Skip to content

පටුනට යන්න

වංකකමට දිරි දෙන සමාජයක්

වංකකමට දිරි දෙන සමාජයක්

වංකකමට දිරි දෙන සමාජයක්

“අවංකව ව්‍යාපාර කටයුතු කළේ ආච්චිලාගේ සීයලාගේ කාලේ. අද ඒ විදිහට කළොත් පාඩු විඳින්න වෙයි.”—එක්සත් ජනපදයේ, ස්ටීවන්.

ඔබ ස්ටීවන්ගේ අදහසට එකඟද? කෙටි කාලයකට හෝ යම් වාසි ලැබෙන නිසා සමහරුන් ඊට එකඟ විය හැකියි. නමුත් ඒ නිසා අවංක පුද්ගලයන්ට පහත සඳහන් පැතිවලින් විශාල පීඩනයකට මුහුණ දීමට සිදු වෙනවා.

තමාගේ ආශාව. මුදල් වැඩියෙන් උපයන්න හෝ සැපපහසු ජීවිතයක් ගත කරන්න කවුද අකමැති? ඒ නිසා වංචාවෙන් හෝ මුදල් ඉපයීමට අවස්ථාව ලැබෙන විට එය ප්‍රතික්ෂේප කිරීම පහසු දෙයක් නොවෙයි.

● “මම වැඩ කරන සමාගමේ කොන්ත්‍රාත් භාර දෙන්නේ මමයි. හුඟක් අය මගෙන් ඒ කොන්ත්‍රාත් ලබාගන්න අල්ලස් දෙනවා. අල්ලස් දෙන එක සාමාන්‍යය දෙයක්. කිසි මහන්සියක් නැතුව ඒ විදිහට සල්ලි ලැබෙද්දී එපා කියන එක හුඟදෙනෙකුට එච්චර ලේසි දෙයක් නෙමෙයි.”—මැද පෙරදිග, ෆ්‍රාන්ස්.

අධික ලාභ ලැබීමට ඇති පෙලඹීම. මෑත කාලයේදී සිදු වූ ආර්ථික බිඳ වැටීම නිසා ව්‍යාපාරිකයන්ට බොහෝ ගැටලුවලට මුහුණ දීමට සිදු වී තිබෙනවා. නවීන තාක්ෂණය නිසාත් දේශීය හා විදේශීය වෙළඳපොළේ ඇති තරඟකාරීත්වය නිසාත් ඔවුන්ට විශාල පීඩනයකට මුහුණ දීමට සිදු වෙනවා. ඒ නිසා සමාගම්වලින් ඉදිරිපත් කරන ඉලක්ක කරා යෑම සඳහා තමන් වංකව ක්‍රියා කරනවා හැර වෙනත් විකල්පයක් නැති බව සේවකයන් සිතනවා.

● “ආයතනයේ දියුණුව තකා අපිට එහෙම කරන්න වෙනවා. එහෙම නැති වුණොත් ආයතනයට පාඩු විඳින්න වෙනවා.”—අල්ලස් චෝදනාවක් නිසා අත් අඩංගුවේ සිටින රයින්හාඩ් සීකාචෙක්.

අන් අයගෙන් එල්ල වන පීඩනය. සෙසු සේවකයන් හෝ පාරිභෝගිකයන් ඔවුන්ගේ වංචනික ක්‍රියාවලට ඔබටත් හවුල් වන ලෙස බල කිරීමට ඉඩ තිබෙනවා.

● “අපේ ප්‍රධාන ගැනුම්කරුවෙක් කිව්වා මම එයත් එක්ක කරන ගනුදෙනුවලට එයාට මුදලක් දුන්නේ නැත්නම් එයා අපෙන් බඩු ගන්න එක නවත්වනවා කියලා.”—දකුණු අප්‍රිකාවේ, ජෝන්.

සංස්කෘතිය. සමහර සංස්කෘතිවල ව්‍යාපාරික ගනුදෙනුවකදී තෑග්ගක් ලෙස යමක් දීම සිරිතක්. නමුත් එම තෑග්ග දුන්නේ අවංක චේතනාවෙන්ද නැත්නම් වංචනික දෙයක් කරගන්නද කියා තේරුම්ගැනීම අපහසුයි. බොහෝ රටවල නිලධාරීන් තම සේවාවන් සැපයීමට පෙර මුදල් ඉල්ලා සිටින අතර පාරිභෝගිකයන්ට වැඩිපුර සේවාවන් ඉටු කර දීම සඳහාද මුදල් කැමැත්තෙන්ම භාරගන්නවා.

● “අල්ලසයි සතුටින් දෙන දෙයයි අතර වෙනස තේරුම්ගන්න හරි අමාරුයි.”—කොලොම්බියාවේ, විලියම්.

ජීවත් වන සමාජය. දුප්පත්කම නිසා හෝ රටේ නීති හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා වංචනික දේවල් කිරීමට මිනිසුන්ට තිබෙන පෙලඹීම වැඩියි. එවැනි සමාජයක ජීවත් වන අය, අවංක අයව තම පවුල් වගකීම් නිසියාකාරව ඉටු නොකරන අය ලෙස සැලකීමට ඉඩ තිබෙනවා.

