Skip to content

පටුනට යන්න

ඔබ දැනගත යුතු දේ

ඔබ දැනගත යුතු දේ

ඔබ දැනගත යුතු දේ

සෑම දෙයකම හොඳ මෙන්ම නරක පැති තිබෙනවා. මිතුරු සමාජ වෙබ් අඩවි ගැන කිව හැක්කෙත් එයමයි. * එහි ඇති අවදානම් මොනවාද කියා අපි දැන් සලකා බලමු.

1 මිතුරු සමාජ වෙබ් අඩවි මගේ පෞද්ගලික ජීවිතයට බලපාන්නේ කොහොමද?

“කතාබහ වැඩි වූ විට වරදකට හසු වීමේ ඉඩකඩද වැඩිය. එහෙත් බුද්ධිමත් තැනැත්තා තම වචන කල්පනාකාරීව හසුරුවයි.”—හිතෝපදේශ 10:19.

ඔබ දැනගත යුතු දේ. ඔබ කල්පනාකාරී නොවුණොත් ඔබේ පෞද්ගලික තොරතුරු, ඡායාරූප, ඔබ යවන පණිවිඩ සහ පිළිතුරු ඕනෑම කෙනෙකුට දැනගත හැකියි. උදාහරණයකට ඔබ පදිංචි වී සිටින ස්ථානය, නිවසේ සිටින වේලාව, රැකියා කරන ස්ථානය හෝ ඔබ යන පාසැල වැනි තොරතුරු ඔවුන් දැනගනියි. “අපි හෙට නිවාඩුවකට යනවා” කියා ඔබ යවන කෙටි පණිවිඩය සහ ඔබේ ලිපිනය පවා ඔබට යම් හානියක් කිරීමට සොරෙකුට ප්‍රමාණවත්.

ඔබේ ඊ-මේල් ලිපිනය, උපන් දිනය හෝ දුරකථන අංකය වෙනත් කෙනෙක් අතට පත් වුණොත් ඔබට යම් කරදරයක් කිරීමට හෝ ඔබේ නමින් පෙනී සිට වංචා සිදු කිරීමට වුණත් හැකියි. බොහෝදෙනෙක් එම අනතුර ගැන නොදැන තම පෞද්ගලික තොරතුරු වෙබ් පිටුවල පළ කරනවා.

තමන් වෙබ් පිටුවට ඇතුළත් කරන තොරතුරු සියලුදෙනාට දැකගත හැකි බව බොහෝ අයට අමතක වෙනවා. ඔවුන් යවන තොරතුරු ‘මිතුරන් අතරේ පමණයි’ කියා සඳහන් කළත් මිතුරන් ඒ තොරතුරු වෙනත් අයට බෙදා නොහරියි කියා ස්ථිර විය නොහැකියි.

ඔබට කළ හැකි දේ. ඔබ වෙබ් පිටුවට ඇතුළත් කරන තොරතුරු අනවශ්‍ය පුද්ගලයන්ට බැලීමට නොහැකි වන ආකාරයේ ආරක්ෂිත පියවර ගන්න. ඔබේ ඡායාරූප සහ තොරතුරු ඔබ දැන හඳුනන, විශ්වාසවන්ත අයට පමණක් බැලීමට හැකි ආකාරයේ අලුත් ක්‍රම භාවිත කරන්න.

ඔබ එවැනි ක්‍රියාමාර්ග ගත්තත් ඔබ වෙබ් පිටුවට ඇතුළත් කරන තොරතුරු නොසිතූ ලෙස වෙනත් පුද්ගලයන් අතට පත් විය හැකියි. ඒ නිසා නාඳුනන පුද්ගලයෙකුට ඔබ ඇතුළත් කරන තොරතුරු යොදාගෙන යම් වංචනික ක්‍රියා කිරීමට හැකියාවක් තිබෙනවාද කියා නිතරම සොයා බලන්න. ඔබේ හෝ ඔබේ මිතුරෙකුගේ පෞද්ගලිකත්වයට හානියක් විය හැකි තොරතුරු මිතුරන් අතරේ පවා බෙදා නොගන්න. (හිතෝපදේශ 11:13) ඔබට යම් පෞද්ගලික තොරතුරක් යමෙකුට පැවසීමට තිබෙනවා නම් ඒ සඳහා වෙනත් ක්‍රමයක් යොදාගත හැකියි. කැමරන් නමැති යෞවනිය මෙසේ පවසනවා. “දුරකථනයෙන් කතා කරනවා නම් වෙනත් අයට ඒ තොරතුරු දැනගන්න ලැබෙන්නේ නැහැ.”

