්ස් රජුගේ අනුවාදය මහජනයා කෙසේ පිළිගනියිද කියා ප්‍රශ්නයක් පැනනැගුණා.

ඒ ගැන පරිවර්තකයන් තුළ පවා යම් භයක් තිබූ බව එහි පෙරවදනෙහි දකින්න ලැබුණා. ජෙනීවා බයිබලයට මිනිසුන් හුඟක් ප්‍රිය කළත් අවුරුදු 30කට පමණ පසු ජේම්ස් රජුගේ අනුවාදයට මිනිසුන්ගේ සිත ඇදී ගියා.

ජේම්ස් රජුගේ අනුවාදය ගැන එක් පොතක සඳහන් වුණේ මෙසේයි. “මෙම අනුවාදය අතිවිශිෂ්ට පරිවර්තනයක් නිසා එය සැලකුවේ නිල අනුවාදය ලෙසයි.” (The Bible and the Anglo-Saxon People) තවත් පොතක මෙවැනි දෙයක් සඳහන් වුණා. “ඉංග්‍රීසි භාෂාව කතා කරන ක්‍රිස්තියානීන් මෙම බයිබල් පරිවර්තනය මොන තරම් ශුද්ධ පොතක් ලෙස සැලකුවාද කියනවා නම් ඔවුන් සිතුවේ එය ඇත්තෙන්ම දෙවිගෙන් ලැබුණු පොතක් කියායි. එහි ඇතුළත් තොරතුරු විවේචනය කිරීමටවත් ඒවා වෙනස් කිරීමටවත් ඉඩ නොදිය යුතු බව ඔවුන් තරයේ කියා සිටියා.”—The Cambridge History of the Bible.

ලොව පුරා ව්‍යාප්ත වෙයි

ඉංග්‍රීසි ජාතිකයන් මුලින්ම උතුරු ඇමරිකාවට පැමිණෙන විට ජෙනීවා බයිබලයද රැගෙන ආවා. නමුත් පසු කාලයේදී ඇමරිකාවේ විශාල පිළිගැනීමක් ලැබුණේ ජේම්ස් රජුගේ අනුවාදයටයි. එමෙන්ම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ලොව පුරා ව්‍යාප්ත වන විට රෙපරමාදු මිෂනාරිවරුන් මෙම අනුවාදය විවිධ රටවලට ගෙන ගියා. ඒ ඒ රටවල සිටි බයිබල් පරිවර්තකයන් තම මව් බසට බයිබලය පරිවර්තනය කිරීමට යොදාගත්තේ ජේම්ස් රජුගේ අනුවාදයයි. ඊට හේතුව බයිබලය මුලින්ම ලියූ ග්‍රීක හා හෙබ්‍රෙව් භාෂා ඔවුන් නොදැන සිටීමයි.

බ්‍රිතාන්‍යයේ පුස්තකාලය වාර්තා කරන ආකාරයට අද වන විට “ඉංග්‍රීසි භාෂාවෙන් ලොව පුරා වැඩියෙන්ම බෙදාහරින්නේ ජේම්ස් රජුගේ අනුවාදයයි.” සමහර සමීක්ෂණවලින් හෙළි වී තිබෙන්නේ ජේම්ස් රජුගේ අනුවාදයේ පිටපත් බිලියනයකටත් වඩා දැනටමත් මුද්‍රණය කර ඇති බවයි.

වෙනසක් සිදු වෙයි

පසුගිය සියවස් ගණනාව පුරා මිනිසුන් විශ්වාස කළේ නිවැරදි ලෙස පරිවර්තනය කර තිබෙන එකම බයිබලය ජේම්ස් රජුගේ අනුවාදය කියායි. එම බයිබලය 1870දී සම්පූර්ණයෙන්ම සංශෝධනය කර එංගලන්තයේදී මුද්‍රණය කළා. පසු කාලයකදී සුළු වෙනස්කම් සිදු කරමින් ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන් * නමැති අනුවාදය ප්‍රකාශයට පත් කළා. මෑතකදී එනම් 1982දී ජේම්ස් රජුගේ අනුවාදය නැවතත් සංශෝධනය කළා. එහි පෙරවදනෙහි සඳහන් වුණේ 1611 දී කළ “මුල් පරිවර්තනයේ තිබූ අලංකාර භාෂා ශෛලිය එලෙසම ආරක්ෂා කරගැනීමට” ඔවුන් විශේෂ වෑයමක් දැරූ බවයි.

ලෝකයේ වැඩියෙන්ම බෙදාහරින පොත බයිබලයයි. ඒ අතරින් ජනප්‍රියම බයිබලය ජේම්ස් රජුගේ අනුවාදයයි. ඒ නිසා මහාචාර්ය රිචඩ් ජී. මෝල්ටන් මෙවැනි අදහසක් ඉදිරිපත් කරනවා. “හෙබ්‍රෙව් හා ග්‍රීක ලියවිලිවලින් හොඳ බයිබල් පරිවර්තනයක් බිහි කිරීමට කරන්න පුළුවන් හැමදේම අපි කරලයි තියෙන්නේ. බයිබලය පරිවර්තනය කරන්නත් සංශෝධනය කරන්නත් හුඟක් මහන්සි වෙලා තියෙනවා. ඒත් අපිට එක දෙයක් අඩුයි. ඒ බයිබලය කියවන එක.”

