Skip to content

පටුනට යන්න

ඉතිහාසය වෙනස් මඟකට යොමු කළ යුද්ධයක්!

ඉතිහාසය වෙනස් මඟකට යොමු කළ යුද්ධයක්!

ඉතිහාසය වෙනස් මඟකට යොමු කළ යුද්ධයක්!

දරුණු සටන්කාමීන් වූ මොංගෝලියානුවන් දේශ අත් පත් කරගනිමින් ඉදිරියටම ඇදී ගියා. වර්ෂ 1258 පෙබරවාරි මාසයේදී ඔවුන් බැග්ඩෑඩ් නුවරට කඩාවැදී එහි තම අණසක පැතිරුවා. එහි වැසියන්ව මරා දමමින් ඔවුන්ගේ දේපළ කොල්ල කෑවා. මොංගෝලියානුවන්ගේ දරුණු සටන් හමුවේ මුස්ලිම් ජාතිකයන් සිටියේ මහත් බියෙනුයි. *

වර්ෂ 1260 ජනවාරි මාසයේදී මොංගෝලියානුවන් බටහිරෙන් පිහිටි ඇලෙපෝ සහ සිරියාව අත් පත් කරගත්තා. ඒත් මාර්තු මාසයේදී ඩමස්කස්හි වැසියන් මොංගෝලියානුවන්ට කැමැත්තෙන්ම යටත් වුණා. ඉන් ටික කාලයකට පසු ඔවුන් පලස්තීන නගර දෙකක් වන නාබ්ලස් සහ ගාසාවද තම බලය යටතට ගත්තා.

ඉන්පසු ඊජිප්තුවේ පාලකයාව සිටි අල් මුසාෆා සයිෆ් අල් දින් කූටුස්ටත් යටත් වෙන්න කියා මොංගෝලියානු යුධ සෙන්පතියෙකු වූ හිලේගු අණ කළා. යටත් නොවුණොත් බරපතළ ගැටලුවලට මුහුණ දෙන්න වෙයි කියාත් ඔහු තර්ජනය කළා. හිලේගුට විශාල හමුදාවක් සිටි අතර ඊජිප්තුවේ සිටියේ සෙබළුන් 20,000ක් පමණයි. එය හිලේගුගේ හමුදාව සමඟ සසඳන විට 15ට එකක අනුපාතයක්. “මුස්ලිම් ජාතියම සිටියේ අනතුරේ” කියා ඉතිහාසඥයෙකු වන මහාචාර්ය නසීර් අහමඩ් පැවසුවා. මෙවැනි තත්වයක් යටතේ ඊජිප්තුවේ පාලකයාව සිටි කූටුස් කුමන ක්‍රියාමාර්ගයක් ගනියිද?

කූටුස් සහ ඔහුගේ සේනාව

කූටුස්, ඊජිප්තු හමුදාවේ සේවය සඳහා තුර්කියෙන් ගෙනා වහලෙක්. එවැනි සෙබළුන්ව හැඳින්වූයේ මැම්ලක්ස්වරු ලෙසයි. ඔවුන් රණශූරයන්. ඔවුන් ඊජිප්තුවේ කයිරෝ නුවර අයූබිඩ් පාලකයා යටතේ සේවය කළ අයයි. ඔවුන් 1250දී ඊජිප්තුවේ පාලකයන්ව පන්නා දමා බලයට පත් වුණා. කෙසේ හෝ කූටුස් 1259දී පාලනය තමන් අතට ගත්තා. ඔහු ඉතා දක්ෂ සටන්කාමියෙක්. ඔහු කිසිවිටක සටන් නොකර පරාජයක් පිළිගත් කෙනෙක් නොවෙයි. නමුත් මොංගෝලියානුවන්ව පරාජය කිරීමට හැකි වෙයි කියා ඔහු සිතුවේ නැහැ. ඒත් මොංගෝලියාවේ පාලකයා මිය ගිය නිසා බලාපොරොත්තු නොවූ ලෙස තත්වය වෙනස් වුණා.