මඟ පෙන්වීමක්. කිම් නමැති කාන්තාව මෙසේ පවසනවා. “ඔයා කරන දේ ගැන කල්පනාකාරී වෙනවා නම් ඔයාගේ පෞද්ගලික තොරතුරු අනවශ්‍ය අයට බලන්න බැහැ. ඔයා කරදරේ වැටුණොත් වැටෙන්නේ ඔයාගෙම නොසැලකිල්ල නිසයි.”

2 මිතුරු සමාජ වෙබ් අඩවි භාවිත කිරීමෙන් මගේ කාලය නාස්ති වෙනවාද?

‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

ඔබ දැනගත යුතු දේ. මිතුරු සමාජ වෙබ් අඩවි නිසා වඩා වැදගත් දේවලට කාලය නැති වී යයි. කේ නමැති කාන්තාව මෙසේ පවසනවා. “යාළුවෝ වැඩි වෙන තරමට ඒකට ගත කරන කාලයත් වැඩියි, ඇබ්බැහි වෙන්නත් පුළුවන්.” එවැනි උගුලකට හසු වූ අයගේ අද්දැකීම් කිහිපයක් සලකා බලන්න.

“මිතුරු සමාජ වෙබ් අඩවියකට ඇතුල් වුණාට පස්සේ ඒකෙන් අයින් වෙන්න ඕනෙකමක් තිබුණත් ඒක හරිම අමාරු වැඩක්.”—එලීස්.

“ඒ වෙබ් අඩවිවල ක්‍රීඩා කරන්න පුළුවන්, දැනුම මිනුම තරඟ තියෙනවා, යාළුවන්ගේ තොරතුරුත් තියෙනවා. ඒ නිසා කාලය යනවා තේරෙන්නේ නැහැ.”—බ්ලාන්.

‘ඒක නිකං කොටි වලිගයක් අල්ලගත්තා වගෙයි. වෙන වැඩක් කරන්න කාලයක් නැහැ.’—ඇනලීස්.

“මට ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකල් ඉවසිල්ලක් නැහැ. මට ඕනෙ මම යවපු පණිවිඩවලට යාළුවෝ එවපු උත්තර බලන්න. ඒවට උත්තර ලියන්නත් එයාලා එවපු පින්තූර බලන්නත් මම හුඟක් ආසයි. මම ඒවට උත්තර ලියද්දී කවුරු හරි ඇවිල්ලා කතා කළොත් මට කේන්ති යනවා. මම දන්න සමහර අය මුළු දවසෙම ඒකෙ එල්ලිලා ඉන්නවා. එයාලා යාළුවන්ගේ ගෙවල්වලට ගියාමත් ඒකමයි කරන්නේ.”—මෙගන්.

ඔබට කළ හැකි දේ. කාලය රන් හා සමානයි. ඔබ අන්තර්ජාලය භාවිත කිරීමට අදහස් කරන කාලය සහ වැය කළ කාලය සටහන් කරන්න. මාසය අවසානයේදී අවශ්‍ය සකස් කිරීම් කරන්න.

