Skip to content

පටුනට යන්න

දිවි ගලවාගත්තවුන්ගේ කඳුළු කතාව

දිවි ගලවාගත්තවුන්ගේ කඳුළු කතාව

දිවි ගලවාගත්තවුන්ගේ කඳුළු කතාව

ජපානයේ භූමිකම්පාව සහ සුනාමිය සියැසින් දුටුවන්ගේ සාක්ෂි.

වර්ෂ 2011 මාර්තු 11වන දින ප.ව. 2:46ට ජපානයේ සිදු වූ භූමිකම්පාව ලෝකයේ මෙතෙක් සිදු වී ඇති දරුණුතම භූමිකම්පා හතරෙන් එකක්. ඉන් අනතුරුව සිදු වූ සුනාමිය හා බිහිසුණු කම්පන නිසා සති ගණනාවක් යන තුරු මිනිසුන්ගේ හදවත් බියෙන් වෙළී තිබුණා. ඒ දරුණු ඛේදවාචකයෙන් මිය ගිය සහ අතුරුදහන් වූ අයගේ ගණන 20,000ක් පමණ වෙනවා. කෙසේවෙතත් දහස් ගණනකට තම දිවි ගලවාගැනීමට හැකි වුණා. ඔවුන්ගේ දුක්බර කතාවයි මේ.

ටාඩායූකී සහ ඔහුගේ භාර්යාව වන හාරුමී ජීවත් වුණේ මියාගි නගරයේ ඉෂිනොමකිවලයි. ඔවුන්ට ශබ්දයක් ඇසුණු අතර ඔවුන්ගේ නිවස සෙලවෙන්න පටන්ගත්තා. ටාඩායූකී මෙසේ පවසනවා. “අපි ඉක්මනටම එළියට ගියා. පොළොව පැළිලා තියෙන විදිහ දැක්කම අපිට පුදුම හිතුණා. ඒත් එක්කම අපේ ගේ එහෙට මෙහෙට පැද්දුණා. ටික වෙලාවකින් බිත්ති පැළිලා ඒකෙන් දූවිල්ල දුමක් වගේ පිට වුණා.”

එම භූමිකම්පාව සිදු වුණේ (භූමිකම්පා මධ්‍ය ලක්ෂය) මියාගි වෙරළ තීරයේ සිට කිලෝ මීටර 129ක් ඈතිනුයි. සුනාමි රළ පහර ජපානයේ පැසිෆික් වෙරළ තීරයේ කිලෝ මීටර 670ක් තරම් ප්‍රදේශයකට බලපෑවා. සමහර ස්ථානවල එම රළ අඩි 45ක් පමණ ඉහළට නැඟුණා. වෙරළ ආසන්නයේ ඉදි කර තිබූ බැමි සහ ගං ඉවුරු කඩා බිඳ දමමින් එම දරුණු රළ පහර නගරය තුළට කඩා වැදුණේ සිත් පිත් නැති ආකාරයටයි. එය නගරයේ කිලෝ මීටර 40ක් තරම් දුරකට බලපෑවා.

මුළු නගරයේම විදුලිය, ගෑස් සහ ජල සැපයුම අඩාල වුණා. නිවාස, කඩ හා කර්මාන්ත ශාලා 1,60,000ක් පමණ කැඩී බිදී රළ පහරට ගසාගෙන ගියා. විශාල ජනකායක් එනම් 4,40,000ක් පමණ පාසැල් සහ වෙනත් පොදු ස්ථානවලට ඇදී ආවේ වැල නොකැඩියි. එවැනි ස්ථාන 2,500ක් පමණ සූදානම් කර තිබුණා. තවත් බොහෝදෙනෙක් තම නෑදෑ හිතමිතුරන්ගේ නිවෙස්වල නවාතැන් ගත්තා. දහස් ගණනකට ඔවුන්ගේ දිවි අහිමි වුණා. තවත් බොහෝදෙනෙකුගේ මෘත ශරීරවත් සොයාගැනීමට හැකි වුණේ නැහැ.

