Skip to content

පටුනට යන්න

සැඟවීමට ගත් උත්සාහය අසාර්ථකයි

සැඟවීමට ගත් උත්සාහය අසාර්ථකයි

සැඟවීමට ගත් උත්සාහය අසාර්ථකයි

බයිබලය ලියූ මුල් භාෂා වන හෙබ්‍රෙව් හා ග්‍රීක භාෂා කියවීමට හැකි වුණේ ඉතා කුඩා පිරිසකට පමණයි. ඒ නිසා කාලයත් සමඟම තම තමන්ගේ භාෂාවලින් බයිබලය පරිවර්තනය කිරීමට බොහෝදෙනෙක් වෙහෙසුණා. ඔවුන් එසේ නොකළා නම් බයිබලයේ සඳහන් දෙවිගේ පණිවිඩය තේරුම්ගැනීමට අපට හැකි වන්නේ නැහැ.

යේසුස් උපත ලැබීමට අවුරුදු 300කට පමණ පෙර බයිබලයේ හෙබ්‍රෙව් ලියවිලි ග්‍රීක භාෂාවට පරිවර්තනය කිරීමට පටන්ගත්තා. එම පරිවර්තනය හැඳින්නුවේ ග්‍රීක සෙප්ටූඅජින්ට් ලෙසයි. ඉන් අවුරුදු 700කට පසුව ජෙරොම් එවකට රෝම අධිරාජ්‍යය යටතේ සිටි අය කතා කළ ලතින් භාෂාවට බයිබලයේ හෙබ්‍රෙව් හා ග්‍රීක ලියවිලි පරිවර්තනය කළා. එය හැඳින්නුවේ ලතින් වල්ගේට් ලෙසයි.

පසු කාලයේදී මිනිසුන් අතර ලතින් භාෂාවේ භාවිතය අඩු වී ගියා. එය භාවිත කළේ උගතුන් පිරිසක් පමණයි. බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීමට කතෝලික පල්ලිය කැමති වුණේ නැහැ. ඊට හේතුව බයිබලය තිබිය යුත්තේ හෙබ්‍රෙව්, ග්‍රීක හා ලතින් භාෂාවෙන් පමණක් කියා ආගමික නායකයන් තර්ක කිරීමයි. *

පල්ලිය බෙදෙයි, පරිවර්තනය සිදු වෙයි

ක්‍රිස්තු වර්ෂ 800 ගණන්වලදී ස්ලාවික් භාෂාව පල්ලිවල භාවිත කිරීමට තෙසලෝනිකයේ සිටි මිෂනාරිවරුන් දෙදෙනෙක් වන මෙතෝඩියස් සහ සිරිල් මුල පිරුවා. ඒ සඳහා ඔවුන්ට අනුග්‍රහය ලබා දුන්නේ නැඟෙනහිර බයිසැන්තියානු පල්ලියයි. ඔවුන්ගේ අරමුණ වුණේ ග්‍රීක හෝ ලතින් භාෂා නොදැන සිටි නැඟෙනහිර යුරෝපයේ ජීවත් වූ ස්ලාවික් මිනිසුන්ට දෙවි ගැන ඉගෙනගැනීමට අවස්ථාව උදා කර දීමයි.

නමුත් ඔවුන් දෙදෙනාට ජර්මානු පූජකයන්ගේ දැඩි විරුද්ධවාදිකම්වලට මුහුණ දීමට සිදු වුණා. බයිසැන්තියානු ක්‍රිස්තු ධර්මය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පල්ලිවල ලතින් භාෂාව භාවිත කරන ලෙස ජර්මානු පූජකයන් බල කළා. ඉන් පැහැදිලි වුණේ මිනිසුන්ට ආගම උගන්වනවාට වඩා ඔවුන්ට තිබුණේ දේශපාලනික අරමුණක් බවයි. ඒ ආකාරයට ආගම මුල් කරගෙන රෝමය හා බයිසැන්තියම අතර ගැටුම් ඇති වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ක්‍රි.ව. 1054දී රෝමානු කතෝලික පල්ලිය හා නැඟෙනහිර ඕතඩොක්ස් පල්ලිය ලෙස ආගම් දෙකකට බෙදුණා.

