Skip to content

පටුනට යන්න

දෙවි සතුන් ගැන සැලකිලිමත්ද?

දෙවි සතුන් ගැන සැලකිලිමත්ද?

බයිබලයෙන් පිළිතුරක්

දෙවි සතුන් ගැන සැලකිලිමත්ද?

අද වන විට සතුන් සීඝ්‍රයෙන් වඳ වීමේ තර්ජනයට ලක් වෙමින් සිටින බව බොහෝ විද්‍යාඥයන්ගේ අදහසයි. ජනගහනය වැඩි වෙනවාත් සමඟම සතුන්ට වාසය කිරීමට තිබෙන ප්‍රදේශ මිනිසුන් අත් පත් කරගැනීම, විශාල වශයෙන් මස් පරිභෝජනයට ගැනීම, කුකුල් පොර වැනි හිංසාකාරී ක්‍රීඩා සහ සුරතලේට ඇති කරන සතුන්ව නොසලකා හැරීම වැනි හේතු නිසා සතුන් විනාශ වෙනවා.

සමහරුන් සිතන්නේ ජනගහනය වැඩි වෙනවාත් සමඟම එලෙස සතුන් පිරිහීම සාමාන්‍ය දෙයක් බවයි. නමුත් දෙවි සතුන්ව නිර්මාණය කරන විට ඔහුගේ අරමුණ වුණේ එයද? සතුන්ට හිංසා කිරීමට දෙවි මිනිසුන්ට ඉඩහැර තිබෙනවාද? දෙවි සතුන් ගැන සැලකිලිමත්ද?

සැලකිලිමත් වූ බවට සාක්ෂි

දෙවි මත්ස්‍යයන්, කුරුල්ලන් හා වෙනත් සතුන් නිර්මාණය කිරීමෙන් පසු ඔහුට හැඟුණු ආකාරය බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “දෙවි එය හොඳ බව දුටුවේය.” (උත්පත්ති 1:21, 25) පුංචිම පුංචි සතාගේ සිට විශාලම සත්වයා දක්වා සියලු සතුන් දෙවිගේ සැලකිල්ල ලබනවා. දෙවි උන්ව නිර්මාණය කර තිබෙන්නේ ‘සහජ ප්‍රඥාව’ ඇතුව පමණක් නොව උන්ට ආවේණික වූ පරිසරයක කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වීමේ හැකියාවද ඇතුවයි. ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “නිසි වේලාවට ඔබ ඔවුන්ට කෑම සපයන බැවින් ඔවුහු සියල්ලෝ ඔබ දෙස බලා සිටිති. ඔබ සපයන දෙයින් ඔවුහු පෝෂණය වෙති. ඔබේ හස්තය විහිදුවා ඔබ ලබා දෙන යහපත් දෙයින් ඔවුහු තෘප්තිමත් වෙති.”—හිතෝපදේශ 30:24; ගීතාවලිය 104:24, 25, 27, 28.

කෙසේවෙතත් දෙවි සතුන්ව නිර්මාණය කළේ මුල්ම මිනිසා වූ ආදම් යටතේ ජීවත් වීමටයි. සතුන්ට සිතා බලා ක්‍රියා කිරීමේ හැකියාව නැහැ. (2 පේතෘස් 2:12; යූද් 19) නමුත් දෙවි ආදම්ව නිර්මාණය කළේ ‘දෙවිගේම ගතිලක්ෂණ ඇතුවයි.’ (උත්පත්ති 1:27; ගීතාවලිය 83:18) ඉන් අදහස් කරන්නේ දෙවිගේ අරමුණට විරුද්ධව තමන්ට කැමති ආකාරයට සතුන් කෙරෙහි අධිකාරිය පැවැත්වීමට මිනිසාට අවසර දී ඇති බව නොවෙයි.

උදාහරණයකට සතුන්ට නම් තැබීමට ආදම්ට අවස්ථාව ලැබුණේ දෙවි ඒ අවස්ථාව ඔහුට ලබා දුන් නිසයි. ඒ වගේම එක් එක් සත්වයාව මිනිසා වෙතට ගෙනාවෙත් යෙහෝවා දෙවියි. (උත්පත්ති 2:19) ඉන් පැහැදිලි වන්නේ සතුන් කෙරෙහි සැබෑ සැලකිල්ලක් දැක්වීමට හැකි වන්නේ මිනිසා දෙවිගේ මඟ පෙන්වීමට අනුව කටයුතු කරනවා නම් පමණක් බවයි.

දෙවි ඇත්තටම සැලකිලිමත්!

කනගාටුදායක ලෙස ආදම් නිර්මාතෘට අකීකරු වූ නිසා ඔහුගෙන් පැවත එන මිනිසුන්ට පමණක් නොව සියලුම ජීවීන්ට දුක්ඛිත තත්වයකට මුහුණ දීමට සිදු වී තිබෙනවා. කෙසේනමුත් සතුන්ට සැලකිය යුතු ආකාරය ගැන නිර්මාතෘ නිශ්චිත උපදෙස් ලබා දුන්නා. සතුන්ව මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා යොදාගැනීමට දෙවි පසු කාලයේදී අවසර දුන්නත් උන්ට කුරිරු ලෙස සැලකීම ඔහු කිසි ලෙසකින්වත් අනුමත කළේ නැහැ. බයිබලයේ ඒ ගැන මෙසේ සඳහන් වෙනවා. “ධර්මිෂ්ඨයා, තමා ඇති කරන සතා ගැන පවා සැලකිලිමත් වෙයි. එහෙත් දුෂ්ටයාගේ කරුණාවන්තම ක්‍රියාව පවා කෲරයි.”—හිතෝපදේශ 12:10.