අහිමිවීම් සහ සිත්තැවුල්

විශාල ජීවිත හානියක් සිදු වුණේ භූමිකම්පාවට වඩා සුනාමියෙනුයි. යොඉචී ජීවත් වුණේ ඊවාටා නගරයේ රීකූසෙන්ටාකාටාවලයි. භූමිකම්පාව සිදු වීමෙන් පසු සුනාමියක් පැමිණෙයි කියා සිතූ ඔවුන් තම දෙමාපියන්ව ආරක්ෂිත ස්ථානයක නවතා නැවත පැමිණියේ තම අසල්වැසියන්ටත් ඒ බව දැනුම් දීමටයි. නමුත් තම දෙමාපියන්ගේ ආරක්ෂාව ගැන සැක ඇති වූ නිසා යොඉචී සහ ඔහුගේ භාර්යාව වන ටාට්සූකෝ නැවතත් ඔවුන්ව බැලීමට පිටත් වෙද්දී සුනාමිය ඒ වන විට පැමිණ ඇති බව ඔවුන්ට ආරංචි වුණා.

ඔවුන් ඉක්මනින්ම වෙනත් ගොඩනැඟිල්ලකට ඇතුල් වීමට උත්සාහ කළත් දොරටුව සුන්බුන්වලින් අවහිර වී තිබූ නිසා ඊට ඇතුල් වීමට හැකි වුණේ නැහැ. ඒ මොහොතේ ඔවුන් වෙතට ඇදී එන ගොඩනැඟිල්ලක් දැක “දුවන්න!” කියා ටාට්සූකෝ කෑ ගැසුවා.

පසුව ඔවුන් උස් බිමක පිහිටි පාසැල් වත්තකට ඇතුල් වුණා. එහිදී ඔවුන්ගේ නෙත ගැටුණේ ඔවුන් සිටි පළාතම සුනාමියට ගසාගෙන යන ආකාරයයි. “අනේ, මගේ ගේ ගහගෙන යනවා” කියා ඔවුන් අසල සිටි කෙනෙක් පැවසුවා. සුනාමියෙන් පසු රීකූසෙන්ටාකාටා ගම්මානයේ ඉතුරු වුණේ හතරෙන් එකක් පමණයි. යොඉචීගේ දෙමාපියන්ද සුනාමියට බිලි වුණා. ඔහුගේ මවගේ මෘත දේහය පසුව සොයාගැනීමට හැකි වුණත් පියාගේ දේහය සොයාගැනීමට හැකි වුණේ නැහැ.

ටෝරූ රැකියාව කළේ වෙරළ තීරයට ආසන්න ප්‍රදේශයක් වූ ඉෂිනොමකිවලයි. මුල්ම භූ කම්පනය දැනුණු විට ඔහු තම වාහනයට දිව ගියේ ආරක්ෂාව සඳහායි. සුනාමියක් ඇති වෙයි කියා සිතූ ඔහු අන් අයටත් එම ස්ථානයෙන් විගස පිට වෙන්න කියා කෑ ගැසුවා.

ඔහුගේ අද්දැකීම ඔහු මෙසේ විස්තර කරනවා. “මුලින්ම මම තීරණය කළා මගේ ගෙදරට යන්න. මොකද ඒක තිබුණේ උස් තැනක. ඒත් වාහන තදබදයට මම අහු වුණා. සුනාමිය දැනටමත් ළඟ පාත නගර යට කරගෙන එනවා කියලා රේඩියෝ එකේ කියනවා මට ඇහුණා. හදිසියෙන්වත් සුනාමිය ආවොත් ගැලවෙන්න හිතාගෙන මම කාර් එකේ ජනේලය ඇරියා. ඒත් එක්කම කලුම කලු පාට අඩි හයක් විතර උස ජල කඳක් මගේ පැත්තට ආවා. මගේ ඉස්සරහ තිබුණු වාහන ඔක්කෝම මගේ පැත්තට ගහගෙන ආවා. අපි හැමෝවම නගරය පැත්තට ඇදගෙන ගියා.

“මම වාහනේ ජනේලයෙන් එළියට පැනගත්තත් තෙල්, කුණු පිරිලා තිබුණු ජල කන්දරාවට මාව ගහගෙන ගියා. මම නැවතුණේ ගරාජ් එකක් ඇතුළේ. මම පඩිපෙළ අල්ලගෙන කොහොමහරි දෙවෙනි තට්ටුවට නැග්ගා. ඒ යන ගමන් මම තව තුන්දෙනෙකුවත් බේරගත්තා. එදා රෑ තිබුණු අධික සීතලෙනුත් ජල කන්දරාවෙනුත් බේරුණේ කීපදෙනයි. උදව් ඉල්ලලා කෑ ගැහුව සමහර අයව අපිට බේරගන්න බැරි වුණා.”