පරිවර්තනයට එරෙහිව සටනක්

කාලයත් සමඟම රෝමානු කතෝලික ආගම ලතින් භාෂාව ශුද්ධ භාෂාවක් ලෙස සැලකීමට පටන්ගත්තා. ක්‍රිස්තු වර්ෂ 1079දී බොහීමියාවේ ආධිපාදවරයෙකු වන ව්රැටිස්ලවුස්, ස්ලාවික් භාෂාවෙන් දේවමෙහෙයන් පැවැත්වීමට හත්වන ග්‍රෙගරි පාප්වරයාගෙන් අවසර ඉල්ලා සිටියා. නමුත් පාප්වරයා ඔහුට ලිඛිතව මෙසේ දැන්නුවා. “ඒ ඉල්ලීමට කොහෙත්ම අවසර දිය නොහැකියි.” ඊට හේතුව කුමක්ද?

පාප්වරයා මෙසේ පැවසුවා. “ශුද්ධ ලියවිල්ලේ තිබෙන සමහර ස්ථාන දෙවි අපැහැදිලිව දමා තිබෙන්නේ වුවමනාවෙන්මයි. බයිබලයේ ඇති සෑම දෙයක්ම මිනිසුන්ට පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් වුණොත් ඒ සඳහා ඇති ගෞරවය නැති වෙයි. එහි ඇති ඉගැන්වීම්වල නියම අර්ථය වටහානොගෙන තමන්ට රිසි සේ ජීවිත ගත කරයි.”

බොහෝ ජනයාට බයිබලය කියවීමට තිබූ අවස්ථා පල්ලි නායකයන් සීමා කළ අතර දිගටම එසේ වීමට ඔවුන් වගබලා ගත්තා. එසේ පල්ලි නායකයන් ඔවුන්ව අනිසි ලෙස පාලනය කිරීමට පටන්ගත්තා. තම පාලනය යටතේ තිබෙනවා කියා ඔවුන් සිතූ දේවලට පොදු ජනයා ඇඟිලිගසනවාට ඔවුන් කැමති වුණේ නැහැ.

තුන්වන ඉනසන්ට් පාප්වරයා 1199දී ලියූ ලිපියක බයිබලය ප්‍රංශ භාෂාවට පරිවර්තනය කළ අයව හෝ එසේ කිරීම ගැන සාකච්ඡා කළ අයව “පල්ලියට ද්‍රෝහි වූ අය” ලෙස හැඳින්නුවා. එවැනි අයට යේසුස්ගේ මේ වචන හොඳින් ගැළපෙන බව ඔහු සිතුවා. “දෙවිට අයිති දේවල් බල්ලන්ට නොදෙන්න. ඔබේ මුතු ඌරන් ඉදිරියෙහි නොදමන්න.” (මතෙව් 7:6) ඔහු එසේ පැවසීමට හේතුව මෙසේ පැහැදිලි කරනවා. “බයිබලය පරිශුද්ධ පොතක් නිසා නූගත් ජනයා එය අධ්‍යයනය කරන්නවත් අන් අයට එයින් උගන්වන්නවත් නොසිතිය යුතුයි.” පාප්වරයාගේ අණ පිළිපැද්දේ නැති කෙනෙකු තම වරද ගැන පාපෝච්චාරණය කරන තෙක් පූජකයන් ඔහුට වද හිංසා දුන්නා. පාපෝච්චාරණය නොකළ අයව පණපිටින් පිලිස්සුවා.