ඔබ දෙමාපියෙකු නම් ඔබේ දරුවා අන්තර්ජාලය භාවිත කිරීමට ඇබ්බැහි වී සිටිනවාද කියා සොයා බලා අවශ්‍ය පියවර ගන්න. උදාහරණයකට නැන්සි ඊ. විලර්ඩ් නමැති ලේඛිකාව, මිතුරු සමාජ වෙබ් අඩවි වැඩියෙන් භාවිත කරන අය ගැන මෙසේ පවසනවා. ඔවුන්ට කනස්සල්ල, මානසික පීඩනය සහ නොවටිනාකමේ හැඟීම් ඇති විය හැකියි. ඇය මෙසේද පැවසුවා. “බොහෝ තරුණ අය තම සමාජ මට්ටම ගැන සැලකිලිමත් වෙනවා. ඔවුන් සිතන්නේ අන්තර්ජාලය වැනි නවීන ක්‍රම මගින් වැඩි වැඩියෙන් මිතුරන්ව ඇති කරගැනීමෙන් තමන්ට සමාජයේ පිළිගැනීමක් ලැබෙනවා කියායි. ඒ නිසා ඒවාට ඇබ්බැහි විය හැකියි.”

ඔබේ පවුලේ සාමාජිකයන් අතර ඇති බැඳීම නැති කිරීමට කිසිම වෙබ් අඩවියකට ඉඩ දෙන්න එපා. ඩාන් ටැප්ස්කොට් නමැති ලේඛකයා මෙවැනි දෙයක් පවසනවා. “පවුලේ අය දුර ඈතක සිටින විට සම්බන්ධතා පැවැත්වීමට මෙම වෙබ් අඩවි උපකාරයක්. ඒත් පවුලේ අය එකට සිටින විට ඔවුන් අතර ඇති බැඳීමට මෙම වෙබ් අඩවි බාධාවක් නම් ඒක මොන තරම් විහිළුවක්ද!”

මඟ පෙන්වීමක්. එමලී නමැති යෞවනිය මෙසේ පවසනවා. “අනික් අය එක්ක හොඳ සම්බන්ධතාවක් තියාගන්න මිතුරු සමාජ වෙබ් අඩවි ලොකු උපකාරයක්. ඒත් ඒක පාලනයක් ඇතුව කරන්න තමන් දැනගන්න ඕනේ.”

3 මිතුරු සමාජ වෙබ් අඩවි නිසා මගේ නමට හානියක් සිදු වෙලාද?

“වස්තු සම්භාරයක් තිබීමට වඩා වටින්නේ හොඳ නමක් ඇතුව සිටීමයි. හොඳ නමක් දිනාගැනීම රන් රිදීවලටත් වඩා වටින්නේය.”—හිතෝපදේශ 22:1.

ඔබ දැනගත යුතු දේ. ඔබ කුමනාකාරයේ පුද්ගලයෙක්ද කියා ඔබ වෙබ් පිටුවල දමන තොරතුරුවලින් හෙළි වෙනවා. ඔබ යම් තොරතුරු දැමූ පසු එය ඉවත් කරගැනීම පහසු දෙයක් නොවෙයි. (හිතෝපදේශ 20:11; මතෙව් 7:17) බොහෝදෙනෙක් ඉන් සිදු වන හානිය තේරුම්ගන්නේ නැහැ. රාකෙල් නම් යෞවනිය මෙවැනි දෙයක් පවසනවා. “වෙබ් පිටුවලට තොරතුරු දාද්දී හුඟදෙනෙක් දුර දිග බලලා වැඩ කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් කතා කරද්දී නොකියන දේවල් පවා දානවා. ඒ වගේ පුංචි තොරතුරකින් වුණත් කොයි තරම් හානියක් වෙන්න පුළුවන්ද කියලා එයාලා තේරුම්ගන්නේ නැහැ.”

මිතුරු සමාජ වෙබ් අඩවිවලට ඔබ ඇතුළත් කරන තොරතුරු නිසා ඔබේ නමට යම් කැළැලක් සිදු වුණොත් එය දිගු කාලීනව බලපායි. එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “මෙම වෙබ් අඩවිවලට දමන තොරතුරු නිසා බොහෝ අයට රැකියා අහිමි වී තිබෙන අතර අලුත් රැකියා සොයාගැනීමට පවා අපහසු වී ඇති බව වාර්තා වී තිබෙනවා.”—Grown Up Digital.

