Skip to content

පටුනට යන්න

නත්තල් ගසේ ආරම්භය

නත්තල් ගසේ ආරම්භය

නත්තල් ගසේ ආරම්භය

නත්තල් ගස ගැන අප සෑමදෙනාම අසා තිබෙනවා. ආගමික විශ්වාසයන් හා බැඳි මේ ගසට තිබෙන්නේ දීර්ඝ ඉතිහාසයක්.

ස්වීඩනයේ සහ නෝර්වේ රටේ ගල්වල කොටා ඇති විවිධ ඉපැරණි පින්තූරවලින් අපට නත්තල් ගස ගැන යමක් උගන්වනවා. ඒ රටවල ස්ථාන 5,000ක පමණ එවැනි පින්තූර 75,000ක් පමණ දකින්න තිබෙනවා. පුරා විද්‍යාඥයින් පවසන්නේ ඒවා කොටා ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1,800ත් 500ත් අතර කාලයේදී බවයි. *

යේසුස්ගේ උපතට බොහෝ කාලයකට පෙර ජීවත් වූ මිනිසුන්ගේ ආගමික විශ්වාසයන් ගැන මෙම ගල්වල කොටා ඇති අලංකාර පින්තූරවලින් හෙළි වෙනවා. උදාහරණයකට පර්යේෂකයන් පවසන පරිදි වර්තමානයේ ස්වීඩනය හා නෝර්වේ ලෙස හඳුන්වන රටවල සයිප්‍රස් ගසට යම් සමානකමක් දක්වන ස්පෲස් නමැති සදාහරිත ගස පූජනීය දේවලට සංකේතයක් ලෙස භාවිත කළා.

එම රටවල ජීවත් වූ අය ස්පෲස් ගසේ පින්තූර කැටයම් කළේ ඇයි? සමහර විශාරදයන් පවසන්නේ යේසුස් ක්‍රිස්තුස් උපත ලැබීමට බොහෝ කාලයකට පෙර ඒ ගස ඉතා දුර්ලභ ගසක් කියායි. ඒ වගේම සාමාන්‍යයෙන් ශීත කාලයේදී අනික් ගස්වල කොළ හැලුණත් ස්පෲස් ගසේ කොළ හැලෙන්නේ නැති නිසා එය ඉතා අරුම පුදුම ගසක් ලෙස මිනිසුන් සැලකුවා.

විවිධ සංස්කෘතීන්වල යම් ගස්වලට විශේෂ ස්ථානයක් හිමි වෙනවා. ජීවිතයේ පැවැත්ම, සශ්‍රීකත්වය, අමරණීයභාවය වැනි දේවල් සංකේතවත් කිරීමටද එම ගස් භාවිත කර තිබෙනවා. ස්පෲස් ගසද ගල්වල කොටා තිබීමට හේතුව ඉන් අපට පැහැදිලියි.

එදා ජීවත් වූ මිනිසුන් ස්පෲස් ගස කැටයම් කිරීමට තවත් හේතුවක් ගැන එක් පොතක මෙසේ සඳහන් වුණා. “ගල්වල කැටයම් කර තිබූ ගස්වල රූපවලින් පැහැදිලි වන්නේ ලෝකඩ යුගයේ තරම් ඈත අතීතයේදී (ක්‍රිස්තු පූර්ව 3500 සිට 1200 දක්වා) යුරෝපයේ උතුරු ප්‍රදේශයේ රටවල ජීවත් වූ මිනිසුන්ගේ ජීවිතවල ආගම හා සංස්කෘතිය වැදගත් දෙයක් වී තිබූ බවයි.”—Rock Carvings in the Borderlands.

බටහිර ස්වීඩනයේ කෞතුකාගාරයක තිබූ පොතකද මෙවැනි දෙයක් සඳහන් වී තිබුණා. “ගල්වල කැටයම් කළ අයට අවශ්‍ය වුණේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය දේවල් නිරූපණය කිරීමට නොවේ. ඒ වෙනුවට දෙවිවරුන්ට කරන කන්නලව් මෙන්ම සශ්‍රීකත්වය, මරණය සහ නැවත ඉපදීම වැනි ජීවිතයේ වැදගත් අවස්ථා කැටයම් කිරීමයි.”—The Rock Carving Tour.

යුරෝපයේ මිනිසුන් අකුරු භාවිත කිරීමට පෙර කළ ගල් කැටයම් ගැන එක් විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වුණා. “ඒ කාලයේ සිටි මිනිසුන් ගල්වල, ගස්වල රූ රටා කැටයම් කිරීමෙන් ලිංගිකත්වය හුවා දැක්වීමට උත්සාහ කළා. ඉන් පැහැදිලි වන්නේ ඔවුන්ගේ ඇදහිලි ක්‍රමවලට බෝ වීම හා සශ්‍රීකත්වය වැදගත් අංගයක් වූ බවයි.”—Nationalencyklopedin.

පසු කාලයකදී සදාහරිත ගස් විවිධ සංස්කෘතීන්වල චාරිත්‍ර වාරිත්‍රවලට ඇතුළත් වුණා. නත්තල් ගස ගැන එක් විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වුණා. “යුරෝපයේ මිත්‍යා විශ්වාස ඇති බොහෝදෙනෙක් ගස්වලට වන්දනාමාන කළා. ඔවුන් පසු කාලයකදී ක්‍රිස්තියානි ආගමට හැරුණත් දිගටම ගස්වලට වන්දනාමාන කළා. උදාහරණයකට සීත කාලයේදී බොහෝදෙනෙක් නිවෙස්වල දොරකඩ හා ඇතුළත නත්තල් ගසක් තැබුවා.”—Encyclopædia Britannica.

සදාහරිත ගස්වලට මෙතරම් ප්‍රසිද්ධියක් ලැබුණේ කොහොමද? වර්ෂ 1841දී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුල නත්තල සැමරීම සඳහා ස්පෲස් ගස භාවිත කර එය අලංකාර කළා. එදා සිට එම ගස නත්තල් ගස ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වුණා. ඒ හා සමානව සාදා ඇති කෘත්‍රිම ගස්වලටද තිබෙන්නේ ඉතා අධික ඉල්ලුමක්. ඉපැරණි ගල්කැටයම් ගැන අප සලකා බැලූ සියලු තොරතුරුවලින් පැහැදිලි වන්නේ නත්තල් ගස, ක්‍රිස්තියානි ආගමට සම්බන්ධ දෙයක් නොවන බවයි.

[පාදසටහන]

^ 3 ඡේ. ස්වීඩනයේ දක්නට ඇති එම කැටයම් සමහරක් යුනෙස්කෝව විසින් ලෝක උරුම ලැයිස්තුවට එකතු කර තිබෙනවා.

[12වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සදාහරිත ගස දැක්වෙන ඉපැරණි ගල් කැටයම්වලින් පැහැදිලි වන්නේ යේසුස්ගේ උපතට කලින් සිටම මිත්‍යා විශ්වාස තිබූ අය ඊට නමස්කාර කළ බවයි

[13වන පිටුවේ පින්තූර]

ගල්වල කැටයම් කළ ගස්වල රූප (1) ටෝස්බො, (2) බැකා, (3) ස්වීඩනයේ ලකෙබර්ග්

[හිමිකම් විස්තර]

Courtesy Stiftelsen för dokumentation av Bohusläns hällristningar