● “කාටවත් අහුවෙන්නේ නැති විදිහට වංචනික දේවල් කරන්න පුළුවන් නම් ඒකෙ ගැටලුවක් නැහැ.”—කොංගොවේ, ටොමාසි.

අවංක වෙන්න බැරි ඇයි?

අද සමාජය දිරි දෙන්නේ වංකව කටයුතු කිරීමටයි. ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරික කලමනාකරුවන් ගැන කළ සමීක්ෂණයකදී ඊට සහභාගි වූ අයගෙන් දහයෙන් නවයක්ම කියා සිටියේ අල්ලස හා දූෂණය වැරදි බව දැන සිටියත් ඉන් වැළකීමට නොහැකි බවයි. ඔවුන් සමාගමට කොන්ත්‍රාත්තුවක් ලබාගැනීමට හෝ සමාගමේ වාසි ප්‍රයෝජන තකා තම ප්‍රතිපත්ති වුණත් පාවා දීමට කැමති බව එම සමීක්ෂණයෙන් හෙළි වුණා.

කෙසේවෙතත් වංචනික ක්‍රියාවල හවුල් වන පුද්ගලයන් සිතන්නේ තමන් අවංකයි කියායි. ඔවුන් එසේ සිතීමට හේතුව එක් වාර්තාවක මෙසේ සඳහන් වුණා. “ව්‍යාපාර කටයුතුවලදී ලාභ ලබාගැනීම සඳහා වංක ලෙස කටයුතු කළත් තමන් අවංකයි කියා ඔවුන් සිතනවා.” වංකව කටයුතු කිරීම සිතට වදයක් කර නොගැනීම සඳහා ඔවුන් එය සාධාරණීකරණය කිරීමට උත්සාහ කරනවා.

උදාහරණයකට වංකකම ඔවුන් බරපතළ දෙයක් ලෙස සලකන්නේ නැහැ. තමන් වංචා කරන්නේ හෝ බොරු කියන්නේ අවශ්‍ය කාර්යය කරගන්න මිසක් ඊට කැමති නිසා නොවන බව ඔවුන්ගේ මතයයි. ඔවුන් වංකකම එතරම් බරපතළ දෙයක් නොවෙයි කියා පෙන්වීමට ඒ සඳහා විවිධ යෙදුම් යොදනවා. බොරු කියන්නේ හෝ වංචනික දේවල් කරන්නේ තරඟකාරිත්වය නිසා කියා ඔවුන් පවසනවා. ඔවුන් අල්ලස සලකන්නේ කාර්යයක් ඉක්මනින් කරගැනීමට සතුටු සිතින් දෙන යමක් ලෙසයි.

තවත් සමහරුන් එවැනි වංචනික ක්‍රියා වැරදි නැහැ කියා පෙන්වීමට අවංකකම ගැන තිබෙන මත බාල කරනවා. මූල්‍යම සමාගමක සේවය කරන ටොම් මෙවැනි දෙයක් පවසනවා. “තමන්ට නීතියේ රැහැනින් ගැලවෙන්න පුළුවන් නම් තමන් අවංකයි කියලා මිනිසුන් හිතනවා. කරපු වැඩේ වංචනික දෙයක් වුණාට එයාලට ප්‍රශ්නයක් නැහැ.” විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ ඩේවිඩ් පැවසුවේ මෙසේයි. “වංචනික දෙයක් කරලා අහු වුණත් ඒකෙන් ගැලවෙන්න එයා මාර්ගයක් හොයාගන්නවා නම් අනික් අය එයාව සලකන්නේ ‘හොඳ මොළකාරයෙක්’ කියලයි.”

බොහෝදෙනෙක් සිතන්නේ අවංකකම දියුණුවට බාධාවක් කියායි. බොහෝ කාලයක් පුරා ව්‍යාපාරික කටයුතුවල යෙදුණු පුද්ගලයෙක් මෙසේ පවසනවා. “මිනිසුන්ට තියෙන තරඟකාරී ආකල්ප නිසා ඔවුන් මේ වගේ දේවල් කියනවා. ‘මොනවා කළත් කමක් නැහැ වැඩේ කෙරෙනවා නම්.’” එය සත්‍යයක්ද? නැත්නම් ‘බොරු තර්ක විතර්කවලින් ඔවුන්වම රවටාගැනීමක්ද?’ (යාකොබ් 1:22) අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ අවංක වීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනයි.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

“නීතියේ රැහැනින් ගැලවෙන්න පුළුවන් නම් තමන් අවංකයි කියලා මිනිසුන් හිතනවා. කරපු වැඩේ වංචනික දෙයක් වුණාට ප්‍රශ්නයක් නැහැ”

[5වන පිටුවේ පින්තූරය]

බොහෝදෙනෙක් සිතන්නේ අවංකකම දියුණුවට බාධාවක් කියායි