මිඩෝරි, ඇගේ සීයයි ආච්චියි සමඟ ඊවාටා නගරයේ කමායිෂි නම් ප්‍රදේශයේ ජීවත් වුණේ සතුටින්. ඇය උපාධියක් ලබාගෙන තිබූ අතර එය ඔත්පළ වී සිටි ඇගේ සීයාට පෙන්වීමට ඇය ඔවුන්ගේ නිවසට ගියා. ඔහු ඇගේ ඩිප්ලෝමා සහතිකය ශබ්ද නඟා කියවා ඇයට ප්‍රශංසා කළා. ඒ සෑම සතුටක්ම පැවතුණේ සුළු මොහොතකටයි.

සුනාමියක් පැමිණෙයි කියා සිතූ මිඩෝරි සහ ඇගේ මව වන යූකෝ ආරක්ෂිත තැනකට යන්න කියා සීයාට බල කළත් ඔහු එය ප්‍රතික්ෂේප කරමින් මෙසේ පැවසුවා. “මම මෙතනින් කොහේවත් යන්නේ නැහැ. කවදාවත් මේ තරම් දුරකට සුනාමියක් ඇවිල්ලා නැහැ.” ඔවුන් සීයාව ඉසිලීමට උත්සාහ කළත් එසේ කිරීමට නොහැකි වූ නිසා උපකාරයට කෙනෙකුව සොයන්න ඔවුන් පිට වුණා. ඒ වන විට සුනාමිය ඔවුන් සිටි පළාතට පැමිණ තිබූ නිසා ළඟ තිබූ කන්දට යන්න කියා මිනිසුන් කෑ ගැසුවා. සුනාමි රළ ඒ පළාතේ තිබූ ගෙවල් යට කරගෙන යන විට මිඩෝරි යටිගිරියෙන් මෙසේ කෑ ගැසුවා. “අනේ, මගේ සීයේ! අනේ, මගේ ආච්චි!” ඇගේ සීයාගේ මෘත දේහය පසුව සොයාගැනුණත් ආච්චිගේ දේහය සොයාගැනීමට හැකි වුණේ නැහැ.

අවශ්‍ය උපකාර ලබා දෙයි

ජපාන රජය විසින් විගස අවශ්‍ය උපකාර පිරිනැමීම සඳහා පොලිස් භටයන්ව හා හමුදා නිලධාරීන්ව විපතට පත් ස්ථානවලට පිටත් කළා. පුද්ගලයන් 1,30,000ක් පමණ සහනසේවා සැපයීමට ඉදිරිපත් වුණා. පසුව විදෙස් රටවල හා ජාත්‍යයන්තර සංවිධානවල උපකාරද ලැබුණා. වෛද්‍ය සේවා සපයන කණ්ඩායම් සහ ජීවිත ආරක්ෂක කණ්ඩායම් බොහොමයක් මිනිසුන්ගේ ජීවිත බේරාගැනීමට කළ හැකි උපරිමය කළා.

බොහෝ සංවිධාන තම තමන්ගේ සාමාජිකයන්ට උපකාර කරද්දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද ඔවුන්ගේ සාමාජිකයන්ගේ උපකාරයට පැමිණියා. සුනාමිය සිදු වූ සිකුරාදා දින සවස ඔවුන් සමඟ නමස්කාරයේ හවුල් වන අය ගැන සොයා බැලීමට ඔවුන් මහත් වෙහෙසක් දැරුවා. මන්ද බොහෝ පාරවල් වසා තිබූ අතර විදුලිය හා දුරකථන පහසුකම්ද විසන්ධි වී තිබුණා. එතරම් විශාල ප්‍රදේශයක විපතට පත්වූවන්ව සෙවීමත් සුළු පටු කාර්යයක් වුණේ නැහැ.

