Skip to content

පටුනට යන්න

තුරු ලීයෙන් මැවෙන සංගීත රාවය

තුරු ලීයෙන් මැවෙන සංගීත රාවය

තුරු ලීයෙන් මැවෙන සංගීත රාවය

ශතවර්ෂ ගණනාවක් පුරා ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකර වාසීන් පණිවිඩ හුවමාරු කරගැනීමට විශේෂිත සංගීත භාණ්ඩයක් වන ඇල්පෙන්හෝනය භාවිත කර තිබෙනවා. බැලූ බැල්මට එය පණිවිඩ හුවමාරු කරන්න පහසු ක්‍රමයක් නොවෙයි කියා සිතෙන්න පුළුවන්. සමහර නලාවල දිග සාමාන්‍ය මිනිසෙකුගේ උස මෙන් දෙගුණයක් පමණ වුණත් එය සාදා තිබෙන්නේ උසුලාගෙන යා හැකි ආකාරයෙනුයි. කොටස්වලට ගැලවිය හැකි ආකාරයෙන් සාදා තිබෙන නලාද තිබෙනවා. ඉන් නිකුත් වන නාදය කිලෝමීටර 10ක් පමණ ඈතට ඇසෙයි.

සාදාගන්නා ආකාරය

මෙම නලාව සාදන්නේ ඇල්ප්ස් කඳුකරයේ වැවෙන ස්පෲස් නමැති ගසෙනුයි. එම ගස් කඳු බෑවුමේ වැවෙන නිසාත් ශීත දේශගුණය නිසාත් එහි පහළ කොටස වැවෙන්නේ වක්‍රාකාරවයි.

මුලින්ම හොඳ ගසක් තෝරාගෙන එය හරි මැදින් පලා එහි බඩ කොටස ඉවත් කළ යුතුයි. ඒ සඳහා ඉතා තියුණු උපකරණයක් භාවිත කරනවා. එම පළමු පියවර සඳහා පැය 80ක පමණ කාලයක් ගත වෙනවා. ඉන්පසු වැලි කඩදාසියකින් ඇතුළත හොඳින් සුමුදු කරගන්නවා. පසුව එම ගසේ පලු දෙක ගම් දමා අලවන අතර ශීත රටවල වැවෙන ගස් විශේෂයකින් ලබාගන්නා කෙඳි වර්ගයකින් එය හොඳින් ඔතාගන්නවා. එලෙස සදාගත් නලාව වාදනය කිරීමේදී එය පොළොවේ රැඳවීමට කුඩා ආධාරකයක් ලීවලින් සාදනවා. අවසානයේදී එය කටට තබා වාදනය කිරීම සඳහා කුඩා කොටසක් සවි කරන අතර නලාවේ බඳ කොටස වර්ණගන්වා සරසනවා. පසුව එය ආරක්ෂිතව තබාගැනීමට ලැකර් තීන්ත ආලේප කරනවා.

නලාවේ ඉතිහාසය

අතීතයේදී එඬේරුන් තම සත්ව රැළවල් සමඟ කඳු මුදුන්වලට ගිය විට තමන්ට කිසි කරදරයක් සිදු වී නැති බව කඳු පාමුල සිටින තම පවුල්වල සාමාජිකයන්ට දැනුම් දීම සඳහා මෙම නලාව භාවිත කළා. නමුත් මූලිකවම මෙය භාවිත කළේ කිරි දෙවීම සඳහා එළදෙනුන්ව ගෙන්වාගැනීමටයි. මෙම නලාවෙන් නිකුත් වන මිහිරි නාදය නිසා කිරි දොවන වෙලාවට එළදෙනුන් සන්සුන්ව සිටින බවට ස්විට්සර්ලන්තයේ ගොවීන් තුළ විශ්වාසයක් තිබුණා.

ශීත සෘතුවේදී එළදෙනුන්ව ගාල් කර තිබෙන නිසා එඬේරුන් නගරයට ගොස් මෙම නලාව පිඹ මුදල් උපයාගන්නවා. ඈත අතීතයේ සමහර අවස්ථාවලදී මිනිසුන්ව යුද්ධයට රැස් කිරීමට මෙම නලා හඬ නිකුත් කර තිබෙනවා.

වාදනය කරන ආකාරය

බැලු බැල්මට මෙම නලාව වාදනය කිරීම පහසු බව හැඟෙන්න පුළුවන්. ඊට හේතුව මෙහි සිදුරු නොතිබීමයි. ඔබට අවශ්‍ය නාදය මින් පිට වන්නේ ඔබ එය පිඹින ආකාරය අනුවයි.

ඇල්පෙන්හෝනයෙන් නිකුත් වන්නේ නාද රටා 12ක් පමණයි. ඒ නිසා අපට අවශ්‍ය සියලුම සංගීත කාණ්ඩ ඉන් වාදනය කළ නොහැකියි. නමුත් ඊටම ආවේණික සංගීත කාණ්ඩ යොදාගෙන ඉතා අලංකාර සංගීත තනු වැයීමට දක්ෂ සංගීතඥයෙකුට හැකියි.

සුප්‍රසිද්ධ සංගීතඥයන් තම වාද්‍ය වෘන්දයට මෙම නලාවේ ශබ්දයත් මුසු කර තිබෙනවා. වුල්ෆ්ගැන්ග් අමදියස් මොසාර්ට්ගේ පියා වන ලියෝපෝල්ඩ් මොසාර්ට් විසින් රචනා කළ වාද්‍ය කාණ්ඩවලට මෙම නලාවෙන් නිකුත් වන හඬට සමාන හඬක් මුසු කර තිබෙනවා. බ්‍රහම්ස් නමැති සංගීතඥයෙකුද බට නලා හා හොරණෑ යොදාගෙන ඒ හා සමාන හඬක් තම සංගීතයට මුසු කළා. එඬේර ජීවිතයේ සුන්දරත්වය දැනීමට සැලැස්වීම සඳහා බේතෝවන් නමැති සංගීතඥයාද ඇල්පෙන්හෝනයේ නාදය උපයෝගි කරගත්තා.

ඇල්පෙන්හෝන් නමැති වචනය මුලින්ම දකින්න ලැබුණේ 1527 ස්විට්සර්ලන්තයේ තාපසාරාමයක තිබූ පොතකයි. ඉන් අවුරුදු 500ක් පමණ ගත වී තිබුණත් ඇල්පෙන්හෝනයේ මිහිරි නාදය ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුයාය සිසාරා තවමත් රැව් පිළි රැව් දෙයි.

[15වන පිටුවේ පින්තූරය]

ඇල්පෙන්හෝනය කොටස්වලට ගලවා පහසුවෙන් රැගෙන යා හැකියි