පාලකයාගේ මරණයෙන් පසුව පාලනය පිළිබඳව ගැටලු මතු වෙයි කියා සිතූ හිලේගු, ඔහුගේ සෙබළුන් විශාල පිරිසක් සමගින් මොංගෝලියාවට පිටත් වුණා. ඊජිප්තුව අල්ලාගැනීමට එතරම් සෙබළුන් ප්‍රමාණයක් අවශ්‍ය නොවෙයි කියා සිතූ ඔහු එහි රඳවා ගියේ සෙබළුන් 10,000ත් 20,000ත් අතර සංඛ්‍යාවක්. මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් කූටුස් ආක්‍රමණිකයන්ව පන්නා දැමීමට ක්‍රියාත්මක වුණා.

මොංගෝලියානුවන් හා ඊජිප්තුවරුන් අතර ප්‍රශ්න පවතින කාලයේදී පලස්තීනයේ සිටියේ කුරුස යුද්ධයට හවුල් වූ හමුදාවයි. ඔවුන් තම ශුද්ධ නුවරවල් මුස්ලිම්වරුන්ගෙන් අත් පත් කරගැනීමට සටන් කරමින් සිටි ක්‍රිස්තියානි අන්තවාදීනුයි. පලස්තීනයේ සිට මොංගෝලියානුවන්ට පහර දීමටත් අවශ්‍ය යුධ අවි ලබාගැනීමටත් කූටුස් ඔවුන්ගෙන් පිහිට පැතුවා. මොංගෝලියානුවන් ක්‍රිස්තියානි අන්තවාදීන්ටත් තර්ජනයක් වී තිබුණු නිසා ඔවුන් කූටුස්ට සහයෝගය ලබා දුන්නා.

කූටුස්ගේ සෙබළුන් සහ මොංගෝලියානු සෙබළුන් අතර ගැටුමක් ඇති වීමට පසුබිම සකස් වුණා.

යුද්ධය ඇරඹෙයි

කූටුස්ගේ සෙබළුන් හා මොංගෝලියානු සෙබළුන් අතර 1260දී සටන් ඇරඹුණා. ඒ එස්ඩ්‍රේලොන් මිටියාවතේ ඒන් ජලට් නමැති ස්ථානයේදීයි. එය ඉපැරණි නගරයක් වන මෙගිද්දෝ අසල පිහිටි ස්ථානයක් බව විශ්වාස කරනවා.

ඉතිහාසඥයෙක් වන රශීඩ් අල් දින් මෙසේ පවසනවා. කූටුස්ගේ මුළු සේනාවම මොංගෝලියානු සෙබළුන්ට පහර දීමට ඉදිරියට ගියේ නැහැ. ඔවුන්ගේ යුධ අසරුවන් මිටියාවත වටා තිබුණු කඳුවල සැඟ වී සිටි අතර කුඩා සේනාවක් පමණක් ඉදිරියට ගියා. කූටුස්ගේ සේනාව එපමණයි කියා සිතූ මොංගෝලියානු සෙබළුන් සටන් කිරීමට ඉදිරියට ආවා. එවිට සැඟ වී සිටි කූටුස්ගේ සෙබළුන් ඔවුන්ව වටලා පහර දුන්නා.

මොංගෝලියානුවන් වසර 43ක් පුරා කරගෙන ගිය යුද්ධවලින් ඔවුන් ලද පළමු පරාජය එයයි. එම යුද්ධයට හවුල් වූ සෙබළුන්ගේ සංඛ්‍යාව කුඩා වුණත් එය ඉතිහාසගත යුද්ධයක් වුණා. මුස්ලිම් ජාතිය රැකුණෙත් මොංගෝලියානුවන් රණශූරයන් කියා ලබාගෙන තිබූ නම ඉතිහාසයෙන් අයින් වුණෙත් එම යුද්ධය නිසයි. ඒ වගේම කූටුස්ට අහිමි වී තිබූ දේශ නැවත අත් පත් කරගැනීමටත් ඔහුට හැකි වුණා.

