Skip to content

පටුනට යන්න

දෙවිගේ මිතුරෙක් වෙන්න වයස බාධාවක් වුණේ නැහැ

දෙවිගේ මිතුරෙක් වෙන්න වයස බාධාවක් වුණේ නැහැ

දෙවිගේ මිතුරෙක් වෙන්න වයස බාධාවක් වුණේ නැහැ

පැවසුවේ ඔලිවේ ජේ. මට්ටිලා

“නිර්මාතෘ ගැන හරි අවබෝධයක් ලබාගන්න පුළුවන් කියලා ඔයා හිතනවද?” ඒ ප්‍රශ්නය මගෙන් ඇහුවේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක්. මං ඒ ගැන හුඟක් කල්පනා කළා. එතකොට මට වයස අවුරුදු 80කටත් වැඩියි. මේ වෙන කල්ම මගේ මිත්‍රයෝ වුණේ රාජ්‍ය නායකයන් සහ උසස් තනතුරු දරන අයයි. ඒත් දෙවි ගැන සත්‍යය දැනගෙන ඔහුගේ මිතුරෙක් වෙන්න මේ වයසෙදී මට පුළුවන් වෙයිද?

මම ඉපදුණේ 1918 ඔක්තෝබර් මාසයේ ෆින්ලන්තයේ හුවිංගෑ කියන ගම්මානයේ. අපිට ගොවිපොළක් තිබුණා. එහේ එළදෙන්නු, අශ්වයෝ, කුකුළෝ සහ තාරාවෝ හිටියා. පුංචි කාලෙදී ගොවිපොළේ වැඩවලට මං උදව් වුණා. මම මහන්සි වෙලා වැඩ කරලා ලොකු සතුටක් ලැබුවා.

මම ටිකක් ලොකු වෙද්දී දෙමාපියන් මාව වැඩිපුර අධ්‍යාපනයක් ලබන්න නගරයේ උසස් පාසැලකට ඇතුල් කළා. ඒ නිසා මට මලල ක්‍රීඩාවලට හවුල් වෙන්නත් හැකි වුණා. මලල ක්‍රීඩා සමාජයේ ඒ වන විට සභාපති හැටියට කටයුතු කළ හුර්හෝ කෙක්කොනන්ව හඳුනාගන්න ලැබුණේත් ඒ කාලයේදියි. ඔහු ෆින්ලන්තයේ අගමැති වෙයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. නමුත් ඔහු අවුරුදු 30ක් පුරා අගමැති ලෙසත් පසුව ජනාධිපති ලෙසත් සේවය කළා. මම බලාපොරොත්තු නොවූ විදිහට ඔහු මගේ ජීවිතයේ ලොකු වෙනසක් ඇති කළා.

බලය හා ප්‍රසිද්ධිය

වර්ෂ 1939දී ෆින්ලන්තය හා සෝවියට් සමූහාණ්ඩුව අතර යුද්ධයක් ඇති වුණා. ඒ අවුරුද්දේම නොවැම්බර් මාසයේදී මට හමුදාවට බැඳෙන්න සිදු වුණා. මම මුලින්ම සේවය කළේ පුහුණුකරුවෙක් හැටියටයි. පසුව මැෂින් තුවක්කු භාවිත කරන බලකායේ හමුදාපති ලෙස සේවය කළා. මම සටන් කරමින් සිටියේ ෆින්ලන්තයත් සෝවියට් සමූහාණ්ඩුවත් අතර පිහිටි මායිම් නගරයක් වූ කරෙලියාවලයි. වර්ෂ 1941දී වීබොග් නගරයට ආසන්නව සටන් කරමින් සිටින විට මට දරුණු ලෙස තුවාල වූ නිසා හමුදාවේ සේවය කරන්න හැකි වුණේ නැහැ.

