Skip to content

පටුනට යන්න

සැබෑ සාර්ථකත්වයට මඟ අවංකකමයි

සැබෑ සාර්ථකත්වයට මඟ අවංකකමයි

සැබෑ සාර්ථකත්වයට මඟ අවංකකමයි

“කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.”—ලූක් 12:15.

අපට ජීවත් වීමට මුදල් අවශ්‍යයි. පවුලේ සියලුදෙනාගේ අවශ්‍යතා නිසියාකාරව ඉටු කිරීම යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වෙනවා.—1 තිමෝති 5:8.

කෙනෙකුගේ ජීවිතයේ අවශ්‍යතා පිරිමසාගැනීමට මුදල් ඉපයීමේ කිසි වරදක් නැහැ. නමුත් ඔහුගේ ජීවිතයේ එකම අරමුණ එය නම් එවැනි කෙනෙකුට වංකව කටයුතු කිරීමට තිබෙන පෙලඹීම වැඩියි. එසේ කිරීමෙන් සාර්ථක විය නොහැකි බව තේරුම්ගන්නා විට ඔවුන් ප්‍රමාද වැඩියි. මුදලට දැඩි ආශාවක් දැක්වීම විනාශයට මඟ පාදන බව බයිබලයේද සඳහන් වෙනවා.—1 තිමෝති 6:9, 10.

සාර්ථකත්වය කියන්නේ ධනසම්පත් රැස් කිරීම නොවන බව පහත සඳහන් අද්දැකීම්වලින් පැහැදිලි වෙනවා.

ආත්ම ගරුත්වය

ඇමරිකා එක්සත් ජනපදයේ දොන්ගේ අද්දැකීම මෙයයි. “අවුරුදු කිහිපයකට කලින් ඩොලර් මිලියනයක ජීවිත රක්ෂණයක් ගන්න මං ගාවට පුද්ගලයෙක් ආවා. ඒ රක්ෂණය කළොත් මට ඩොලර් දහස් ගානක් ලැබෙනවා. මගෙන් ඒ රක්ෂණය කරගන්න නම් මට ලැබෙන මුදලින් එයාටත් භාගයක් ඕනෙ කියලා එයා කිව්වා. නමුත් ඒක අසාධාරණ දෙයක් වගේම නීති විරෝධී වැඩක් කියලා මම එයාට කිව්වා.

“වංචනික කෙනෙකුට එයාගේ පෞද්ගලික තොරතුරු සහ මූල්‍යයම තොරතුරු දෙන එක මොන තරම් භයානක දෙයක්ද කියලා මම එයාට තේරුම් කරලා දුන්නා. මම අවංකව වැඩ කරන කෙනෙක් කියලත් පැහැදිලිව එයාට කිව්වා. එයා අවංකව වැඩ කරන්න කැමති නම් මට කතා කරන්න කියලා කිව්වත් එයා මට කවදාවත් කතා කළේ නැහැ.

“මම එයාගේ යෝජනාවට එකඟ වුණා නම් මම වංචනික කෙනෙක් වෙනවා. ක්‍රිස්තියානියෙක් හැටියට මගේ නමත් කැත වෙනවා. මට හැමදාටම එයාට යටත් වෙලා ඉන්නත් වෙයි.”

මනසට සහනය

මුල්ම ලිපියේ සාකච්ඡා කළ ඩැනී සැපයුම්කරුගේ භාණ්ඩ, ප්‍රමිතියට අනුව නිපදවිය හැකි බවට බොරු වාර්තාවක් සැපයුවොත් ඔහුට විශාල අල්ලසක් ගැනීමට හැකිකම තිබුණා. ඩැනී කළේ කුමක්ද?

“මට හොඳින් සංග්‍රහ කළාට මම එයාට ස්තුති කරලා එයා දුන්න ලියුම් කවරය ආපහු දුන්නා. මම ඒ කොන්ත්‍රාත්තුව එයාට දුන්නොත් තවත් වැඩියෙන් මුදල් දෙනවා කියලා එයා මට ආයෙත් සැරයක් කිව්වා. ඒත් මම ඒක භාරගත්තේ නැහැ.

“මම ඒ මුදල් ගත්තා නම් මට හැමදාම ඉන්න වෙන්නේ භයෙන්. මගේ ආයතනයේ කළමනාකරුටත් පස්සේ ඒක ආරංචි වුණා. හැබැයි මම කිසිම වංක දෙයක් නොකරපු එක ගැන මම සතුටු වෙනවා. මට මතක් වුණේ හිතෝපදේශ 15:27හි කියලා තිබුණු මේ වචනයි. ‘අයුතු ලෙස ලාභ උපයන තැනැත්තා තමාගේම ගෙයි වැසියන්ව විනාශයට පමුණුවයි. නමුත් අල්ලසට පිළිකුල් කරන තැනැත්තා තම ජීවිතය රැකගනියි.’”

පවුලේ සතුට

ඇමරිකා එක්සත් ජනපදයේ ජීවත් වන ඩර්වින්ගේ අද්දැකීම මෙයයි. “මම ඉදි කිරීම් ක්ෂේත්‍රයේ මගේම කියලා ව්‍යාපාරයක් කරනවා. මේ ක්ෂේත්‍රයේ සාමාන්‍යයෙන් පාරිභෝගිකයන්ට වංචා කරන්නත් බදු නොගෙවා ඉන්නත් ඕන තරම් අවස්ථා ලැබෙනවා. ඒත් අවංකව වැඩ කරන නිසා මමත් මගේ පවුලේ අයත් හුඟක් ප්‍රයෝජන ලබනවා.