සෝමා ෆුකුෂිමාහි පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ සභාවේ වැඩිමහල්ලෙක් වූ ටාකායූකී, සිකුරාදා සවස් වන විට සොයා බැලීමට හැකි වුණේ පවුල් කිහිපයක් පමණයි. ඔහු මෙසේ පැවසුවා. “මම ඊළඟ දවසේ පාන්දර ටික දුරක් වාහනෙන් ගිහිල්ලා පස්සේ ඇවිදගෙන ගියා. අපේ සහෝදරයන්ව හොයාගෙන මම තැන් 20කට විතර ගියා. මට එයාලව හම්බ වුණාට පස්සේ මම එයාලත් එක්ක බයිබල් පද කිහිපයක් කියවලා යාච්ඤාවක් කළා.”

ඉෂිනොමකිහි ජීවත් වන ෂුන්ජි පැවසුවේ මෙවැනි දෙයක්. “අපි අපේ සහෝදරයන්ව හොයන්න කණ්ඩායම් කිහිපයක් හැදුවා. සිද්ධිය වුණ තැනට ගියාම අපි දැක්ක දේවල් අපිට වචනවලින් විස්තර කරන්න බැහැ. වාහන තිබුණේ ලයිට් කණු උඩ. ගෙවල් එක පිට එක ගොඩ ගැහිලා තිබුණා. සුන්බුන් සේරම ගෙවල්වලටත් වඩා උසට ගොඩගැහිලා තිබුණා. අපි දැක්කා වාහනයක් උඩ මිණියක් තියෙනවා. සමහරවිට රෑ තිබුණු සීතල නිසා මැරුණ කෙනෙක් වෙන්න ඇති. තවත් වාහනයක් ගෙවල් දෙකක් අතර උඩුබැලි අතට හිර වෙලා තිබුණා. ඒකේ ඇතුළෙත් මළ මිනියක් තිබුණා.”

ෂුන්ජිට සෙසු සහෝදරයන්ව සොයාගැනීමට හැකි වීම ගැන ඔහු මෙසේ පවසනවා. “එයාලව දැක්කම මට දැනුණේ ලොකු සතුටක්. එතකොට තමයි මට තේරුණේ අපි අතර මොන තරම් බැඳීමක් තියෙනවද කියලා.”

‘ඔයාලා ඉක්මනින්ම ආවා!’

යූඉ සහ මිසූකි ජීවත් වුණේ මියාගි නගරයේ මිනාමිසාන්රිකූවලයි. ඔවුන්ගේ නිවෙස් තිබුණේ එකිනෙකට යාබදවයි. මුල්ම භූ කම්පනය දැනුණු සැණින් දෙදෙනාම උස් ස්ථානයකට දිව ගියා. විනාඩි දහයක් යන්නත් කලින් ඔවුන්ගේ නිවෙස් සහ මුළු නගරයම සුනාමි රළට ගසාගෙන යනවා ඔවුන් දුටුවා.

ඔවුන්ට එහිදී තවත් සාක්ෂිකාරියක්ව මුණගැසුණා. පසුව ඔවුන් තිදෙනා එකතු වී යාච්ඤා කළා. පසුවදා උදෑසන ඔවුන්ගේ සභාවේ අයත් ළඟපාත සභාවක සිටි අයත් කන්දෙන් එහා සිටි ඔවුන්ට අවශ්‍ය කෑම රැගෙන ආවා. ඒ අවස්ථාවේදී තමන්ට දැනුණ දේ ගැන යූඉ සහ මිසූකි මෙසේ පැවසුවා. “අපි දැනගෙන හිටියා සහෝදරයෝ අපිව බලන්න එයි කියලා. ඒත් මේ තරම් ඉක්මනට එයි කියලා අපි හිතුවේ නැහැ.”

ටොමෙහි පිහිටි සාක්ෂිකරුවන්ගේ සභාවේ වැඩිමහල්ලෙක් වන හිඩෙහාරූ තාවකාලික රැඳවුම් ස්ථානයකට ගියා. ඔහු ඒ ගැන මෙසේ පවසනවා. “වෙරළ තීරයේ ඉන්න අපේ සහෝදරයන්ව හොයන්න මම මුළු රෑම වෙහෙසුණා. අන්තිමේදී පාන්දර හතරට විතර ආරංචියක් ලැබුණා පාසැලක ඔවුන් නැවතිලා ඉන්නවා කියලා. උදේ හතට විතර අපි දහදෙනෙක් විතර එකතු වෙලා ඔවුන්ට කෑම ඉව්වා. මමයි තව දෙන්නෙකුයි වාහනයකින් ඒ කෑම අරන් ගියා. හැබැයි ගොඩක් පාරවල් වහල තිබුණ නිසා එතැනට යන්න සෑහෙන මහන්සියක් ගන්න වුණා. එතැනට ගිහින් අනික් අයට උදව් කරද්දී ගෙවල් දොරවල් අහිමි වුණ අය පවා අපිට සහයෝගය දුන්නා.”