වර්ෂ 1944දී මාව හමුදා සේවයෙන් ඉවත් කළ නිසා මම නැවතත් අධ්‍යාපන කටයුතුවල සහ මලල ක්‍රීඩා කටයුතුවල හවුල් වුණා. දෙවතාවක් සහාය දිවීමේ තරඟයේදීත් එක් වතාවක් කඩුළු පැනීමේ තරඟයේදීත් දස්කම් පාමින් ජාතික මලල ක්‍රීඩා ශූරතාව දිනාගත්තා. ඒ විතරක් නෙවෙයි තාක්ෂණය පිළිබඳවත් ආර්ථික විද්‍යාව පිළිබඳවත් උපාධි ලබාගත්තා.

ඒ කාලයේදී හුර්හෝ කෙක්කොනන් දේශපාලන ක්ෂේත්‍රයේ කැපීපෙනෙන චරිතයක් බවට පත් වෙලා හිටියා. වර්ෂ 1952දී එනම්, ඔහු අගමැති වශයෙන් කටයුතු කරන කාලයේදී මාව චීනයේ තානාධිපති ලෙස පත් කළා. එහිදී චීනයේ නායකයා වන මාහෝ සේතුං ඇතුළු තවත් රජයේ නිලධාරීන්ව මම දැන හඳුනා ගත්තා. ඒත් ඒ හැම කෙනෙකුටම වඩා මට වැදගත් වුණේ අනික්කි නම් තරුණියව මුණගැසීමයි. ඇය සේවය කළේ චීනයේ ෆින්ලන්ත විදේශ අමාත්‍යංශයේයි. අපි 1956 නොවැම්බර් මාසයේදී විවාහ වුණා.

ඊළඟ අවුරුද්දේ මාව ආජන්ටිනාවේ තානාධිපති හැටියට පත් කළා. අපේ පුතුන් දෙදෙනා ඉපදුණේ එහිදියි. අපි 1960දී නැවත ෆින්ලන්තයට ආවා. අපේ පවුලට දුව එකතු වුණේ ඒ අවුරුද්දෙයි.

උසස් නිලතල

මම කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා හිටියේ නැති වුණත් ජනාධිපති කෙක්කොනන් මාව 1963දී ඇමති මණ්ඩලයේ විදේශ වෙළඳ කටයුතු අමාත්‍ය දූරයට පත් කළා. මම අවුරුදු 12ක් අමාත්‍ය මණ්ඩල හයක සේවය කළ අතර දෙවතාවක්ම විදේශ කටයුතු භාර ඇමති ලෙසත් සේවය කළා. ඒ දවස්වල මම හිතුවේ මේ ලෝකයේ ප්‍රශ්න මිනිසුන්ට විසඳන්න පුළුවන් කියලයි. ඒත් මිනිසුන් හැමෝම බල තණ්හාවෙන් කටයුතු කරන අය බව මම වැඩිකල් යන්න කලින් තේරුම්ගත්තා. මිනිසුන් අනික් අයට මොන තරම් හානියක් වන විදිහට වැඩ කරනවාද කියා මම තේරුම්ගත්තේ ඒ කාලයේදියි.—දේශනාකාරයා 8:9.

හොඳ චේතනාවෙන් වැඩ කරන අයත් ඒ අතර හිටියා. ඒත් ඔවුන්ගේ වෑයම් සාර්ථක වුණේ නැහැ.

රටවල් 35ක රාජ්‍ය නායකයන්ගේ සමුළුවක් 1975දී හෙල්සංකි නගරයේ පැවැත්වුවා. ඒ සමුළුවේ අරමුණ යුරෝපයේ රටවල් අතර සුරක්ෂිතභාවය හා සමඟිය තහවුරු කිරීමයි. ඒ කාලයේදී මම විදේශ කටයුතු භාර ඇමති ලෙසත් ජනාධිපතිගේ සමීපතම උපදේශකයා ලෙසත් සේවය කළා. ඒ සමුළුව සංවිධානය කිරීමේ වගකීම පැවරුණේ මටයි.