“අවංක කෙනෙක් රැකියාවේදී විතරක් නෙමෙයි ජීවිතේ හැම කාරණයකදීම අවංක වෙන්න ඕනේ. අවංකකම ගැන දෙවි දීලා තියෙන ප්‍රතිපත්තිවලට එකඟව ස්වාමිපුරුෂයා හෝ භාර්යාව වැඩ කරනවා කියලා ස්ථිරයෙන්ම දන්නවා නම් ඔවුන් අතර තියෙන විශ්වාසය තවත් වැඩි වෙනවා.

“වංචා කරලා ඔයාට ලොකු සමාගමක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් වුණත් පවුල් ජීවිතයේ ඇති වන ප්‍රශ්නවලට විසඳුම් ලැබෙයි කියල නම් හිතන්න බැහැ. නමුත් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් හැටියට මම දන්නවා බයිබලයේ ඇති මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වුණොත් ප්‍රශ්න හුඟක් අඩු වෙනවා කියලා. අපි සල්ලි පස්සෙම දුවන්නේ නැති නිසා අපිට පවුල් ජීවිතය සතුටින් ගත කරන්න කාලය තියෙනවා.”

දෙවි සමඟ ඇති බැඳීම

ෆිලිපීනයේ ජීවත් වන රාකෙල්ගේ අද්දැකීම මෙයයි. “මම වැඩ කරන්නේ බඩු මිල දී ගැනීමේ අංශයේයි. බඩු මිල දී ගන්න ගියාම ඒවාට වට්ටම් ලැබෙනවා. ඒ සම්පූර්ණ වට්ටම් මුදල සමාගමට නොදී කොටසක් මටත් ගන්න කියලා කඩ අයිතිකාර අය යෝජනා කරනවා. ඒත් මම දන්නවා එහෙම කරන එක මම සමාගමට කරන වංචාවක් කියලා.

“මට ලොකු පඩියක් ලැබෙන්නේ නැති නිසා මට ඕනේ නම් ඒ මුදල් ගන්න තිබුණා. හැබැයි ඊට වඩා මට වැදගත් මගේ හෘදය සාක්ෂිය. මම යෙහෝවා දෙවි අකමැති දෙයක් කළේ නැහැ. හැම වෙලාවෙම මම වැඩ කළේ හෙබ්‍රෙව් 13:18 කියන විදිහටයි. ඒ පදයේ සඳහන් වෙන්නේ මෙහෙමයි. ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’”

[9වන පිටුවේ කොටුව/පින්තූරය]

පිළිපැදිය යුතු ප්‍රතිපත්ති

ව්‍යාපාරයක් කිරීමේදී ඊට අදාළ ප්‍රතිපත්ති රටින් රටට වෙනස්. නමුත් බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවා නම් හරි වැරැද්ද කුමක්ද කියා නිවැරදිව තීරණය කළ හැකියි. ව්‍යාපාරයක් අවංකව කිරීමට නම් පහත සඳහන් ප්‍රතිපත්ති හය මතක තබාගත යුතුයි.

ඇත්ත කතා කරන්න

ප්‍රතිපත්තිය: “එකිනෙකාට බොරු නොකියන්න.”—කොලොස්සි 3:9.

ස්ථිරව සිටින්න

ප්‍රතිපත්තිය: “එසේය කියා කිව යුතු අවස්ථාවලදී එසේය කියාත් නැත කියා කිව යුතු අවස්ථාවලදී නැත කියාත් පැවසීම ප්‍රමාණවත්.”—මතෙව් 5:37.

විශ්වාසවන්ත වන්න

ප්‍රතිපත්තිය: “අන් අයගේ රහස් හෙළි නොකරන්න.”—හිතෝපදේශ 25:9.

අවංක වන්න

ප්‍රතිපත්තිය: “අල්ලස් නොගන්න. බුද්ධිමත්ව විනිශ්චය කරන කෙනෙකුව පවා අල්ලසකින් නොමඟ යැවිය හැකියි.”—නික්මයාම 23:8.

සාධාරණ වන්න

ප්‍රතිපත්තිය: “අනුන් ඔබට යම් දෙයක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දේම ඔවුන්ට කරන්න.”—මතෙව් 7:12.

නීතිගරුක වන්න

ප්‍රතිපත්තිය: ‘සියලුදෙනාටම දිය යුතු දේ දෙන්න. බදු දිය යුතු තැනැත්තාට බදු දෙන්න.’—රෝම 13:7.

[9වන පිටුවේ කොටුව/පින්තූර]

ව්‍යාපාර කටයුතුවලදී විශ්වාසවන්ත වන්නේ කොහොමද?

වැදගත් දේට මුල් තැන දෙන්න. උදාහරණයකට ඔබ වැදගත්කොට සලකන්නේ ධනසම්පත් රැස් කිරීමද නැත්නම් දෙවි සමඟ තිබෙන බැඳීමද?

කලින්ම තීරණය කරන්න. අවංකකමට අභියෝගයක් එල්ල වන අවස්ථා මොනවාද කියා කලින්ම සිතා බලා ඊට ප්‍රතිචාරය දක්වන ආකාරය සැලසුම් කරන්න.

ඔබ ගැන පැහැදිලි කර දෙන්න. අලුත් ව්‍යාපාර ගනුදෙනුවක් ආරම්භ කළ විගස ඔබේ ප්‍රතිපත්ති ගැන අන් අයට පැහැදිලි කර දෙන්න.

සහාය ලබාගන්න. අවංකව ක්‍රියා කිරීමට අපහසු අවස්ථාවලදී ඔබ හා සමාන ප්‍රතිපත්ති තිබෙන කෙනෙකුගෙන් උපදෙස් පතන්න.

[8වන පිටුවේ පින්තූරය]

ඔබ අවංකව කටයුතු කරනවා නම් ඔබේ මනසට සහනයක් ලැබෙයි