Skip to content

පටුනට යන්න

කෝපය!

කෝපය!

කෝපය!

පුද්ගලයෙක් ආපන ශාලාවකට ගොස් කෑමක් ඇණවුම් කර එය ලැබෙන තුරු වාහනයේ රැඳී සිටියා. ඒ සඳහා වැඩි කාලයක් ගත වුණා කියා සිතූ ඔහු ආපන ශාලාවට ගොස් එහි සිටි සේවකයාට තදින් බැණවැදී ඔහුගේ කම්මුලට ගසා කෑමත් රැගෙන කෝපයෙන් පිට වී ගියා.

අප සෑම කෙනෙකුටම විටින් විට කෝපයක් ඇති වෙනවා. එය හරියට ආදරය, දුක, බිය වැනි හැඟීමක්. සමහර අවස්ථාවලදී අපට ඇති වන කෝපය නිසා අපට යම් බාධා ජය ගැනීමට හැකි වුණා නම් එවැනි කෝපයකින් සිදු වී තිබෙන්නේ අයහපතක් නොවෙයි. උදාහරණයකට ඔබගේ යම් දුර්වලකමක් නිසා සමහර අය ඔබව පහත් කරනවා කියා සිතන්න. එවිට ඔබට කෝපයක් ඇති වෙනවා. එම කෝපය නිසා ඔබ ඔබේ දුර්වලකම සකස් කරගැනීමට පියවර ගන්නවා. එවැනි කෝපයකින් ඔබට සිදු වී තිබෙන්නේ යහපතක්.

කෝපය පාලනය කරගත්තේ නැත්නම් සිදු වන්නේ අයහපතක්. සමහර පුද්ගලයන්ට වෙනත් අයට වඩා ඉක්මනින්ම කේන්ති යනවා. එවැනි අය කේන්ති ගිය විට බැණවැදීමට හෝ පහර දීමට පෙලඹිය හැකියි. ඔවුන් කෝපය පාලනය කරනවා වෙනුවට කෝපය ඔවුන්ව පාලනය කරයි. එවැනි දෙයක් සිදු වීම ඇත්තෙන්ම භයානකයි. *

කෝපය පාලනය කර නොගැනීමෙන් පීඩා විඳින්නේ එම පුද්ගලයා පමණක් නොව ඔහු ඇසුරු කරන අයටත් එය බලපානවා. පුංචි දෙයටත් කිපෙන පුද්ගලයන් අතින් භායානක අනතුරු සිදු විය හැකියි. පහත සඳහන් අද්දැකීම්වලින් එය පැහැදිලි වෙනවා.

මිතුරන් කිහිපදෙනෙක් ජනාකීර්ණ මාර්ගයක ගමන් කරමින් සිටින විට ඔවුන් අතර සිටි කෙනෙකුගේ බෑගයක් පාරේ ගිය පුද්ගලයෙකුගේ ඇඟේ වැදුණා. එයින් කෝපයට පත් වූ එම තැනැත්තා තැබූ වෙඩි පහරකින් ඔවුන් අතර සිටි කෙනෙක් මිය ගියා.

දහනව හැවිරිදි තරුණයෙක් තම පෙම්වතියගේ මාස 11ක් වයසැති දරුවාට ගැසූ පහරකින් දරුවා මිය ගියා. ඊට හේතුව ඔහු සැහැසික වීඩියෝ ක්‍රීඩාවක් කරමින් සිටින විට කුඩා දරුවාගේ අත එහි තිබූ බොත්තමකට වැදී ඔහු ක්‍රීඩාවෙන් පරාජය වීමයි.

ඒ හා සමාන සිදුවීම් අපට ඕනෑ තරම් අසන්න ලැබෙනවා. ඉන් පැහැදිලි වෙන්නේ බොහෝදෙනෙකුට තම කෝපය පාලනය කරගැනීමට නොහැකි බවයි. මිනිසුන්ට මෙතරම් කෝපයක් ඇති වෙන්නේ ඇයි?

[පාදසටහන]

^ 4 ඡේ. කෝපය පාලනය කර නොගැනීමෙන් කෙනෙකුගේ සිතුවිලි, හැඟීම්, හැසිරීම් සහ අන් අය සමඟ ඇති බැඳීම්වලට බාධාවක් විය හැකි බව එක් පොතක සඳහන් වෙනවා.—Boiling Point—Problem Anger and What We Can Do About It.

[3වන පිටුවේ කොටුව]

යම් අවස්ථාවලදී අපට ඇති වන කෝපය නිසා යම් බාධා ජය ගැනීමට හැකි වුණා නම් එවැනි කෝපයක් වැරදි නැහැ. මෙම ලිපි මාලාවේ සඳහන් වෙන්නේ කෝපය පාලනය කර නොගැනීම නිසා ඇති වන ශාරීරික හා මානසික හානි මෙන්ම ආගමික ප්‍රතිපත්ති රැකීමට ඇති වන බාධා ගැනයි.