එය ලෙහෙසි පහසු කාර්යයක් වුණේ නැහැ. රටවල නායකයන්ට ආසන වෙන් කිරීම පවා අසීරු කාර්යයක්. ඒ වුණත් ඒ සමුළුවෙනුත් ඉන්පසු පැවැත්වූ රැස්වීම්වලිනුත් යම් ප්‍රයෝජන තිබුණා. රාජ්‍ය නායකයන් අතර ඇති බැඳීම් ශක්තිමත් කරන්නත් මානව හිමිකම් ස්ථාපිත කිරීමටත් ඒ සමුළුව දායක වුණා.

දෙවිව සෙවීමට තිබූ ආශාව

මම 1983දී විශ්‍රාම ගෙන ප්‍රංශයේ හිටිය මගේ දුව ළඟට ගියා. ජීවිතයේ වේදනාත්මක අද්දැකීම්වලට මුහුණ දුන්නේ ඒ කාලයේදියි. වර්ෂ 1994 නොවැම්බර් මාසයේදී මගේ ආදරණීය බිරිඳට පියයුරු පිළිකාවක් තිබෙන බව සොයාගත්තා. ඒ විතරක් නෙවෙයි මාව වංචනික ආයෝජන සැලැස්මකට හසු වුණා. ඒ සිද්ධියෙන් මම කාලයක් පුරා රැකගත්ත හොඳ නම නැති වුණා.

මට 2002දී යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණා. මීට කලින් ඔවුන්ව නිතර නිතර හමුවෙලා තිබුණත් ඔවුන්ගේ සඟරා කියෙව්වත් මගේ කාර්යබහුල ජීවිතය නිසා දෙවි ගැන ඉගෙනගන්න තරම් කාලයක් මට තිබුණේ නැහැ. මම මේ ලිපිය ආරම්භයේදී සඳහන් කළ ප්‍රශ්නය ඔවුන් මගෙන් ඇසුවේ මේ අවස්ථාවේදියි. ‘දෙවි ගැන සැබෑ තොරතුරු දැනගන්න මට පුළුවන් වෙයිද, දෙවිගේ මිතුරෙක් වෙන්න මට පුළුවන්ද’ කියලා මම ඇත්තටම කල්පනා කළා. ඉන්පසු දුවිලි බැඳිලා තිබුණු මගේ බයිබලය අරගෙන සාක්ෂිකරුවන් සමඟ එය පාඩම් කරන්න පටන්ගත්තා.

වර්ෂ 2004දී මගේ ආදරණීය බිරිඳ මිය ගියා. මම මේ ලෝකයේ තනි වුණා කියලා මට දැනුණා. දරුවන් මාව සැනසුවත් මැරුණ කෙනෙකුට සිදු වන්නේ කුමක්ද කියන ප්‍රශ්නය මගේ හිතට වධ දුන්නා. ඒ ගැන මම පූජකයන් දෙදෙනෙක්ගෙන් ඇසුවා. ඔවුන් කිව්වේ ඒක උත්තර දෙන්න බැරි අමාරු ප්‍රශ්නයක් කියලයි. ඒ සිද්ධියෙන් පසු මට දෙවිව දැනගන්න තිබුණු ආශාව තව තවත් වැඩි වුණා.

දිගටම සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරද්දී මම කාලයක් පුරා සොයමින් සිටි දැනුම මට ලැබුණා. මිය ගිය කෙනෙකුට කිසිම දෙයක් දැනෙන්නේ හැඟෙන්නේ නැහැ කියලා බයිබලයේ පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. එය හරියට කෙනෙක් තද නින්දක සිටිනවා වගෙයි. මිය ගිය අයට මේ පොළොවේ නැවත ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලත් මම ඉගෙනගත්තා. (යොහන් 11:25) ඒ පොරොන්දුව මට ලොකු සැනසීමක් වුණා.

වැඩි කල් යන්න කලින් මම මුළු බයිබලයම කියෙව්වා. මගේ සිත් ගත් බයිබල් පදයක් තමයි මීකා 6:8. එහි පවසන්නේ මෙසේයි. “මනුෂ්‍යයෙනි, යහපත් දේ කුමක්ද කියා දෙවි ඔබට පැහැදිලිව කියා දී තිබේ. සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න. ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න. යෙහෝවා දෙවි ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඒ දේවල් මිස වෙන කිසිවක් නොවෙයි.” එය මොන තරම් වටිනා අදහසක්ද! යෙහෝවා දෙවි මොන තරම් ප්‍රේමණීය දෙවි කෙනෙක්ද කියලත් ඉන් මට පැහැදිලි වුණා.

