Skip to content

පටුනට යන්න

මෙතරම් ජනප්‍රිය ඇයි?

මෙතරම් ජනප්‍රිය ඇයි?

මෙතරම් ජනප්‍රිය ඇයි?

පසුගිය මාසයේදී අදහස් හුවමාරු කිරීමට ඔබ යොදාගත්තේ කිනම් මාධ්‍යයද?

මුණගැසී කතා කිරීම

ලියුම් සහ කාඩ්පත්

දුරකථනය

ඊ-මේල්

කෙටි පණිවිඩ (SMS)

ක්ෂණික පණිවිඩ (Instant message)

ස්කයිප් වැනි මාධ්‍යයන් (Video chat)

මිතුරු සමාජ වෙබ් අඩවි

අන් අය සමඟ අදහස් හුවමාරු කිරීමට බොහෝ ක්‍රම තිබුණත් ඒවායේ වාසි, අවාසි තිබෙනවා. උදාහරණ කිහිපයක් සලකා බලන්න.

මුණගැසී කතා කිරීම

වාසි: මුහුණේ ඉරියව් හා අංග චලන දැකගත හැකියි. කටහඬේ ස්වභාවය තේරුම්ගත හැකියි.

අවාසි: දෙදෙනාම මුණගැසිය යුතුයි.

ලියුම් සහ කාඩ්පත්

වාසි: සමීප බවක් දැනෙනවා.

අවාසි: ලිවීමට සහ ලැබීමට කාලයක් ගත වෙයි.

ඊ-මේල්

වාසි: ඉක්මනින්ම පණිවිඩය යැවිය හැකියි.

අවාසි: සම්පූර්ණයෙන් හැඟීම් ප්‍රකාශ කළ නොහැකි නිසා වැරදි වැටහීම් ඇති විය හැකියි.

අන් අය සමඟ සබඳතා පැවැත්වීමට මිතුරු සමාජ වෙබ් අඩවි ඉතා හොඳ ක්‍රමයක් කියා බොහෝදෙනෙක් පවසනවා. එවැනි වෙබ් අඩවි සිය ගණනක් තිබෙන අතර ඒවායින් ජනප්‍රියම එක නම් ෆේස්බුක් වෙබ් අඩවියයි. ඒ ගැන සඟරාවක මෙසේ පළ වුණා. “මෙම වෙබ් අඩවියේ සාමාජිකයන් මිලියන 800ක් පමණ සිටිනවා. එම සංඛ්‍යාව රටක ජනගහනයට සමාන කළොත් එය ලෝකයේ වැඩි ජනගහනයක් සිටින තුන් වන රට බවට පත් වෙනවා.” මිතුරු සමාජ වෙබ් අඩවියක් කියන්නේ කුමක්ද? එය එතරම් ජනප්‍රිය ඇයි?—Time සඟරාව.

එම වෙබ් අඩවියෙන් තෝරාගත් මිතුරන් කණ්ඩායමක් සමඟ කෙනෙකුට තම තොරතුරු බෙදාගත හැකියි. ඒ ගැන 21හැවිරිදි යෞවනියක් වන ජීන් මෙසේ පවසනවා. ‘අනික් අයත් එක්ක සම්බන්ධතා පවත්වන්න විතරක් නෙවෙයි ඡායාරූප බෙදාගන්නත් මේක හොඳ ක්‍රමයක්.’

ඒ දේ ලියුමකින් කරන්න බැරිද? ‘ඒකට ගොඩක් කාලය යනවා’ කියලා කෙනෙක් කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඡායාරූපවල පිටපත් ගන්න ලොකු මුදලකුත් වැය වෙනවා. එහෙමනම් දුරකථනයෙන් තොරතුරු බෙදාගන්න බැරිද? එක අවස්ථාවකදී කතා කරන්න පුළුවන් එක් කෙනෙක් එක්ක විතරක් නිසා හුඟක් කාලය යනවා. සමහරවිට අදාළ පුද්ගලයා නිවසේ නොසිටින්නත් පුළුවන්. ඊ-මේල් පණිවිඩ ගැන මොනවද කියන්න පුළුවන්. “ඊ-මේල් යැව්වට උත්තර ලියන්නේ නැහැ. සමහර වෙලාවට සති ගණන් යනවා උත්තරයක් ලැබෙන්න. ඒත් මිතුරු සමාජ වෙබ් අඩවියට මම තොරතුරක් දැම්මම මගේ යාළුවන් ඒ වෙබ් අඩවියට ආව හැටියෙම ඒක දකිනවා විතරක් නෙවෙයි ඒකට පිළිතුරුත් ලියනවා. ඒ නිසා හැමෝටම තොරතුරු දැනගන්න පුළුවන්” කියා 20හැවිරිදි ඩැනියෙල් පවසනවා.

