Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 1වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 1වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 1වෙනි කොටස

‘මම ඔබගෙන් මහත් ජාතියක් බිහි කරන්නෙමි’

පිබිදෙව්! සඟරාවේ පළ වන කොටස් අටකින් යුත් මෙම ලිපි පෙළෙන් සාකච්ඡා කරනු ලබන්නේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියැවුණේ මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවට අනුවද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

මිනිසුන් අද සෑම දෙයක් දෙසම බලන්නේ සැකයෙන් හා අවිශ්වාසයෙනි. ඔවුන් බයිබලය දෙස බලන්නෙත් ඒ අයුරින්මයි. නමුත් බයිබලය ගැන සොයා බැලීමට කිසිදු වෑයමක් නොදරා ඒ ගැන යම් අය දරන මතවලට ඇලී සිටීම මොන තරම් කනගාටුදායකද! එහෙත් ඔබ විවෘත මනසකින් ඒ දෙස බලයි කියා අපි බලාපොරොත්තු වෙමු. බයිබලයේ නිරවද්‍යතාව ඔප්පු කිරීමට යන මේ ගමනට ඔබත් හවුල් වන්න.

අප මුලින්ම සලකා බලන්නේ ක්‍රිස්තියානීන්, යුදෙව්වන් හා ඉස්ලාම් භක්තිකයන් අදටත් ගරු කරන චරිතයක් ගැනයි. හෙබ්‍රෙව් ජාතිකයෙකු වූ ඔහු ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 2018 සිට ක්‍රිස්තු පූර්ව 1843 අතර කාලයේදීයි. * ඔහුගේ නම ආබ්‍රහම්. *

බයිබලයේ වාර්තා වී ඇති මුල් අනාවැකි බොහොමයක ආබ්‍රහම්ට හිමි වී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. එම අනාවැකිවලට අපද සම්බන්ධයි. ( “සියලු ජාතීන්ට’ ආශීර්වාද!” යන කොටුව බලන්න.) බයිබලයේ මුල් පොත වන උත්පත්ති වාර්තාව තුළ පහත සඳහන් අනාවැකි තුන දැකගත හැකියි. (1) ආබ්‍රහම්ගෙන් පැවත එන අය මහත් ජාතියක් බවට පත් වීම. (2) ඔවුන් මහත් ජාතියක් බවට පත් වන අතරතුරේදී වෙනත් දේශයක වහලුන් බවට පත් වීම. (3) ඔවුන් වහල්භාවයෙන් මිදී කානාන් දේශය අත් පත් කරගැනීම. දැන් අපි මේ එක් එක් අනාවැකිය සවිස්තරව සලකා බලමු.

අනාවැකි තුන

1වෙනි අනාවැකිය: ‘මම ඔබගෙන් [ආබ්‍රහම්ගෙන්] මහත් ජාතියක් බිහි කරන්නෙමි.’—උත්පත්ති 12:2.

ඉටු වීම: මහත් ජාතියක් බවට පත් වූ ඊශ්‍රායෙල්වරුන් බිහි වුණේ ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් වූ ඊසාක් හා යාකොබ්ගෙනි. (යාකොබ්ව ඊශ්‍රායෙල් ලෙසත් බයිබලයේ හඳුන්වා තිබේ.) එම ජාතිය පාලනය කරනු ලැබුවේ ඔවුන්ගේම රජවරුන් විසිනුයි.

ඉතිහාසයෙන් සාක්ෂි:

● ආබ්‍රහම්ගේ පෙළපත වන ඊසාක්, යාකොබ් සහ ඔහුගේ පුත්‍රයන් 12දෙනා ගැන බයිබලයේ සඳහන් වේ. ඒ වගේම ඊශ්‍රායෙලය හෝ යූදා දේශය පාලනය කළ රජවරුන්ද මෙම පෙළපතට අයත්ය. එම රජවරුන්ගෙන් 17දෙනෙකු ගැන වෙනත් ඉතිහාසගත වාර්තාවලද සඳහන් වේ. ඉන් පැහැදිලි වන්නේ ඊශ්‍රායෙල් ජාතිය ආබ්‍රහම්ගේ පෙළපතින් එනම් ඊසාක් හා යාකොබ්ගෙන් බිහි වුණු බවට බයිබලයේ සඳහන් වාර්තාව සත්‍යය බවයි. *

2වෙනි අනාවැකිය: ‘ඔබෙන් [ආබ්‍රහම්ගෙන්] පැවත එන්නන් තමන්ට අයිති නැති දේශයක විදේශිකයන් ලෙස ජීවත් වෙයි. ඔවුහු එම දේශයේ වැසියන්ට දාසකම් කරන්නෝය. එහෙත් හතරවන පරම්පරාවේදී ඔබෙන් පැවතෙන අය නැවත මේ දේශයට පැමිණෙන්නෝය.’—උත්පත්ති 15:13, 16.