ඔබට කළ හැකි දේ. ඔබේ වෙබ් පිටුව වෙනත් කෙනෙකු දකින විට එහි ඇති දේවල් ගැන ඔවුන්ට කෙසේ හැඟෙයිද කියා සිතා බලන්න. ‘මං දාලා තියෙන පින්තූර දකිද්දී අනික් අය මං ගැන මොනවා හිතයිද? මම කිසිම හැදියාවක් නැති කෙනෙක් කියලා හිතයිද? මම රැකියාවකට ඉල්ලුම් කරද්දී ඒ අය මං ගැන ඒ විදිහට හිතුවොත් මොනවා වෙයිද?’

ඔබ යෞවනයෙක් නම් මෙසේ සිතන්න. ‘මගේ දෙමාපියන්, ගුරුවරුන් හෝ වෙනත් වැඩිහිටියෙක් මගේ වෙබ් පිටුව දැක්කොත් මං ගැන මොනවා හිතයිද? මට ලැජ්ජාවක් දැනෙයිද?’

මඟ පෙන්වීමක්. ඔබේ නම රැකගැනීමට නම් බයිබලයේ සඳහන් මෙය සිතට ගන්න. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.”—ගලාති 6:7.

4 මිතුරු සමාජ වෙබ් අඩවි හරහා මම ආශ්‍රය කරන්නේ සුදුසු අයවද?

ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි.”—හිතෝපදේශ 13:20.

ඔබ දැනගත යුතු දේ. ඔබේ මිතුරන් ඔබ සිතන සහ ක්‍රියා කරන ආකාරයට විශාල බලපෑමක් ඇති කරනවා. (1 කොරින්ති 15:33) ඒ නිසා මිතුරු සමාජ වෙබ් අඩවිය හරහා මිත්‍රයන් කරගන්නා අය ගැනද සැලකිලිමත් විය යුතුයි. සමහරුන් මිත්‍රකම් ඇති කරගැනීමට නොදන්නා අය එවන බොහෝ ආරාධනා පිළිගන්නවා. තවත් අය තමන්ගේ මිත්‍රයන්ගේ ලැයිස්තුවේ සිටින බොහෝදෙනෙක් ආශ්‍රයට සුදුසු නැති බව සොයාගෙන තිබෙනවා. ඒ ගැන ඉදිරිපත් කර ඇති අදහස් කිහිපයක් බලන්න.

“මිතුරු වෙන්න ඇරයුම් කරන හැම කෙනාවම මිත්‍රයන්ගේ ලැයිස්තුවට ඇතුල් කරගත්තොත් ලොකු අමාරුවක වැටෙනවා.”—ඇනලිස්.

“හුඟක් අය හැමෝවම මිතුරන් කරගන්න ආස නැති වුණත් එයාලගේ හිත රිදවන්න අකමැති නිසා ලැබෙන ඇරයුම් පිළිගන්නවා.”—ලියෑන්.

“මේ වෙබ් අඩවියෙන් මිතුරන්ව ආශ්‍රය කරන එක හරියට එක් එක් කෙනාව ළඟින් ආශ්‍රය කරනවා වගෙයි. ඒ නිසා ඔයා තෝරගන්න යාළුවෝ ගැන පරෙස්සම් වෙන්න.”—ඇලෙක්සිස්.

ඔබට කළ හැකි දේ. මිත්‍රයන්ව තෝරාගන්නා විට ඔබ ආශ්‍රය කරන්නේ මොන වගේ අයවද කියා සීමාවන් තබාගන්න. *

“මම යාළුවෝ හැටියට තෝරගන්නේ මම හොඳින්ම දන්න හඳුනන අයවයි.”—ජීන්.

“මම කාලයක් තිස්සේ දන්න අයවයි යාළුවෝ හැටියට තෝරගන්නේ. කවදාවත් නොදන්න අයව යාළුවෝ කරගන්නේ නැහැ.”—මොනික්.

“මම මිත්‍රයන්ගේ ලැයිස්තුවට ඇතුල් කරගන්නේ මම හොඳට දන්න හඳුනන මගේම ප්‍රතිපත්ති තියෙන අයවයි.”—රේ.

“නොදන්න අයගෙන් එන ඇරයුම් මම පිළිගන්නේ නැහැ. මගේ යාළුවෝ හැමෝම මම නිතර දෙවේලේ දකින අයයි.”—මාරි.