බයිබලය භාවිත කිරීම හා එය වෙනත් භාෂාවලට පරිවර්තනය කිරීම ගැන ගැටලු මතු වන සෑම අවස්ථාවකදීම එය තහනම් කිරීමට ඉනසන්ට් පාප්වරයාගේ ලිපිය ප්‍රයෝජනයට ගත්තා. එම තහනම පනවා වැඩි කල් යන්න මත්තෙන් තම තමන්ගේ භාෂාවලින් පරිවර්තනය කළ බයිබල් සහ ඒවායේ අයිතිකරුවන් සමහරදෙනෙකුව පිලිස්සුවා. ඊළඟ සියවස් ගණනාව පුරා යුරෝපයේ කතෝලික රටවල බිෂොප්වරුන් හා පාලකයන්, ඉනසන්ට් පාප්වරයාගේ නියෝගය පිළිපැදීමට කළ හැකි සෑම දෙයක්ම කළා.

කතෝලික පල්ලියේ උගන්වන්නේ බයිබලයේ ඉගැන්වීම් නොව ඔවුන්ගේම සම්ප්‍රදායන්ට අනුව සාදාගත් ඉගැන්වීම් බව පල්ලියේ උසස් තනතුරු දැරූ අය හොඳින් දැන සිටියා. සාමාන්‍ය ජනයාව බයිබලය කියවීමෙන් වැළැක්වීමට හේතු වුණේ බයිබලයේ උගන්වන දේ හා පල්ලියේ උගන්වන දේ අතර වෙනස ඔවුන් හඳුනාගනියි කියා පූජකයන්ට තිබූ බියයි.

ප්‍රතිසංස්කරණයේ ප්‍රතිඵල

රෙපරමාදු ආගම යුරෝපයට පැමිණි පසු යුරෝපය පුරා තිබූ ආගමික වාතාවරණය වෙනස් වුණා. මාටින් ලූතර් කතෝලික පල්ලිය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දැරූ වෑයමටත් අවසානයේ 1521දී පල්ලියෙන් ඉවත් වීමටත් හේතු වුණේ බයිබලයේ ඇති දේ සහ පල්ලිය උගන්වන දේ අතර තිබූ වෙනසයි. ඔහු දක්ෂ පරිවර්තකයෙකු වූ නිසා පල්ලියෙන් ඉවත් වූ විගස බයිබලය පරිවර්තනය කර පොදු ජනයා අතට එය පත් කිරීම සඳහා වෙහෙසුණා.

ලූතර් විසින් බයිබලය ජර්මානු භාෂාවට පරිවර්තනය කිරීමත් එය බෙදාහැරීමත් රෝමානු කතෝලික පල්ලියේ අවධානයට ලක් වුණා. ඒ නිසා පල්ලිය විසින් අනුමත කරන ලද බයිබලයක් නිකුත් කිරීමට කතෝලික සභාව තීරණය කළා. වැඩිකල් යෑමට මත්තෙන් පල්ලිය විසින් ජර්මානු භාෂාවෙන් බයිබල් පරිවර්තන දෙකක් ප්‍රකාශයට පත් කළා. ඉන් වසර 25කට පමණ පසු එනම්, 1546දී ට්‍රෙන්ටිහි පැවැත්වූ රෝමානු කතෝලික සම්මන්ත්‍රණයේදී බයිබල් පරිවර්තන ඇතුළු සියලුම ආගමික පොත් පත් පල්ලියේ පාලනය යටතේ තිබිය යුතුයි කියා තීරණය කළා.

ඔවුන් මෙවැනි නියෝගයක්ද නිකුත් කළා. “ශුද්ධ පොත් පත් ඉතා නිවැරදිව මුද්‍රණය කළ යුතු නිසා වෙනත් අය ආගම හා සම්බන්ධ පොත් පත් මුද්‍රණය කිරීම හෝ ඒ සඳහා අනුග්‍රහය දැක්වීම හෝ කතුවරයාගේ නම නොමැතිව මුද්‍රණය කිරීම නීති විරෝධියි. මින් ඉදිරියට එවැනි පොතක් අලෙවි කිරීමට හෝ ළඟ තබාගැනීමට පෙර ඒ ප්‍රදේශයේ සිටින පාප්වරයාගේ අනුමැතිය ලබාගත යුතුයි.”

