Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“ජනාධිපති කෙනෙක් වුණාට පස්සෙයි යාච්ඤා කරන එක කොච්චර වැදගත්ද කියලා තේරුණේ.”—BARACK OBAMA, PRESIDENT OF THE UNITED STATES OF AMERICA.

ජාතියේ අභිමානය ප්‍රකාශ කරන්නේ කොහොමද කියා ආර්ජන්ටිනාවේ අවුරුදු දහයත් 24ත් අතර සිටි අයගෙන් විමසුවා. ඔවුන්ගෙන් 56%ක්ම කියා සිටියේ ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් අඳින කමිසය හා සමාන කමිසයක් ඇඳීම ඒ සඳහා හොඳම ක්‍රමයක් බවයි.—LA NACIÓN, ARGENTINA.

එක් අධ්‍යයනයකින් පෙන්නුම් කළේ “ලෝකයේ පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන ආහාරවලින් දළ වශයෙන් තුනෙන් එකක් අපතේ යන බවයි. එය වාර්ෂිකව ගත් කල ටොන් බිලියන 1.3ක් පමණ වෙනවා.”—FOOD AND AGRICULTURE ORGANIZATION OF THE UNITED NATIONS, ITALY.

“අද යුද්ධ හා යුද්ධ ප්‍රවෘත්ති ලෝකයේ සෑම තැනින්ම ඇසෙනවා. ඒ නිසා තම මව්බිම ආරක්ෂා කිරීමට හමුදාව නිරතුරුවම සූදානමින් සිටිය යුතුයි. එය පරිශුද්ධ සේවයක්.”—PATRIARCH KIRILL, HEAD OF THE RUSSIAN ORTHODOX CHURCH.

වර්ෂ 2010දී වැඩිම මාර්ග අනතුරු සංඛ්‍යාවක් සිදු වී තිබෙන්නේ උදෑසන 7:00ත් 8:00ත් අතර කාලය තුළ බව ජර්මනියේ රක්ෂණ සමාගමක් වාර්තා කරනවා. එය වැළැක්වීමට කළ හැකි හොඳම දේ රැකියාවට කල් ඇතුව යෑම බව ඒ සමාගමේ නිලධාරියෙක් පැවසුවා.—PRESSEPORTAL, GERMANY.

ඉස්ලාම් ආගමික නායකයන් තේරීමේ තරඟය

මෙම තරඟය පවත්වන්නේ මලයාසියාවේ ජනප්‍රිය රූපවාහිනි නාලිකාවකිනුයි. එම තරඟය නම් කර තිබෙන්නේ “ඉමාම් මුඩා” හෙවත් “තරුණ නායකයා” කියායි. අවුරුදු 18ත් 27ත් අතර ඕනෑම කෙනෙකුට ඊට සහභාගි විය හැකියි. ඉන් ජය අත් වන්නේ එක් කෙනෙකුට පමණක් වන අතර ඔහුට මුදල් ත්‍යාගයක් මෙන්ම නවතම මෝටර් රථයක්ද හිමි වෙනවා. ජයග්‍රාහකයාට පූජකයෙකු ලෙස කටයුතු කිරීමටත් සවුදි ආරාබියට ශිෂ්‍යත්වයකුත් මක්කමට වන්දනා චාරිකාවක් යෑමට අවස්ථාවත් ලැබෙනවා. තරඟයට සහභාගි වන අයට පූජකයෙකුගේ වගකීම් ගැන මනා දැනුමක්, ආගමික හා කාලීන ගැටලු ගැන තර්ක කිරීමේ හැකියාවක් මෙන්ම කුරානය හොඳින් කියවීමේ හැකියාවද තිබිය යුතුයි. එම වැඩසටහනේ අරමුණ වන්නේ ඉස්ලාම් ධර්මයට යෞවනයන් තුළ ළැදියාවක් ඇති කිරීමයි.

දැම්මොත් දැම්මම තමයි

මිතුරු සමාජ වෙබ් අඩවිවලට තම පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීම නිසා සිදු විය හැකි අනතුරු ගැන බොහෝදෙනෙකුට එතරම් අවබෝධයක් නැහැ. එවැනි තොරතුරු නිසා අනාගතයේදීත් යම් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වෙයි. ඕස්ට්‍රේලියාවේ විදුහල්පතිවරයෙක් නවීන තාක්ෂණය නිසා ඇති වන අනතුරු ගැන පුවත්පතකට මෙසේ අදහස් දැක්වුවා. “නොසැලකිලිමත් ලෙස ඇතුළත් කරන තොරතුරු, අන් අයට කරන නින්දා, නුසුදුසු ඡායාරූප හෝ කෙනෙකුගේ පෞද්ගලික තොරතුරු හෙළි කිරීම වැනි දේවල් වෙබ් අඩවියේ ඇතුළත් කළ පසු එය වෙනස් කළ නොහැකි අතර ඕනෑම කෙනෙකුට එම තොරතුරු ලබාගන්නත් පුළුවන්. කෙනෙක් අවුරුදු 15දී ඇතුළත් කරන තොරතුරු අවුරුදු දහයකට පසුව වුණත් රැකියාවක් සෙවීමේදී බාධාවක් විය හැකියි.”—Sydney Morning Herald.