මිතුරු සමාජ වෙබ් අඩවිවලින් ප්‍රයෝජන නැතුවාම නොවෙයි. උදාහරණයකට 2011 මාර්තු 11වෙනිදා ජපානයට සුනාමි ව්‍යසනය ඇති වූ විට එහි සිටින හිතමිතුරන්ගේ සැප දුක් විමසීමට බොහෝදෙනෙක් යොදාගත්තේ එවැනි වෙබ් අඩවියි.

එක්සත් ජනපදයේ වෙසෙන බෙන්ජමින්ගේ අද්දැකීම මෙයයි. “සුනාමියෙන් පස්සේ දුරකථන විසන්ධි වුණා. ටෝකියෝවල ඉන්න අපේ මිතුරියකගේ තොරතුරු දැනගන්න මගේ යාළුවෙක් එයාට ඊ-මේල් එකක් යවලා තියෙනවා. ඒත් ඒකට පිළිතුරක් ලැබිලා නැහැ. ඒ ගැන යාළුවා මට කිව්වා. මම ඉක්මනට ඉන්ටනෙට් එකට ගිහිල්ලා මිතුරු සමාජ වෙබ් අඩවියේ ඇය ගැන තොරතුරක් තියෙනවාද කියලා බැලුවා. එතකොට මම දැක්කා එයාට කරදරයක් නැහැ කියලා පණිවිඩයක් දාලා තියෙනවා.”

බෙන්ජමින් තවදුරටත් මෙසේ පවසනවා. “ඒ ගැන මගේ අනික් යාළුවන්ටත් කියන්න මට ඕනෙ වුණා. ඒත් ඒ අය මිතුරු සමාජ වෙබ් අඩවියේ සාමාජිකයන් වෙලා හිටියේ නැති නිසා එක් එක් කෙනාගේ ඊ-මේල් ලිපින හොයාගෙන වෙන වෙනම පණිවිඩ යවන්න සිද්ධ වුණා. ඒකට මට ගොඩක් කාලයක් ගියා. සමහර අය මට දවස් කිහිපයක් අතරතුර පිළිතුරු එව්වා. ඒත් එක යාළුවෙක් උත්තරයක් එවන්න සති දෙකක් ගත්තා. මගේ යාළුවන්ට ගොඩක් ඊ-මේල් ලැබුණ නිසා ඒ හැම එකකටම උත්තර ලියන එක ලේසි වුණේ නැහැ. ඒත් මිතුරු සමාජ වෙබ් අඩවියේ සාමාජිකයෙක් වුණා නම් විනාඩි කිහිපයකින් හැමෝටම තොරතුරු දෙන්න පුළුවන්.”

එම අද්දැකීම දෙස බලද්දී මිතුරු සමාජ වෙබ් අඩවියෙන් ප්‍රයෝජන තිබෙන බව පැහැදිලියි. නමුත් එහි අනතුරුදායක පැති තිබෙනවාද? එසේනම් ඒවා මොනවාද? ඒවාට අසු නොවීමට කුමක් කළ යුතුද?

[5වන පිටුවේ කොටුව/පින්තූර]

භාවිත කරන්නේ කොහොමද?

1. ඔබේ වෙබ් පිටුවට තොරතුරක් ඇතුළත් කරන්න.

2. ඔබේ වෙබ් පිටුවට ඇතුළත් වී සිටින සියලුම මිතුරන්ට ඔබ ඇතුළත් කළ තොරතුර ලබාගැනීමට හැකි වෙනවා සේම ඔවුන්ගේ තොරතුරු ඔබටත් ලබාගත හැකියි.