සහනය ලබා දෙයි

සාමාන්‍යයෙන් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් බයිබලය අධ්‍යයනය කිරීමට සෑම සතියකම වගේ එක්රැස් වෙනවා. බොහෝ සභාවන් ඒ සඳහා රැස් වන්නේ සිකුරාදා දවසෙයි. රීකූසෙන්ටාකාටා සභාවේ සාමාජිකයන්ද රැස්වීම් පැවැත්වුවේ සිකුරාදායි. සුනාමිය නිසා ඔවුන් රැස්වීම් පැවැත්වූ ස්ථානය විනාශ වුණා. නමුත් එහි සාමාජිකයෙක් “අපි රැස්වීම කොහොමහරි තියමු” කියා පැවසුවා. ඔවුන් ඒ සඳහා එතරම් අලාභ හානි නොවූ නිවසක් තෝරාගෙන සභාවේ සාමාජිකයන්ට දැනුම් දුන්නා.

විදුලි බලය නැති වුණත් රැස්වීම පැවැත්වීම සඳහා ජෙනරේටරයකින් අවශ්‍ය ආලෝකය ඔවුන් ලබාගත්තා. එම රැස්වීමට 16දෙනෙක් පැමිණියා. සුනාමිය නිසා තම නිවස අහිමි වූ යෞවනයෙකු වන යාසූයූකි මෙසේ පැවසුවා. “අපිට දැනුණ සතුට නිසා අපේ ඇස්වලට කඳුළුත් ආවා. මෙතනින් තමයි අපිට නියම රැකවරණය ලැබෙන්නේ.” හිඩෙකො මෙවැනි දෙයක් පැවසුවා. “විටින් විට ඇති වුණු දරුණු භූ කම්පන නිසා රැස්වීමට බාධා වුණත් අපි හැමෝම එකට එකතු වෙලා ඉද්දී අපිට පුදුම සහනයක් දැනුණා. කිසිම භයක් දැනුණේ නැහැ.”

එදා සිට ඔවුන් රැස්වීම් දිගටම පැවැත්වුවා. ඉරිදා රැස්වීමේදී දුන් ප්‍රසිද්ධ කථාවේ තේමාව වුණේ “ලෝක ව්‍යාප්ත සහෝදරත්වය මහත් විපතකින් ගැලවීම” යන්නයි.

සහන සේවා සංවිධානය කරයි

බොහෝ රජයේ ආයතන සහන සේවා සංවිධානය කළා. ටෝකියෝ නගරයේ එබිනාවල පිහිටි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලයද සහන සේවා සැපයීමට ඉක්මනින්ම පියවරගත්තා. භූමිකම්පාව සිදු වූ දවසට පසු දින ශාඛා කාර්යාලය විසින් ආපදාවට ලක් වූ ප්‍රදේශ කොටස් තුනකට බෙදුවා. සඳුදා දිනයේ ශාඛා කාර්යාලයේ සහෝදරයන් එම ප්‍රදේශවලට ගියා.

මාස කිහිපයක් යන තුරු සහන සේවා සැපයූ අතර සාක්ෂිකරුවන් ලබා දුන් සහනාධාර ටොන් ගණනාවක් විපතට පත් වූවන් අතර බෙදාහැරියා. සහන සේවා සැපයීම සඳහා මධ්‍යස්ථාන තුනකුත් ගබඩා කාමර 21කුත් වෙනත් ස්ථාන කිහිපයකුත් සූදානම් කර තිබුණා. පළමු මාස දෙක ඇතුළත ස්වේච්ඡා සේවකයන් සිය ගණනක් ආහාර, ඇඳුම් සහ වෙනත් අවශ්‍යතා ටොන් 250ක් පමණ බෙදාහැරියා. සාක්ෂිකරුවන් තමන්ට ලැබුණු සහනාධාර තම අසල්වාසීන් සමඟ බෙදාගැනීමටද අමතක කළේ නැහැ.