“යාළුවෙක් අනවශ්‍ය තොරතුරක් හෝ පින්තූරයක් එවනවා නම් මම ඒ වගේ අයව ලැයිස්තුවෙන් අයින් කරනවා. ඒ වගේ දේවල් බැලුවත් ඒක නරක ආශ්‍රයක්.”—කිම්.

“මම මිතුරු සමාජ වෙබ් අඩවියකට සම්බන්ධ වෙලා ඉද්දී අනවශ්‍ය අයට තොරතුරු ඇතුල් කරන්න බැරි විදිහට ආරක්ෂිත පියවර ගත්තා. මගේ යාළුවන්ගේ යාළුවන්ට මම දාන පින්තූරවත් තොරතුරුවත් බලන්න කිසිම ඉඩක් දුන්නේ නැහැ. මොකද ඒ අය ආශ්‍රයට සුදුසුද කියලා මම දන්නේ නැහැ.”—හෙදර්.

මඟ පෙන්වීමක්. වෛද්‍ය ග්වෙන් ඕකීෆ් ඇය ලියූ පොතේ මෙසේ සඳහන් කරනවා. “ඔබ දන්න හඳුනන අය සමඟ පමණක් මිත්‍රකම් පවත්වන්න. දෙන්න පුළුවන් හොඳම උපදෙස එයයි.” *CyberSafe.

[පාදසටහන්වල]

^ 2 ඡේ. පිබිදෙව්! සඟරාව කිසිම මිතුරු සමාජ වෙබ් අඩවියක් හරියි කියා හෝ වැරදියි කියා පවසන්නේ නැහැ. නමුත් ක්‍රිස්තියානීන් අන්තර්ජාලය භාවිත කරන විට බයිබලයේ සඳහන් ප්‍රතිපත්ති මතක තබාගත යුතුයි.—1 තිමෝති 1:5, 19.

^ 35 ඡේ. මෙම ලිපියේ සාකච්ඡා කරන්නේ ව්‍යාපාර කටයුතුවලදී ඇති කරගන්නා සම්බන්ධතා ගැන නොවෙයි.

^ 42 ඡේ. මිතුරු සමාජ වෙබ් අඩවි ගැන වැඩි විස්තර දැනගැනීමට ජූලි පිබිදෙව්! කලාපයේ 24-27 පිටු සහ අගෝස්තු කලාපයේ 10-13 දක්වා පිටු බලන්න.

[8වන පිටුවේ කොටුව]

වෙබ් අඩවියෙන් ඉවත් වෙන්න

වෙබ් අඩවිය භාවිත කිරීමෙන් පසු ඔබ ඉන් ඉවත් නොවුණොත් වෙනත් අය ඔබේ වෙබ් පිටුවට තොරතුරු ඇතුල් කිරීමේ අවදානමක් තිබෙනවා. නීතිඥවරයෙක් වන රොබට් විල්සන් මෙවැනි උපදෙසක් දෙනවා. “ඒක හරියට ඔයාගේ පර්ස් එක හරි ජංගම දුරකථනය හරි හැමෝම යන එන තැනක තියනවා වගේ වැඩක්. ඒ නිසා වෙබ් අඩවියෙන් ඉවත් වෙන්න අමතක කරන්න එපා.”

[8වන පිටුවේ කොටුව]

කරදරේ වැටෙන්න එපා!

එක් සමීක්ෂණයකින් හෙළි වුණේ මෙයයි. මිතුරු සමාජ වෙබ් අඩවි භාවිත කරන බොහෝදෙනෙකු “සොර සතුරන්ට, අනන්‍යතාව සොරාගන්නන්ට සහ තර්ජනවලට හසු වීමේ අවදානමක සිටිනවා. ඔවුන්ගෙන් සියයට 15ක් තම පදිංචි ස්ථානය හා ගමන් බිමන් ගැන තොරතුරු එහි දමා තිබෙනවා. සියයට 34ක් තම උපන් දිනත් සියයට 21ක් තම දරුවන්ගේ නම් සහ පින්තූරත් ඇතුල් කර තිබෙනවා.”