යුද්ධයෙන් පසු

මොංගෝලියානුවන් නැවත සිරියාවට හා පලස්තීනයට පැමිණියත් ඊජිප්තුවට නම් පය තැබුවේ නැහැ. මේ කාලයේදී හිලේගුගෙන් පැවත එන අය පර්සියාවේ පදිංචි වුණා. ඔවුන් ඉස්ලාම් ධර්මය වැලඳගෙන එම සංස්කෘතියට අනුව හැඩගැසුණා.

කූටුස් ලද ජයග්‍රහණය ඔහුට වැඩි කල් භුක්ති විඳින්න ලැබුණේ නැහැ. ඔහුගේ සතුරන් විසින් ඔහුව ඝාතනය කළා. ඔහුට සිටි එක් සතුරෙක් වුණේ පළමුවෙනි බේබායි නම් පාලකයායි. ඔහු ඊජිප්තුව සහ සිරියාව එක රාජධානියක් බවට පත් වූ පසු එහි පළමු පාලකයායි. බොහෝදෙනෙක් පවසන්නේ මැම්ලක්ස් යුධ සෙබළුන්ගේ නිර්මාතෘ ඔහු කියායි. ඔහුගේ නව පාලනය ස්ථාවර හා සමෘද්ධිමත් පාලනයක් ලෙස වසර 250ක් එනම් 1517 දක්වා පැවතුණා.

එම පාලන කාලය තුළදී මැම්ලක්ස් සෙබළු විසින් ක්‍රිස්තියානී අන්තවාදී සෙබළුන්ව පලස්තීනයෙන් පන්නා දැමුවා. ඒ වගේම එම ප්‍රදේශවල වෙළඳ හා කලා කටයුතු වැඩි දියුණු කළා. රෝහල්, දේවස්ථාන හා පාසැල් ඉදි කළා. ඒ කාලයේදී ඊජිප්තුව මුස්ලිම්වරුන්ගේ කේන්ද්‍රස්ථානයක් වුණා.

ඉතිහාසගත එම යුද්ධය නිසා මැදපෙරදිගට පමණක් නොව යුරෝපයටත් යහපතක් වුණා. එක් සඟරාවක මෙසේ සඳහන් වෙනවා. “මොංගෝලියානුවන් ඊජිප්තුව පරාජය කළා නම් හිලේගු එතැනින් නතර නොවී උතුරු අප්‍රිකාව සහ ඊට යාබද රටවල්ද තම අණසකට යටත් කරගන්න ඉඩ තිබුණා.” (Saudi Aramco World) ඒ විතරක් නොවෙයි මොංගෝලියානුවන් පෝලන්තයත් යුරෝපයේ වෙනත් රටවලුත් ආක්‍රමණය කිරීමට ඉඩකඩ තිබුණා.

එම සඟරාවේ මෙසේද සඳහන් වුණා. “එවැනි දෙයක් සිදු වුණා නම් අද මුළු ලෝකයම වෙනස් මඟකට යොමු වීමට ඉඩ තිබුණා.”

[පාදසටහන]

^ 2 ඡේ. මොංගෝලියානුවන් හා ඔවුන් ලද ජයග්‍රහණ ගැන වැඩි විස්තර දැනගැනීමට 2008 මැයි පිබිදෙව්! කලාපය බලන්න.

[12වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

ඩමස්කස්

සිරියාව

තාබෝර් කන්ද

එස්ඩ්‍රේලොන් මිටියාවත

ඒන් ජලාට් (මෙගිද්දෝ අසල)

නාබ්ලස් (ෂීකෙම්)

යෙරුසලම

ගාසා

ඊජිප්තුව

[12වන පිටුවේ පින්තූරය]

පුරාණ මෙගිද්දෝ නගරයේ දර්ශනයක්

[13වන පිටුවේ පින්තූරය]

1260දී යුද්ධ කළ ස්ථානය

[හිමිකම් විස්තර]

Pictorial Archive (Near Eastern History) Est.

[14වන පිටුවේ පින්තූරය]

ඉදිරිපසින් ෂීකෙම් නගරයේ නටබුන්. පිටුපසින් නවීන දින නාබ්ලස් නගරයේ දර්ශනයක්