Skip to content

පටුනට යන්න

මංගල ගමනින් අවසන් ගමන් ගිය ටයිටැනික්

මංගල ගමනින් අවසන් ගමන් ගිය ටයිටැනික්

මංගල ගමනින් අවසන් ගමන් ගිය ටයිටැනික්

1912 අප්‍රියෙල් 10වෙනිදා: එංගලන්තයේ සදැම්ටන් වරායේ සිට ඇමරිකාවේ නිව් යෝර්ක් දක්වා ගමන් අරඹයි.

අප්‍රියෙල් 11වෙනිදා: චෙන්බෝර්ග්, ප්‍රංශය, ක්වීන්ස්ටවුන් (කොබ්) සහ අයර්ලන්තයේ පිහිටි වාරායන්වලින් නැවට මගීන් නංවාගෙන අත්ලාන්තික් සාගරයට පිවිසෙයි.

අප්‍රියෙල් 14වෙනිදා: රාත්‍රි 11.40ට පමණ නෞකාව අයිස් කුට්ටියක ගැටෙයි.

අප්‍රියෙල් 15වෙනිදා: අලුයම 2.20ට 1,500දෙනෙකුට පමණ මරු කැඳවමින් ටයිටැනික් නෞකාව සාගර පතුළට කිඳා බසියි.

ටයිටැනික් කිනම් ආකාරයේ නෞකාවක්ද? මෙවැනි විපතකට මුහුණ දීමට සිදු වුණේ ඇයි? මෙම ප්‍රශ්නවලට පිළිතුරු දැනගැනීමට අපි අයර්ලන්තයේ බෙල්ෆාට් නගරයට නුදුරින් පිහිටි කෞතුකාගාරයට යමු.

නෞකාවේ විශේෂත්වය

මගී ප්‍රවාහන සේවාවන් ප්‍රදර්ශනය කර ඇති කෞතුකාගාරයේ හිටපු කෞතුකාගාරාධිපති මයිකල් මැකෝන් පැවසුවේ මෙයයි. “ටයිටැනික් නෞකාව තරම් මිනිසුන්ගේ කතාබහට ලක් වූ නෞකාවක් තවත් නැහැ.” නමුත් එවකට තිබූ විශාලම නෞකාව එය නොවෙයි. හාලන්ඩ් සහ වුල්ෆ් නැව් සමාගම විසින් තැනූ විශාලම නැව් තුනෙන් දෙවෙනි ස්ථානය හිමි වන්නේ ටයිටැනික් නෞකාවටයි. * එහි දිග අඩි 882යි අඟල් අටක් වූ අතර පළල අඩි 92යි අඟල් පහයි.

වයිට් ස්ටාර් නැව් සමාගම විසින් එවැනි විශාල නැව් මිල දී ගත්තත් කුනාඩ් නැව් සමාගම ඔවුන්ට අභියෝගයක් වුණා. ඊට හේතුව ඔවුන්ගේ නැව් ඉතාමත් වේගවත් වීමයි. ඒ නිසා වයිට් ස්ටාර් සමාගම සුඛෝපභෝගී විශාල නැව් යොදාගෙන ප්‍රභූ පන්තියේ මගීන්ව ආකර්ෂණය කරගැනීමට උත්සාහ කළා.

“වර්ෂ 1900ත් 1914ත් අතර කාලයේදී සෑම වසරකම විදේශිකයන් 9,00,000ක් පමණ ඇමරිකාවට සංචාරය කළා” කියා උතුරු අයර්ලන්තයේ ජාතික කෞතුකාගාරාධිපති විලියම් බ්ලෙයා පැවසුවා. මෙම විදේශිකයන්ව යුරෝපයේ සිට අත්ලාන්තික් සාගරය හරහා ඇමරිකාවට ගෙන යෑමෙන් ආදායම් ලැබීමත් ටයිටැනික් නෞකාවේ අරමුණක් වුණා.

ඛේදවාචකය

ටයිටැනික් නැවේ කපිතාන්වරයා වූ ඊ. ජේ. ස්මිත්, ඔලිම්පික් නෞකාවෙන් නිතර උතුරු අත්ලාන්තික් සාගරයේ ගමන් ගිය අද්දැකීම් ලත් කෙනෙක්. ඒ නිසා එහි තිබෙන අයිස් කුට්ටි ඔහුට නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. මේ අවස්ථාවේදී වෙනත් නෞකාවලින් ඉදිරියේ ඇති අයිස් කුට්ටි ගැන අනතුරු ඇඟෙව්වත් ඒවා ඔවුන් ගණනකට ගත්තේ නැහැ. තවත් ඒවා යම් හේතුවක් නිසා නොලැබෙන්න ඇති.