බලාපොරොත්තුවක්

මම දෙවි ගැන නිවැරදි දැනුමක් ලබාගනිද්දී ඔහු කෙරෙහි තිබුණු විශ්වාසය තව තවත් වැඩි වුණා. නිර්මාතෘ සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගන්නත් ඉන් හැකි වුණා. යෙසායා 55:11හි සඳහන් දෙවිගේ මෙම වදන් මගේ සිතට හොඳින් කාවැදුණා. “මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.” දෙවි මේ වන තුරු දී තිබෙන එක පොරොන්දුවක්වත් කඩ කරලා නැහැ. ඒ නිසා අනාගතය ගැන දී තිබෙන පොරොන්දුත් ඔහු අනිවාර්යයෙන්ම ඉටු කරන බව විශ්වාසයි. ආණ්ඩුවලටවත් ඔවුන්ගේ සමුළුවලටවත් අත් කරගන්න බැරි වුණු දේවල් දෙවි ඉටු කරන බව ස්ථිරයි. ඒ ගැන ගීතාවලිය 46:9හි මෙසේ පවසනවා. “පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.”

සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට සහභාගි වීමෙන් මම හුඟක් ප්‍රයෝජන ලැබුවා. යේසුස්ගේ සැබෑ අනුගාමිකයන්ව හඳුනාගැනීමේ ලකුණ වන අව්‍යාජ ප්‍රේමය මම ඔවුන් අතර දැක්කා. (යොහන් 13:35) එය ජාතීවාදී හැඟිම් සහ පටු දේශපාලන වාසි ප්‍රයෝජනවලට යට වුණු ප්‍රේමයක් නෙවෙයි.

වටිනාම වරප්‍රසාදය

මම දැන් අවුරුදු 90ක වයෝවෘධ පුරුෂයෙක්. මගේ ජීවිතයේ මම ලබපු වටිනාම වරප්‍රසාදය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් වීමයි. දෙවි ගැන නිවැරදි දැනුමක් ලබාගැනීමට මට තිබුණු පිපාසය සන්සිඳුනා. මම ජීවිතයේ සැබෑ අරමුණ දැනගත්තා.

මේ වයසේදී වුණත් දෙවිගේ නමස්කාර කටයුතුවලට හවුල් වෙන්න ලැබීම මට සතුටක්. මට බොහෝ ප්‍රභූවරුන්ව දැන හඳුනා ගන්න ලැබුණත් උසස් තනතුරු දරන්න ලැබුණත් නිර්මාතෘ වන යෙහෝවා දෙවිව දැන හඳුනා ගැනීම සහ ඔහුගේ මිතුරෙක් වීම තරම් වටිනා දෙයක් තවත් නැහැ. ඔහුගේ ‘හවුල් වැඩකරුවෙක්’ වෙන්න ලැබීම ගැන මම ඔහුට ස්තුතිවන්ත වෙනවා. (1 කොරි. 3:9) ඇත්තෙන්ම දෙවිගේ මිතුරෙක් වෙන්න වයස බාධාවක් නෙවෙයි!

[25වන පිටුවේ පින්තූරය]

හෙල්සංකි නගරයේ 1975 පැවැත්වූ සමුළුවේදී ජනාධිපති කෙක්කොනන් සහ ඇ.එ.ජ. ජනාධිපති ෆෝර්ඩ් සමඟ

[25වන පිටුවේ පින්තූරය]

ජනාධිපති කෙක්කොනන් සහ රුසියාවේ ජනාධිපති බ්‍රෙෂ්නෙව් සමඟ

[26වන පිටුවේ පින්තූරය]

මම දෙවිගේ සේවයේ යෙදෙමින්

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Lower left: Ensio Ilmonen/​Lehtikuva; lower right: Esa Pyysalo/​Lehtikuva