ඉටු වීම: කානාන් දේශයේ ඇති වූ සාගතය නිසා ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණි ඊශ්‍රායෙල්වරු ඊජිප්තුවේ පදිංචියට ගියෝය. ඉන්පසු පරම්පරා හතරක් යන තුරු ඔවුහු එහි ජීවත් වූහ. මුලින් විදේශිකයන් ලෙස ජීවත් වුවද පසු කාලයකදී ගඩොල් සාදමින් වහල්කම් කිරීමට ඔවුන්ට සිදු විය. ආබ්‍රහම්ගේ මුනුපුරෙකු වූ ලෙවීගේ පරම්පරාවේ සිට කෝහාත්, අම්රාම් සහ මෝසෙස් දක්වා පරම්පරා හතරක් යන තුරු ඔවුන්ට වහලුන් ලෙස සේවය කිරීමට සිදු විය. (නික්මයාම 6:16, 18, 20) නමුත් ක්‍රි.පූ. 1513දී මෝසෙස් විසින් ඊශ්‍රායෙල්වරුන්ව ඊජිප්තුවෙන් පිටතට රැගෙන එන ලදි.— “කාලය නිවැරදිව සඳහන් කිරීම” යන කොටුව සහ  පහත දැක්වෙන වගුව බලන්න.

ඉතිහාසයෙන් සාක්ෂි:

● ජේම්ස් කේ. හොෆ්මයර් යනු පැරණි ගිවිසුම සම්බන්ධ මහාචාර්යවරයෙක් සහ මැදපෙරදිග දේශවල කැණීම් කටයුතු කළ පුරාවිද්‍යාඥයෙකි. ඔහු පවසන්නේ ඊජිප්තුවේ ලේඛන හා පුරාවිද්‍යාත්මක සාක්ෂිවලට අනුව සාගත කාලයේදී ඊශ්‍රායෙල්වරුන්ටද ඊජිප්තුවට ඒමට අවසර ලැබුණු බවයි. නමුත් ඔවුන් වහලුන් ලෙස ගඩොල් සෑදුවාද?

● ඊශ්‍රායෙල්වරුන්ව වහල් සේවය සඳහා යොදාගත්තාද කියා ඊජිප්තු වාර්තාවල නිශ්චිතවම සඳහන් නොවේ. නමුත් ඊජිප්තුවරු ගඩොල් සෑදීමට විදේශිකයන් යොදාගත් බව එහි සොහොන් ගෙවල්වල කොටා තිබූ බිතුසිතුවම්වලින් හා වෙනත් ලියවිලිවලින් තහවුරු වේ. ඊශ්‍රායෙල්වරුන්ට දිනකට සෑදීමට යම් නිශ්චිත ගඩොල් ප්‍රමාණයක් තිබූ බවත් එය අධීක්ෂණය කිරීමට විධායකයන් සිටි බවත් බයිබලයේ සඳහන් වේ. වහලුන්ගේ වැඩ අධීක්ෂණය කිරීමට විධායකවරුන් සිටි බව ඊජිප්තු වාර්තා සනාථ කරයි. (නික්මයාම 5:14, 19) ‘ඊශ්‍රායෙල්වරු පීඩා අද්දුටු කාලයේදී ඊජිප්තුවරුන් විදේශිකයන් ලවා බලහත්කාරයෙන් වැඩ ගත් බව ඊජිප්තු වාර්තාවලින් පැහැදිලි වෙනවා. ඉන් ඔප්පු වන්නේ හෙබ්‍රෙව්වරු සාගතය කාලයේදී ඊජිප්තුවට පැමිණි බවත් පසුව ඔවුන් එහි වහලුන් ලෙස සේවය කළා යන කාරණයත් සත්‍යය බවයි’ කියා හොෆ්මයර් පවසයි.

3වෙනි අනාවැකිය: ‘මුළු කානාන් දේශයම ඔබෙන් පැවතෙන ඔබේ දරුවන්ට උරුමයක් ලෙස දෙන්නෙමි.’—උත්පත්ති 17:8.

ඉටු වීම: මෝසෙස් විසින් ඊශ්‍රායෙල් ජාතිය ඊජිප්තුවෙන් පිටතට ගෙන එනු ලැබුවත් ඔවුන්ව කානාන් දේශයට රැගෙන ගියේ නූන්ගේ පුත් යොෂුවායි. ඒ ක්‍රි.පූ. 1473දීයි.