සතුන්ට සැලකිය යුතු ආකාරය ගැන දෙවි පුරාණ ඊශ්‍රායෙල්වරුන්ට නීති පවා දී තිබුණා. සබත් නීතිය යටතේ සතියකට දවසක් මිනිසුන් විවේකයක් ගත යුතු වුණා. එම නීතිය නිසා ඊශ්‍රායෙල්වරුන් සතුව සිටි සතුන්ටත් ඒ දවසේදී විවේකය ලැබුණා. (නික්මයාම 23:12) එම දවසේ කිසි වැඩක් කිරීමට අවසර නොතිබුණත් සතෙකුට යම් කරදරයක් වුණොත් උන්ව බේරාගැනීමට මිනිසුන්ට අවසර දී තිබුණා. (ලූක් 14:5) ඒ වගේම වැඩ කරන විට සතුන්ගේ කටවල් නොබඳින ලෙසටත් ඉසිලීමට නොහැකි බරක් උන් පිට නොතබන ලෙසටත් දෙවි පවසා තිබුණා. (නික්මයාම 23:5; ද්විතීය කතාව 25:4) සීසාන විට සතුන් දෙදෙනාටම තුවාල විය හැකි නිසා ගොනෙකුවත් බූරුවෙකුවත් එකට නොබඳින ලෙසද දෙවි අණ කළා. (ද්විතීය කතාව 22:10) ඉන් පැහැදිලි වන්නේ සතුන්ට නිසි ආකාරයෙන් සැලකිය යුතු බව බයිබලයේ සඳහන් වී තිබෙන බවයි.

බොහෝදෙනෙක් සැලකිලිමත් වන්නේ තමන් ගැන පමණයි. උදාහරණයකට පුරාණයේ තිබූ නිනිවය නම් නගරය විනාශ කිරීම ගැන යෝනා නමැති මිනිසාට කිසිම දුකක් තිබුණේ නැහැ. නමුත් යෙහෝවා දෙවි එහි සිටි ජනයා ගැන පමණක් නොව සතුන් ගැනද සැලකිලිමත් වූ බව ඔහු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “හරි වැරැද්ද අතර වෙනස නොදන්න එක්ලක්ෂ විසිදාහකට වඩා වැඩි මිනිසුන් සහ සතුන් ප්‍රමාණයක් සිටින මේ විශාල නුවර වන නිනිවය විනාශ කිරීම ගැන මට දුක් වෙන්න අයිතියක් නැද්ද?”යෝනා 4:11.

අනාගතයේදීත් සැලකිලිමත්!

දෙවි සතුන් ගැන ඇත්තටම සැලකිලිමත්. එක ගේ කුරුල්ලෙක්වත් ඔහු නොදැනුවත්ව බිම වැටෙන්නේ නැති බව ඔහුගේ පුත්‍රයා වන යේසුස් පැවසුවා. (මතෙව් 10:29) මිනිසුන් පරිසරයට හානි නොවන ආකාරයෙන් දේවල් කිරීමට සැලසුම් කළත් සමහරවිට ඔවුන්ගේ ක්‍රියා පරිසරයට මොන තරම් හානි කරනවාද කියා ඔවුන්ට තේරුම්ගැනීමටත් නොහැකියි. ඒ නිසා සතුන්ට හොඳින් සැලකීමට නම් මිනිසුන් සිතන ආකාරය වෙනස් කරගත යුතුයි.

යෙහෝවා දෙවිගේ පාලනය යටතේ ‘ඔහු පිළිබඳ දැනුමෙන් පොළොව පිරී තිබෙන’ බව බයිබලයේ සඳහන් වෙනවා. (යෙසායා 11:9) එවැනි දැනුමක් ලබන කාලයකදී මිනිසුන්ට මේ පරිසරය හොඳින් රැකගැනීමට හැකි වෙයි. ඒ කාලයේදී දෙවිගේ මුල් අරමුණට එකඟව ඔහු නැවතත් මිනිසාට හා සත්වයාට සාමයෙන් ජීවත් විය හැකි කාලයක් ලබා දෙනවා.

ඒ කාලයේදී සිදු වන වෙනස ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඒ කාලයේදී බැටළුවා වෘකයා සමඟත් එළු පැටවා දිවියා සමඟත් බියක් නොමැතිව ජීවත් වන්නේය. වසු පැටවාද තරුණ කේශර සිංහයාද තර වස්සාද එකට ලගින්නෝය. කුඩා දරුවෙක් උන් සියල්ලන්ව බලාගන්නේය. එළදෙනත් වැලහින්නත් එකට තණ කන්නෝය. උන්ගේ පැටවුද එකට ලගින්නෝය. සිංහයාද ගොනා මෙන් පිදුරු කන්නේය. කිරි බොන දරුවා නයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය. කිරි වැරූ දරුවා විෂ සර්පයෙකුගේ ගුල තුළට අත දමන්නේය.” එය ඇත්තෙන්ම මොන තරම් ප්‍රීතිමත් කාලයක් වෙයිද!—යෙසායා 11:6-8.

මේ ගැන ඔබ සිතුවාද?

● සතුන් ගැන දෙවි සැලකිලිමත්ද?—හිතෝපදේශ 12:10; මතෙව් 10:29.

● මිනිසාට හා සත්වයාට සාමයෙන් ජීවත් විය හැකිද?—යෙසායා 11:6-9.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සතුන් ගැන සැලකිලිමත් වීමට අප සිතන ආකාරය වෙනස් කරගත යුතුයි

[11වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

La Voz de Galicia/​Fotógrafo: Víctor Mejuto