වර්ෂ 1559දී හතරවන පාවුලු පාප්වරයා මුද්‍රණය කිරීමට තහනම් පොත් පත් ලැයිස්තුවක් ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත් කළා. ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මානු, ඉතාලි, ස්පාඤ්ඤ හා සමහර ලතින් බයිබල් පරිවර්තන ළඟ තබාගැනීම එහි තහනම් කර තිබුණා. බයිබලය කියවීමට කැමති කෙනෙක් සිටියා නම් මුලින්ම ඔහු බිෂොප්වරයාගෙන් හෝ කතෝලික පල්ලියට විරුද්ධ වූ අයව මර්දනය කළ පූජකයන්ගෙන් අනුමැතිය ලබාගත යුතු වුණා. නමුත් එවැනි අවසරයක් ගෙන හෝ බයිබලය කියවීමෙන් පල්ලියට ද්‍රෝහි වූ කෙනෙකු ලෙස හංවඩු ගසනවාට කිසි කෙනෙක් කැමති වුණේ නැහැ.

තම මව් භාෂාවෙන් බයිබලයක් ළඟ තබාගන්නා කෙනෙක් හෝ ඒවා බෙදාහරින කෙනෙක් කතෝලික පල්ලියේ උදහසට ලක් වුණා. එවැනි බෙහෝදෙනෙකුව අත්අඩංගුවට ගත් අතර සමහරුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා. තවත් අයට දරුණු ලෙස වද හිංසා කළ අතර සමහරුන්ව කණුවක ගැටගසා පුලුස්සා දැමුවා. තවත් අයව පොල්ලක ගැටගසා හරස් අතට එල්ලා යටින් ගින්දර දමා පිලිස්සුවා. එමෙන්ම බයිබල් රාජ සන්තක කළ අතර පසුව ඒවා පුලුස්සා දැමුවා. එසේ කිරීම 20වෙනි සියවස දක්වා සිදු කෙරුණා.

රෝමානු කතෝලික ආගම එලෙස ක්‍රියා කිරීමෙන් අදහස් කරන්නේ රෙපරමාදු ආගම බයිබලයේ ඇති ඉගැන්වීම් එලෙසම පිළිපැද්දා කියා නොවෙයි. ක්‍රිස්තු වර්ෂ 1700 හා 1800 ගණන්වලදී ආගම් පිළිබඳ හැදැරූ රෙපරමාදු උගතුන් බයිබලයේ ඇති ඉගැන්වීම් අධ්‍යයනය කළේ නිවැරදි ආකල්පයකින් නොවෙයි. ඒ නිසා පසු කාලයකදී මිනිසුන්ව නිර්මාණය කළේ දෙවි කෙනෙක් නොව එය ඉබේ සිදු වූ දෙයක් යන ඉගැන්වීම මිනිසුන් පිළිගත්තා.

බයිබලයේ වැඩි වශයෙන් තිබෙන්නේ ප්‍රබන්ධ කතා බව ආගම් පිළිබඳ අධ්‍යයනය කරන විශාරදයන් හා බොහෝ පූජකයන් මිනිසුන්ට ඉගැන්නුවා. රෙපරමාදු පූජකයන් සහ ඔවුන්ගේ බොහෝ අනුගාමිකයන් බයිබලය නිවැරදි ඉතිහාසයක් ඇති පොතක් ලෙස නොසැලකීමට එය එක් හේතුවක්.

අතීතයේ සිට බයිබලය විනාශ කිරීමට බොහෝ උත්සාහ දැරුවත් ඒ සියල්ල අසාර්ථක වී ඇති අතර ඒ සෑම ප්‍රහාරයක් හමුවේ බයිබලය ආරක්ෂා වුණා. ඒ ගැන ඔබ පුදුම වන්නේ නැද්ද!