ඉතිහාසයෙන් සාක්ෂි:

● පුරාවිද්‍යාඥයන් සඳහන් කරන දින වකවානුවල වෙනසක් තිබුණද “වඩා වැදගත් වන්නේ ඊශ්‍රායෙල්වරු කානාන් දේශයේ පදිංචි වුණා යන කාරණය” කියා මිසරවේදය (ඊජිප්තුවේ ඉතිහාසය, පුරාවිද්‍යාව හා සංස්කෘතිය පිළිබඳ හැදෑරීම) පිළිබඳ මහාචාර්යවරයෙකුව සිටි කේ. ඒ. කිචන් පවසයි.

● යොෂුවා කානාන් දේශයේ නගරයක් වූ “හාෂොර් නගරයට ගිනි තැබුවේය” කියා බයිබලයේ වාර්තා වේ. (යොෂුවා 11:10, 11) පුරාවිද්‍යාඥයන් එම නගරයෙන් සොයාගෙන ඇති නටබුන්වලින් පෙනෙන්නේ එහි දේවාල තුනක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන බවයි. ඒ වගේම එම නගරය ක්‍රි.පූ. 1400දී මුළුමනින්ම ගිනිබත් කර තිබෙන බවටත් සාක්ෂි සොයාගෙන තිබේ. එම තොරතුරු බයිබලයේ තිබෙන තොරතුරුවලටද එකඟයි.

● කානාන් දේශයට අයත් ගිබියොන් නගරය පිහිටා තිබුණේ යෙරුසලමේ සිට කිලෝමීටර් දහයක් පමණ ඈතිනුයි. එම නගරය සොයාගත් ආකාරය සිත්ගන්නාසුලුයි. පුරාවිද්‍යාඥයන් එහි කරන ලද කැණීම්වලදී විශාල බඳුන්වල අඬු 30ක් පමණ සොයාගෙන ඇති අතර ඒවායේ නගරයේ නම කොටා තිබුණි. ගිබියොන්වරු කටයුතු කළේ හාෂොර් වැසියන්ට වඩා වෙනස් ආකාරයටයි. ඔවුන් යොෂුවා සමඟ සමාදාන වීමට පියවර ගනු ලැබීය. එමනිසා යොෂුවා ඔවුන්ව “වතුර ඇද දීම” සඳහා යොදාගන්නා ලදි. (යොෂුවා 9:3-7, 23) ඔවුන්ට මෙවැනි පැවරුමක් දුන්නේ මන්ද? ඒ පිළිබඳව 2 සාමුවෙල් 2:13 සහ යෙරෙමියා 41:12හි සඳහන් දෙයින් යම් අවබෝධයක් ලබාගත හැකියි. එම පදවල සඳහන් වන ලෙස ගිබියොන්හි මනා ජල සැපයුමක් තිබී ඇත. බයිබලයේ සඳහන් එම විස්තරයට එකඟව එක් පොතක වාර්තා වුණේ මෙවැන්නකි. “ගිබියොන් නගරයේ ඉතාමත්ම කැපීපෙනෙන අංගය වූයේ එහි තිබූ ජල සැපයුමයි. එහි ප්‍රධාන ජල උල්පතකුත් කුඩා උල්පත් හතකුත් තිබී ඇත.”—Archaeological Study Bible, New International Version.

● බයිබලයේ සඳහන් බොහෝ පුද්ගලයන්ගේ නම් වෙනත් පොත්වලද සඳහන් වේ. අප මුලදී සඳහන් කළ ආකාරයට ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණි රජවරු 17දෙනෙකුගේ නම්ද ඒ අතර තිබේ. ඔවුන්ගෙන් කිහිපදෙනෙකු වන්නේ ආහබ්, ආහස්, උස්සියා, දාවිත්, මනස්සේ සහ හෙසකියා යන රජවරුන්ය. ඔවුන්ගේ නම් වෙනත් පොත්වලද සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ ඊශ්‍රායෙල්වරු කානාන් දේශයේ පදිංචි වී තම බලය එහි තහවුරු කරගත් බවයි.

● වර්ෂ 1896දී ඊජිප්තුවේ තේබිස් නගරයේ සිදු කළ කැණීම්වලදී මනප්තා ගල් පුවරුව සොයාගන්නා ලදි. එම ගල් පුවරුවේ සඳහන් වූයේ ක්‍රි.පූ. 1210දී මනප්තා නම් ඊජිප්තුවේ පාලකයා, කානාන් දේශයේ කළ යුධ මෙහෙයුමක් පිළිබඳවයි. ඊශ්‍රායෙල්වරුන් ජීවත් වුණේ කානාන් දේශයේ. බයිබලයට අමතරව ඊශ්‍රායෙල්වරුන් කියා ජාතියක් සිටි බවට සොයාගත් පැරණිතම සාක්ෂිය එයයි.

