Skip to content

පටුනට යන්න

සතුරුකම් එල්ල වෙයි

සතුරුකම් එල්ල වෙයි

සතුරුකම් එල්ල වෙයි

බයිබලය ලියා සම්පූර්ණ කිරීමට අවුරුදු 1,600කට වඩා වැඩි කාලයක් ගත වුණා. එහි මුල් පොත් කිහිපය දෙවිගේ සේවකයෙක් වූ මෝසෙස් විසින් ලියනු ලැබූ අතර අවසාන පොත ලියනු ලැබුවේ යේසුස්ගේ උපතින් වසර 100කට පමණ පසුව ජීවත් වූ ඔහුගේ ගෝලයෙක් විසිනුයි.

බයිබලය කියවීමෙන් මහජනයාව වැළැක්වීමට එදා සිට බොහෝදෙනෙක් උත්සාහ කර තිබෙනවා. එවැනි උත්සාහයක් දැරීම ගැන මුලින්ම වාර්තා වන්නේ යේසුස් ඉපදීමට වසර 600කට පමණ පෙරයි. එනම් දෙවිගේ සේවකයෙකු වූ යෙරෙමියාගේ කාලයේයි.

සතුරුකම් ඇරඹෙයි

ඒ කාලයේ ජීවත් වූ යුදෙව්වන් දුෂ්ට ලෙස ක්‍රියා කළ නිසා යෙහෝවා දෙවි ඔවුන්ට අනතුරු ඇඟවීමක් කළා. ඔවුන් තම ක්‍රියාකලාපය වෙනස් කර නොගත්තොත් ඔවුන්ගේ අගනුවර වූ යෙරුසලම විනාශ කරන බව ලියවිල්ලක වාර්තා කරන ලෙස දෙවි යෙරෙමියාට පැවසුවා. යෙරෙමියාගේ ලේකම් වූ බාරුක් දෙවිගෙන් ලැබුණු එම පණිවිඩය ඇතුළත් ලියවිල්ල මහජනයා හා අධිපතීන් ඉදිරියේ කියෙව්වා. පසුව අධිපතීන් යෙහෝයාකිම් රජු ඉදිරියේ එය කියවූ විට රජ ඒ ගැන බොහෝ සේ කෝප වී එම ලියවිලි කෑලිවලට ඉරා පිලිස්සුවා.—යෙරෙමියා 36:1-23.

එම සිද්ධියෙන් පසු දෙවි යෙරෙමියාට මෙසේ පැවසුවා. “තවත් ලියවිල්ලක් ගෙන, යූදාහි රජු වන යෙහෝයාකිම් පුලුස්සා දැමූ ලියවිල්ලේ සඳහන්ව තිබූ සෑම දෙයක්ම ඒ විදිහටම එහි ලියන්න.” (යෙරෙමියා 36:28) ඊට වසර 17කට පමණ පසුව දෙවි පැවසූ ලෙසම යෙරුසලම විනාශ වූ අතර එහි අධිපතීන් බොහෝදෙනෙකුව ඝාතනය කර, යුදෙව්වන්ව වහලුන් ලෙස බැබිලෝනියට රැගෙන ගියා. දෙවි යෙරෙමියා මාර්ගයෙන් දුන් එම වැදගත් පණිවිඩය අඩංගු ලියවිල්ල විනාශ කිරීමට රජු උත්සාහ කළත් ඉන් පලක් වුණේ නැහැ. එම පණිවිඩය හා පසුව යෙරුසලමට සිදු වූ විනාශය ගැන තොරතුරු බයිබලයේ යෙරෙමියා නමැති පොතේ අදටත් සුරැකිව තිබීමෙන් ඒ බව පැහැදිලි වෙනවා. දෙවිගේ පණිවිඩය මිනිසුන් අතරට යෑමෙන් වැළැක්වුවේ යෙහෝයාකීම් රජු පමණක් නොවෙයි.

සතුරුකම දිගටම පවතියි

ග්‍රීක අධිරාජ්‍යය බෙදුණායින් පසු ඊශ්‍රායෙල් ජනයා සෙලුසිඩ් රාජ වංශයේ පාලනය යටතට පැමිණියා. ක්‍රිස්තු පූර්ව 175 සිට 164 දක්වා පාලනය කළ සෙලුසිඩ් රාජ වංශයේ කෙනෙකු වූ ඇන්ටියෝකස් එපිෆනිස් ඔහුගේ පාලනය යටතේ සිටින සියලුදෙනාවම එක්සත් කිරීමට වැඩපිළිවෙළක් දියත් කළා. එහිදී ඔහු ග්‍රීක සංස්කෘතිය හා ආගම වැලඳගන්නා ලෙස යුදෙව්වන්ට බල කළා.

ඇන්ටියෝකස් ක්‍රි.පූ. 168දී පමණ යෙරුසලමේ තිබූ යෙහෝවා දෙවිගේ දේවමාලිගාව කොල්ල කෑවා. දෙවිට පූජා ඔප්පු කිරීමට තිබූ පූජාසනයට ඉහළින් සියුස් දෙවියාට වන්දනාමාන කිරීම සඳහා පූජාසනයක්ද සෑදුවා. ඒ වගේම සබත හා චර්මච්ඡේදනය සම්බන්ධයෙන් යුදෙව්වන්ට දී තිබූ නීති නොපැවැත්වීමට ඔහු අණ කළා. ඒ අණට අකීකරු වූ අයව ඔහු මරා දැමුවා.