මේ අතරේ ටයිටැනික් නැවේ නිරීක්ෂක නිලධාරීන් ඉදිරියේ අයිස් කුට්ටියක් තිබෙනවා කියා හදිස්සියේම අනතුරු ඇඟෙව්වා. ඒ වෙනකොටත් ප්‍රමාද වැඩියි. දැඩි වෑයමක් දරා නැව අයිස් කුට්ටියේ මුහුණට මුහුණ ලා වැදීමෙන් වළක්වාගන්න හැකි වුණත් එහි බඳ කොටස අයිස් කුට්ටියේ ගැටීම වළක්වාගන්න බැරි වුණා. බඳට හානි වීම නිසා මුහුදු වතුර නැව ඇතුළට ගලා එන්න පටන්ගත්තා. නැව ගිලෙන්න යන බව තේරුම්ගත් කපිතාන්වරයා ජීවිතාරක්ෂක බෝට්ටු සූදානම් කරන්න කියා පණිවිඩයක් නිකුත් කළා.

නෞකාව සතුව තිබුණේ ජීවිතාරක්ෂක බෝට්ටු 16කුත් තවත් කුඩා බෝට්ටු හතරකුත් පමණයි. නෞකාවේ මගීන් 2,200ක් සහ විශාල කාර්යමණ්ඩලයක් සිටියා. එම බෝට්ටුවලින් 1,170දෙනෙකුගේ පමණ ජීවිත බේරාගැනීමට හැකියාව තිබුණා. නමුත් කනගාටුවට කාරණයක් වුණේ එතරම් සංඛ්‍යාවක් බේරාගැනීමට හැකියාව තිබියදීත් 705දෙනෙකුගේ ජීවිත පමණක් ආරක්ෂා වීමයි. හදිස්සියට කොරස් කටෙත් අත දාගන්න බෑ කියන්නා සේ කලබලයට පත් වූ ඔවුන් ප්‍රමාණවත් මගීන් සංඛ්‍යාවක් නංවාගැනීමට පෙර බෝට්ටු ගොඩට යැව්වා. ඒ වගේම දියට වැටුණු අයව සෙවීමටත් උත්සාහ කළේ නැහැ.

විපතින් පසු

ටයිටැනික් නෞකාව අනතුරට පත් වූ පසු ආරක්ෂිත මුහුදු ගමන් සඳහා බලධාරීන් විසින් අලුත් නීති පනවා තිබෙනවා. එවැනි එක් නීතියක් වන්නේ සෑම නෞකාවකම සිටින මගීන් ප්‍රමාණයට සරිලන ජීවිත ආරක්ෂක බෝට්ටු තබාගත යුතු බවයි.

වසර ගණනාවක් යන තුරු බොහෝ අය විශ්වාස කළේ ටයිටැනික් නෞකාව ඉක්මනින්ම මුහුදු පතුළට ගිලා බැස්සේ අයිස් කුට්ටියේ වැදීමෙන් එහි බඳේ ඇති වූ සිදුර නිසා කියායි. ඒත් 1985දී මුහුදු පතුළේ තිබූ නෞකාව පරීක්ෂා කිරීමෙන් පසු පර්යේෂකයන් පැමිණියේ වෙනත් නිගමනයකටයි. එනම් නැව අයිස් කුට්ටියේ වැදුණු විට නැවේ බඳ පුපුරා ගිය බවයි. අනතුර සිදු වී පැය තුනක් යන්නත් කලින් නැව දෙකට කැඩී ගිය අතර මුහුදු ගමන්වලදී සිදු වූ ඛේදනීයම සිදු වීම ලෙස ඉතිහාසයට එක් වුණා. *

[පාදසටහන්වල]

^ 8 ඡේ. ටයිටැනික් නෞකාවට කලින් ඔලිම්පික් නෞකාවත් ටයිටැනික් නෞකාවට පසුව බ්‍රිටැනික් නෞකාවත් තැනුවා.

^ 17 ඡේ. වර්ෂ 1981 ඔක්තෝබර් 22 Awake! කලාපයේ 3-8 දක්වා පිටු බලන්න.

[14වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

සදැම්ටන්

චෙන්බෝර්ග්

ක්වීන්ස්ටවුන් (කොබ්)

නැව අනතුරට පත් වූ ස්ථානය

නිව් යෝක්

අත්ලාන්තික් සාගරය

[12, 13වන යන පිටුවල පින්තූර]

ටයිටැනික් නැව සාදන අවස්ථාවක්

[13වන පිටුවේ පින්තූර]

නැවේ අවරපෙති

[13වන පිටුවේ පින්තූර]

හාලන්ඩ් සහ වුල්ෆ් නැව් සමාගමේ සේවක පිරිසක්

[14වන පිටුවේ පින්තූරය]

ටයිටැනික් නෞකාවේ කපිතාන්වරයා වූ ඊ. ජේ. ස්මිත් (දකුණු පස) සහ ගිණුම් වාර්තා කළ හර්බට් මැක්එල්රොයි

[හිමිකම් විස්තර]

© Courtesy CSU Archive/​age fotostock

[12වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pages 12 and 13: Leaving Southampton, under construction, and shipyard: © National Museums Northern Ireland; propellers: © The Bridgeman Art Library

[15වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

© SZ Photo/​Knorr & Hirth/​Bridgeman Art Library