ආරක්ෂා වූ ආකාරය

ඈත අතීතයේ සිටම බයිබලය කෙරෙහි මිනිසුන්ට තිබූ ඇල්ම තම ජීවිතය පවා ඒ වෙනුවෙන් පරදුවට තබන්න ඔවුන්ව පෙලඹෙව්වා. නමුත් බයිබලය අද වන තුරු ආරක්ෂා වී තිබෙන්නේ ඊට වඩා වැඩි යමක් ඒ පිටුපස තිබූ නිසයි. එනම් බයිබලය ලියැවුණේ දෙවිගේ මඟ පෙන්වීමෙනුයි.—යෙසායා 40:8; 1 පේතෘස් 1:25.

බයිබලය විවිධ භාෂාවලට පරිවර්තනය කර, සියලු මිනිසුන් අතට පත් වෙනවා දැකීම දෙවිගේ කැමැත්තයි. එමගින් මිනිසුන්ට දෙවි ගැන ඉගෙනගෙන ඔහුට ප්‍රේම කරන්නත් ඔහුට සේවය කරන්නත් අවස්ථාව ලැබෙනවා. බයිබලය කියවීමෙන් සහ එහි ඇති මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගැනීමෙන් අපේ එදිනෙදා ජීවිතය, පවුල් ජීවිතය සහ සෞඛ්‍යය යහපත් තත්වයක තබාගැනීමට අපට හැකියි. යෙහෝවා දෙවි අනාගතයේදී මිනිසුන්ට දීමට පොරොන්දු වී තිබෙන ආශීර්වාද ඔවුන්ට ලබා දීමට ඔහු බලා සිටින්නේ මහත් ආශාවකින්. අපට අවශ්‍ය වන්නේත් එය නොවේද?

යේසුස්, දෙවිට කළ යාච්ඤාවක “ඔබ පවසන දේ සත්‍යයයි” කියා සඳහන් වුණා. (යොහන් 17:17) දෙවි පැවසූ දේවල් තිබෙන්නේ බයිබලයේයි. නිහතමානී අය අසන ප්‍රශ්නවලට සත්‍යය පිළිතුරු සැපයීමට දෙවි යොදාගන්නේත් ඔහුගේ වචනය වන බයිබලයයි.

දෙවිගේ පණිවිඩය සම්බන්ධයෙන් බොහෝ දේවල් බයිබලය තුළින් දැනගන්න කියා අපි ඔබට ආරාධනා කරනවා. එම උපකාර ලබා දීමට මෙම සඟරාවේ ප්‍රකාශකයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් සිටින්නේ ඉතා ආශාවෙන්. *

[පාදසටහන්වල]

^ 4 ඡේ. පෙනෙන විදිහට මෙම අදහස පැමිණියේ ස්පාඤ්ඤයේ බිෂොප්වරයෙක් වූ ඉසිදෝරෝගේ (ක්‍රි.ව. 560-636) මතයකට අනුවයි. ඔහු මෙසේ පැවසුවා. “ලෝකයේ ඇති ශුද්ධම භාෂා තුන හෙබ්‍රෙව්, ග්‍රීක හා ලතින් භාෂායි. ජේසුතුමන් ඇණ ගැසූ කුරුසයේ ඉහළින් එල්ලා තිබූ පුවරුවේ ඔහුට එල්ල කළ චෝදනාව ලියා තිබුණේ ඒ භාෂා තුනෙනුයි.” කෙසේවෙතත් යේසුස්ට විරුද්ධව කළ චෝදනාව භාෂා තුනෙන්ම සඳහන් කළේ මිත්‍යාදෘෂ්ටික ආගම් ඇදහූ රෝමවරුන් මිස එය දෙවිගේ මඟ පෙන්වීමෙන් කළ දෙයක් නොවෙයි.