රීකූසෙන්ටාකාටා සභාවේ සහ ඊට යාබද සභාවක් වන ඔෆුනාටො සභාවේ සිටින යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නැවත ගොඩනඟන ලද තම නමස්කාර මධ්‍යස්ථානවලදී ජනයාට සහනය ලබා දීම සඳහා වැඩකටයුතු සැලසුම් කළා. ඒ අවට සිටි ජනයාට භූමිකම්පාව හා සුනාමිය නිසා ඇති වූ මානසික පීඩනයෙන් ගොඩ ඒමටත් තම ජීවිත නැවත ගොඩනඟාගැනීමටත් අවශ්‍ය ශක්තිය එමගින් ලැබුණා. විපතට පත් වූ ප්‍රදේශයේ සාක්ෂිකරුවන් 14,000කට වඩා ජීවත් වුණා. ඉන් 12දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර දෙදෙනෙකු අදටත් අතුරුදහන්.

මෙම ව්‍යසනයට මුහුණ දුන් සාක්ෂිකරුවන්ගෙන් බොහෝදෙනෙක් එක් පවුලක් කියූ මේ දේ සමඟ එකඟ වෙයි. “අපි ගෙදරින් එළියට බහිද්දී අපේ අතේ තිබුණේ එක බෑග් එකයි. නමුත් අවශ්‍ය අනික් හැමදේම අපේ සහෝදර සහෝදරියන් අපිට දුන්නා.” යේසුස් සහ ඔහුගේ නියෝජිතයන් පැවසූ ලෙස අද දින යෙහෝවා දෙවිගේ සේවකයන්ට සැබෑ සහෝදරත්වයක් අද්දැකීමට හැකි වී තිබෙනවා. ඒ සහෝදර බැඳීම සුනාමියකට තියා වෙනත් කිසිම ව්‍යසනයකට නැති කරන්න බැහැ.—යොහන් 13:34, 35; හෙබ්‍රෙව් 10:24, 25; 1 පේතෘස් 5:9.

[18වන පිටුවේ කොටුව/පින්තූරය]

න්‍යෂ්ටික ව්‍යසනය

සුනාමිය නිසා ෆුකුෂිමා නගරයේ පිහිටා තිබූ න්‍යෂ්ටික බලාගාරයට බරපතළ හානි සිදු වුණා. ඉන් පිට වූ විකිරණ ජපානයේ ඇතුළු අවට රටවලට බලපෑවා. ඒ අවට සිටි දහස් ගණන් ජනයාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දැනුම් දුන්නා.

මිගූමි නමැති තැනැත්තිය මෙසේ පැවසුවා. “අපේ ගේ තිබුණේ බලාගාරයට කිට්ටුවයි. භූමිකම්පාවට පස්සේ බලාගාරයට හානි වුණා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒ නිසා අපිට එතැනින් වහාම පිට වෙන්න කියලා අනතුරු ඇඟෙව්වා.” ඇගේ සහෝදරිය වන නාට්සූමි පැවසුවේ මෙවැනි දෙයක්. “අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් කරමින් හෙලිකොප්ටරයකින් ආපු අය අපි ඉන්න තැන්වලින් ඉක්මනින්ම පිට වෙන්න කියලා අපිට කිව්වා.” ඉන්පසු ඔවුන්ට ස්ථාන නවයක කඩින් කඩ නවාතැන් ගන්න සිදු වුණා. අවසානයේදී ඔවුන්ගේ නිවෙස්වලට ගොස් අවශ්‍ය දේවල් ගැනීමට පැය දෙකක පමණ කාලයක් අවසර ලැබුණා.

ෆුකුෂිමා නගරයේ නාමිවල ජීවත් වූ හැට හැවිරිදි චිකාකො මෙසේ පැවසුවා. “භූමිකම්පාව සිද්ධ වෙද්දී මම ළඟ තිබුණු ආරක්ෂිත තැනකට ගියා. එදා රෑ මටයි මගේ දරුවෝ දෙන්නටයි නින්ද ගියේ නැහැ. මොකද විටින් විට දරුණු භූ කම්පන ඇති වුණා. පහුවෙනිදා උදේ හත විතර වෙන කොට පුළුවන් තරම් ඉක්මනින් වෙනත් නගරයකට යන්න කියලා අපිට කිව්වා.