යුදෙව්වන්ගේ ආගම වෙනස් කිරීමට ඔහු ගත් තවත් වෑයමක් වුණේ දෙවිගේ නීති ඇතුළත් සියලුම ලියවිලි විනාශ කිරීමයි. මුළු ඊශ්‍රායෙලය පුරාම ඔහු එය ක්‍රියාත්මක කළත් හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිවල සියලු පිටපත් විනාශ කිරීමට ඔහු සමත් වුණේ නැහැ. සමහර ඊශ්‍රායෙල්වරුන් ලියවිලි සඟවා තැබූ අතර වෙනත් ප්‍රදේශවල ජීවත් වූ යුදෙව්වන් ඒවායේ පිටපත් සුරක්ෂිතව තැබුවා.

අධිරාජ්‍යයෙකුගෙන් නියෝගයක්

ශුද්ධ ලියවිලි විනාශ කිරීම සඳහා රෝම අධිරාජ්‍යයෙකු වූ ඩයක්ලීෂන්ද උත්සාහ දැරුවා. ඔහු ක්‍රිස්තියානීන්ට විරුද්ධව ක්‍රි.ව. 303දී ඉතා දැඩි නීති පැනෙව්වා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රිස්තියානීන්ට දරුණු පීඩා රැල්ලකට මුහුණ දීමට සිදු වූ බව ඉතිහාසඥයන් පවසනවා. ශුද්ධ ලියවිලි සියල්ල ගිනබත් කරන ලෙසත් ක්‍රිස්තියානීන් නමස්කාරය සඳහා රැස් වූ ස්ථාන විනාශ කරන ලෙසත් ඔහුගේ මුල්ම නියෝගයේ සඳහන් වුණා. ඔහු එසේ කිරීමට හේතුව ගැන ආගම් පිළිබඳව අධ්‍යයනය කරන මහාචාර්යවරයෙකු වන හැරී වයි. ගැම්බල් මෙසේ ලිව්වා. “ක්‍රිස්තියානීන් සිටින තැනක දෙවිගේ නීති ඇතුළත් ලියවිලි එකතුවක් තිබෙන බව විශ්වාස කළ ඩයක්ලීෂන් ඒවා ඔවුන්ගේ ජීවිතයට අත්‍යවශ්‍ය බව දැන සිටියා.” ඩයක්ලීෂන් ජීවත් වූ කාලයේම සිටි ඉතිහාසඥයෙකු වන සිසේරියාවේ යූසීබියස් මෙවැනි දෙයක් වාර්තා කළා. “ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථාන පොළොවටම සමතලා කරන ආකාරයත් වෙළඳපොළවල් මැද ශුද්ධ ලියවිලි ගිනි තබන ආකාරයත් අප සියැසින් දුටුවා.”

ඩයක්ලීෂන්ගේ නියෝගයට මාස තුනකට පසු අද කොන්ස්ටන්ටයින් ලෙස හඳුන්වන උතුරු අප්‍රිකාවේ සර්ටා නගරයේ නගරාධිපති, ක්‍රිස්තියානීන් සතුව තිබූ “දෙවිගේ නීති ඇතුළත් ලියවිලි හා ඒවායේ පිටපත්” සියල්ල රජයට භාර දෙන ලෙස නියෝග කළා. එම ලියවිලි විනාශ කිරීමට ඉඩ දෙනවාට වඩා තම ජීවිත පරදුවට තබා ඒවා ආරක්ෂා කිරීමට සමහර ක්‍රිස්තියානීන් තීරණය කළ බව ඒ කාලයේදීම ලියූ වෙනත් වාර්තාවල සඳහන් වෙනවා.

සතුරන්ගේ අරමුණ

යෙහෝයාකිම් රජු, ඇන්ටියෝකස් සහ ඩයක්ලීෂන් යන තිදෙනාටම තිබුණේ එකම අරමුණක්. ඒ, දෙවිගේ වචනය විනාශ කිරීමයි. නමුත් කුමන විරුද්ධවාදිකම් පැමිණියත් බයිබලය ආරක්ෂා වුණා. කෙසේවෙතත් ඩයක්ලීෂන්ගෙන් පසු රෝමයේ සිටි පාලකයන් ක්‍රිස්තියානි ආගමට හැරුණු බව පැවසුවත් බයිබලයට විරුද්ධව පැමිණි සතුරුකම් නතර වුණේ නැහැ.

පාලකයන් සහ පල්ලි නායකයන් පැවසූ පරිදි ඔවුන් බයිබල් ගිනි තැබුවේ එය විනාශ කිරීමේ අරමුණෙන් නොවෙයි. ඔවුන්ට අවශ්‍ය වුණේ බයිබලය සාමාන්‍ය ජනයා අතට පත් වීමෙන් වැළැක්වීමයි. නමුත් පල්ලි නායකයන් එවැනි දෙයක් කළේ ඇයි? මිනිසුන්ව බයිබලය කියවීමෙන් වළක්වන්න පල්ලිය කළේ කුමන දේවල්ද? දැන් අපි ඒ ගැන බලමු.