^ 28 ඡේ. ඔවුන්ව හමු වීමට ඔබ කැමති නම් පස්වන පිටුවේ ඇති ලිපිනයකට ලියන්න. එසේත් නැත්නම් www.watchtower.org වෙබ් අඩවියට පිවිසෙන්න.

[6වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

සාමාන්‍ය ජනයාට බයිබලය කියවීමට තිබූ අවස්ථා පල්ලි නායකයන් සීමා කිරීමෙන් ඔවුන් සාමාන්‍ය ජනයාව අනිසි ලෙස පාලනය කළා

[8වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලය ළඟ තබාගත් හෝ බෙදාහැරිය අයව හසු වූ විට ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබුණා. එසේත් නැත්නම් කණුවක ගැටගසා පුලුස්සා දැමුවා

[9වන පිටුවේ කොටුව]

බයිබලයෙන් පිළිතුරු

ඔබ මෙම ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු දැනගන්නවාට දෙවි කැමතියි

● අපි මෙහි ජීවත් වන්නේ ඇයි?

● මෙතරම් දුක් වේදනා පවතින්නේ ඇයි?

● මිය ගිය අය සිටින්නේ කොහේද?

● ජීවිතේ අරමුණ කුමක්ද?

එම ප්‍රශ්නවලට පිළිතුරු හා සැබෑ සන්තෝෂය සොයාගැනීමට උපදෙස් බයිබලයේ සඳහන් වී තිබෙනවා.

[6, 7වන පිටුවල වගුව/පින්තූර]

බයිබලයට සතුරුකම් එල්ල වූ ආකාර

ක්‍රි.ව. 636දී පමණ

ස්පාඤ්ඤයේ බිෂොප්වරයෙක් වූ ඉසිදෝරෝ පැවසූ ලෙස හෙබ්‍රෙව්, ග්‍රීක හා ලතින් භාෂා ශුද්ධ භාෂා නිසා බයිබලය තිබිය යුත්තේ ඒ භාෂා තුනෙන් පමණයි

1079

ව්රැටිස්ලවුස්, ස්ලාවික් භාෂාවෙන් දේවමෙහෙයන් පැවැත්වීමට හත්වන ග්‍රෙගරි පාප්වරයාගෙන් ඉල්ලීමක් කළත් ඔහු එය ප්‍රතික්ෂේප කළා. ඔහු පැවසුවේ “නූගත් මිනිසුන්ට” බයිබලය කියවීමට ඉඩ නොදිය යුතුයි කියායි

1199

බයිබලය පරිවර්තනය කළ හෝ ඒ ගැන සාකච්ඡා කළ අයව තුන්වන ඉනසන්ට් පාප්වරයා හැඳින්නුවේ පල්ලියට ද්‍රෝහි වූ අය ලෙසයි. පාප්වරයාගේ අණ පිළි නොපැද්ද අයව බොහෝවිට වද හිංසා දී මැරුවා

1546

ට්‍රෙන්ටිහි පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ඔවුන් පැනවූ නියෝගය නම් ඕනෑම බයිබල් පරිවර්තනයක් මුද්‍රණය කිරීමට කලින් කතෝලික පල්ලියෙන් අනුමැතිය ලබාගත යුතු බවයි

1559

තම මව් භාෂාවෙන් බයිබලයක් ළඟ තබාගැනීම හතරවන පාවුලු පාප්වරයා තහනම් කළා. එවැනි බයිබල් රාජ සන්තක කළ අතර ඒ බයිබල්වල අයිතිකරුවන් සමඟ ඒවාත් පිලිස්සුවා

[හිමිකම් විස්තර]

Pope Gregory VII: © Scala/​White Images/​Art Resource, NY; Pope Innocent III: © Scala/​Art Resource, NY; Council of Trent: © Scala/​White Images/​Art Resource, NY; Pope Paul IV: © The Print Collector, Great Britain/​HIP/​Art Resource, NY

[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

From Foxe’s Book of Martyrs