ජේම්ස් රජුගේ අනුවාදයේ ඇති අදහස් සිත්ගන්නා අයුරින් ප්‍රකාශ කර ඇති නිසා එය විශිෂ්ට පරිවර්තනයක් බවට කිසිම සැකයක් නැහැ. කෙසේවෙතත් වැදගත් වන්නේ එහි ඇති අලංකාර භාෂා ශෛලියට වඩා එහි ගැබ් වී ඇති පණිවිඩයයි. මිනිසුන් අද්දකින ප්‍රශ්න ගැටලුවලට අවසානයක් පැමිණෙන බවට වූ පණිවිඩයද ඊට ඇතුළත්. ඔබ කුමන බයිබල් අනුවාදය භාවිත කිරීමට කැමති වුණත් බයිබලයේ ඇති වටිනා පණිවිඩය ඔබට පහදා දීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ මහත් ආශාවෙන්.

[පාදසටහන්වල]

^ 10 ඡේ. ජේම්ස් රජු උපත ලැබුවේ 1566දියි. වර්ෂ 1567දී හයවෙනි ජේම්ස් ලෙස ඔහුට ස්කොට්ලන්තයේ කිරුළ හිමි වුණා. වර්ෂ 1603දී ඔහුට එංගලන්තයේ I ජේම්ස් රජු ලෙස කිරුළ හිමි වූ විට රටවල් දෙකම ඔහු පාලනය කළා. පසුව 1604දී මහා බ්‍රිතාන්‍යයේ රජු ලෙස ඔහුව හැඳින්නුවා.

^ 21 ඡේ. “ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන් නමැති බයිබලයයන කොටුව බලන්න.

[23වන පිටුවේ කොටුව/පින්තූරය]

ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන් නමැති බයිබලය

වර්ෂ 1901දී ජේම්ස් රජුගේ අනුවාදය පදනම් කරගනිමින් ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන් අනුවාදය ප්‍රකාශයට පත් කළා. එහි පෙරවදනෙහි සඳහන් වුණේ මෙයයි. “ජේම්ස් රජුගේ අනුවාදයේ භාවිත කළ ප්‍රබල හා අලංකාර භාෂා ශෛලියට අපි ගරු කරන්නෙමු. එමනිසා එම ශෛලියෙන් බැහැර වීමට අප උත්සාහ දරා නැත.” ඒ කෙසේවෙතත් මෙම අනුවාදයේ සුවිශේෂී වෙනසක් කර තිබෙනවා.

ඒ වෙනස නම් දෙවිගේ නාමය භාවිත කිරීමට ඔවුන් ගත් තීරණයයි. ඒ ගැන එහි පෙරවදනෙහි මෙසේ සඳහන් වෙනවා. “මෙය සංශෝධනය කළ ඇමරිකානු ජාතිකයන් බොහෝ පර්යේෂණ කටයුතු කිරීමෙන් අනතුරුව ඒකමතික තීරණයකට එළඹුණා. එනම් දෙවිගේ ශුද්ධ නාමය සඳහන් කිරීමවත් සුදුසු නැහැ යන යුදෙව්වරුන් අතර තිබුණු මිත්‍යා මතය තවදුරටත් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් භාෂාවලින් සකස් කරන අනුවාදවලට බලපෑ යුතු නැති බවයි. මෑතකදී බොහෝ මිෂනාරිවරුන් සකස් කර ඇති විවිධ අනුවාදවලත් එම නාමය දක්නට ලැබීමෙන් එය තවත් තහවුරු වෙයි.”

නමුත් ඉන් අදහස් කරන්නේ යෙහෝවා යන දෙවිගේ නාමය ජේම්ස් රජුගේ අනුවාදයේ කිසිම තැනක සඳහන් නොවන බව නොවෙයි. එය ස්ථාන හතරකම එනම්, නික්මයාම 6:3; ගීතාවලිය 83:18; යෙසායා 12:2 සහ යෙසායා 26:4හි සඳහන් වෙනවා. නමුත් ඇමරිකන් ස්ටෑන්ඩඩ් වර්ෂන් අනුවාදයේ එම නාමය මුල් බයිබල් පිටපත්වල තිබූ ස්ථානවලම 7,000 වාරයක් පමණ සඳහන් වී තිබෙනවා.

[පින්තූරය]

1901

[24වන පිටුවේ කොටුව/පින්තූරය]

අවශ්‍යතාවක් සපුරයි

වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයිටි වෙනුවෙන් 1907දී ජේම්ස් රජුගේ අනුවාදය බයිබල් ශිෂ්‍යයන් විසින් සංස්කරණය කර ඇමරිකාවේදී ප්‍රකාශයට පත් කළා. එහි “බෙරීයයේ බයිබල් ගුරුවරුන්ගේ අත්පොත” නමැති උපග්‍රන්ථයක් ඇතුළත් කර තිබුණා. පසු කාලයකදී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ මුද්‍රණාලවල මෙම සංස්කරණය මුද්‍රණය කළා. වර්ෂ 1992 වන විට එහි පිටපත් 18,58,368ක් මුද්‍රණය කර තිබෙනවා.

[පින්තූරය]

1907

[24වන පිටුවේ කොටුව/පින්තූරය]

ප්‍රයෝජනවත් නව පරිවර්තනයක්

පසුගිය වසර 50 පුරාම විවිධ බයිබල් පරිවර්තන කර තිබෙනවා. ඒ අතරින් ශුද්ධ ලියවිල්ලෙහි නව ලොව පරිවර්තනය ඉතා වටිනා පරිවර්තනයක් ලෙස බොහෝදෙනා සලකනවා. එය සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් පිටපත් මිලියන 170ක් භාෂා 100කින් පමණ ලොව පුරා බෙදාහැර තිබෙනවා. බයිබලයේ පණිවිඩය පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයට එහි සිතියම්, සූචිය, උපග්‍රන්ථ හා යොමු දැක්වීම් සටහන් කර තිබීම සුවිශේෂී දෙයක්.

[පින්තූරය]

1961

[22වන පිටුවේ පින්තූරය]

1611

[22වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Art Resource, NY