“නමුත් හැම පාරකම තිබුණේ පුදුම තදබදයක්. අපි නියමිත තැනට යද්දී හවස තුනට විතර ඇති. එතනදී අපිට දැනගන්න ලැබුණා න්‍යෂ්ටික බලාගාරය පිපුරුවා කියලා. අපි හිතාගෙන හිටියේ අපිට ඉක්මනින්ම ගෙදර යන්න ලැබෙයි කියලයි. ඒ නිසා අපි කිසිම දෙයක් අරන් ඇවිත් තිබුණේ නැහැ.” ඇයත් ඇගේ පවුලේ අයත් ස්ථිර නවාතැනක් ලැබෙන තුරු ජීවත් වුණේ තැනින් තැනයි.

[හිමිකම් විස්තර]

Photo by DigitalGlobe via Getty Images

[20වන පිටුවේ කොටුව/පින්තූරය]

අපට ඉගෙනගත හැකි පාඩම

අපි කලින් සඳහන් කළ රීකූසෙන්ටාකාටා නගරයේ සිටි යොඉචීට බොහෝ දේවල් අහිමි වුණා. ඔහු මෙසේ පවසනවා. “දේපළවලින් අපිට කිසිම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ කියලා මට ස්ථිරව කියන්න පුළුවන්.” එය යේසුස්ගේ ඉගැන්වීම් පිළිපදින අය බොහෝ කාලයක සිට පිළිගන්නා දෙයක්. මන්ද මිල මුදල් හා වස්තුවෙන් සැබෑ සතුට ලැබෙන්නේ නැති බව යේසුස් පැහැදිලිව උගන්වා තිබෙනවා.—මතෙව් 6:19, 20, 33, 34.

අපට ඉගෙනගත හැකි අනික් පාඩම නම් අනතුරු ඇඟවීම් දෙන විට විගස ඒවාට කීකරු වීමයි. එය ජීවිතයට හෝ මරණයට හේතු විය හැකියි. අනතුරු ඇඟවීම්වලට කීකරු වී ආරක්ෂිත ස්ථානවලට ගිය බෙහෝදෙනෙකුගේ ජීවිත ගැලවුණා.

[16වන පිටුවේ සිතියම/පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

ජපානය

ටෝකියෝ

කමායිෂි

රීකූසෙන්ටාකාටා

මිනාමිසාන්රිකූ

ඉෂිනොමකි

සෝමා

ෆුකුෂිමා නගරයේ න්‍යෂ්ටික බලාගාර

එබිනා

සාක්ෂිකරුවන්ගේ ශාඛා කාර්යාලය

[පින්තූර]

ඊවාටා නගරයේ රීකූසෙන්ටාකාටා

සෝමා ෆුකුෂිමා

මියාගි නගරයේ ඉෂිනොමකි

ඊවාටා නගරයේ කමායිෂි

මියාගි නගරයේ මිනාමිසාන්රිකූ

[14වන පිටුවේ පින්තූරය]

හාරුමී සහ ටාඩායූකී

[15වන පිටුවේ පින්තූරය]

යොඉචී සහ ටාට්සූකෝ

[17වන පිටුවේ පින්තූරය]

යූකෝ සහ මිඩෝරි

[17වන පිටුවේ පින්තූරය]

ටෝරූ

[17වන පිටුවේ පින්තූරය]

ටෝරූගේ වාහනය

[17වන පිටුවේ පින්තූරය]

ටාකායූකී

[18වන පිටුවේ පින්තූරය]

ෂුන්ජි

[19වන පිටුවේ පින්තූරය]

මිසූකි සහ යූඉ

[19වන පිටුවේ පින්තූරය]

හිඩෙහාරූ

[19වන පිටුවේ පින්තූරය]

සහන සේවකයන්

[20වන පිටුවේ පින්තූරය]

සුනාමියෙන් පසු රීකූසෙන්ටාකාටා නමස්කාර මධ්‍යස්ථානය

[20වන පිටුවේ පින්තූරය]

මාස තුනකට පසු අලුත්වැඩියා කටයුතු අරඹයි

[20වන පිටුවේ පින්තූරය]

නැවත ගොඩනඟන ලද නමස්කාර මධ්‍යස්ථානයක්

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

JIJI PRESS/​AFP/​Getty Images