නිවැරදි දත්තවල ඇති ප්‍රයෝජන

අප දැන් සලකා බැලූ ලෙස පුද්ගලයන්, ස්ථාන හා සිද්ධීන් ගැන බයිබලයේ නිවැරදි ලෙස වාර්තා කර තිබේ. ඒවා බයිබලයට සම්බන්ධ නැති පොත් පත්වල තිබෙන තොරතුරු සමඟත් සැසඳේ. එමගින් අපට බයිබලයේ සඳහන් අනාවැකිවල නිරවද්‍යතාව තවත් තහවුරු කරයි. ආබ්‍රහම්ට දුන් පොරොන්දු එනම් ආබ්‍රහම්ගෙන් පැවත එන අය මහත් ජාතියක් බවට පත් වීම, ඔවුන් මහත් ජාතියක් බවට පත් වන අතරතුරේදී වෙනත් දේශයක වහලුන් බවට පත් වීම හා ඔවුන් කානාන් දේශය අත් පත් කරගැනීම වැනි අනාවැකි එලෙසින්ම ඉටු විය. මේ සියල්ල සලකා බලන විට අපේ මතකයට නැඟෙන්නේ බයිබල් ලේඛකයෙකු කියූ මෙම වදන් පෙළයි. “අනාවැකි පළ කරනු ලැබුවේ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොවේ. මිනිසුන් තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වී දෙවි ලබා දුන් මඟ පෙන්වීම්වලට එකඟව ඔවුහු කතා කළෝය.”—2 පේතෘස් 1:21.

ඊශ්‍රායෙල්වරු කානාන් දේශයේ පදිංචි වූ පසු සියවස් ගණනාවක් ජාතියක් හැටියට ඔවුහු විවිධ කම්කටොලුවලට මුහුණ දුන්හ. ඒ ගැන බයිබල් ලේඛකයන් කලින්ම පවසා තිබිණ. අප ඊළඟ ලිපියෙන් සලකා බලන්නේ ඒ පිළිබඳවයි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. ක්‍රිස්තු පූර්ව ලෙස හඳුන්වන්නේ ක්‍රිස්තුස් මෙලොව ඉපදීමට පෙර කාලයයි.

^ 5 ඡේ. ආබ්‍රහම්ව මුලින් හැඳින්වූයේ ආබ්‍රම් ලෙසයි.

^ 11 ඡේ. පළවෙනි ලේකම් 1:27-34; 2:1-15; 3:1-24 බලන්න. සලමොන්ගේ පුත් වූ රෙහබෝවම්ගේ පාලන සමයේදී උතුරු හා දකුණු රාජ්‍යය ලෙස ඊශ්‍රායෙල් රාජ්‍යය දෙකට බෙදුණි. ඉන්පසු ඊශ්‍රායෙල් දේශය රජවරුන් දෙදෙනෙක් යටතේ පාලනය විය.—1 රාජාවලිය 12:1-24.

[17වන පිටුවේ කොටුව]

 ‘සියලු ජාතීන්ට’ ආශීර්වාද!

ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තා මාර්ගයෙන් ‘සියලු ජාතීන්ට’ ආශීර්වාද කරන බවට දෙවි පොරොන්දුවක් දුන්නේය. (උත්පත්ති 22:18) ආබ්‍රහම්ගෙන් ජාතියක් බිහි කිරීමට ප්‍රධාන හේතුව වූයේ පැවත එන තැනැත්තා හෙවත් යේසුස්ගේ පැමිණීම සඳහායි. * යේසුස් පොළොවට පැමිණියේ සියලු ජාතීන් වෙනුවෙන් තම ජීවිතය දීමටයි. ඒ අනුව ආබ්‍රහම්ට දෙවි දුන් පොරොන්දුවට ඔබත් සම්බන්ධයි. බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16.

[පාදසටහන]

^ 34 ඡේ. ගැලවුම්කරු පිළිබඳ අනාවැකි මෙම ලිපි පෙළේ 3වෙනි හා 4වෙනි කොටස්වලදී සාකච්ඡා කරනු ලබයි.

[17වන පිටුවේ කොටුව]

 කාලය නිවැරදිව සඳහන් කිරීම

බයිබලයේ නිවැරදිව කාල වකවානු සඳහන් කර තිබීම ගැන කදිම උදාහරණයක් වන්නේ 1 රාජාවලිය 6:1 පදයයි. එහි සලමොන් රජ යෙරුසලමේ දේවමාලිගාව ගොඩනැඟීම ආරම්භ කළ කාල වකවානුව සඳහන් වෙයි. “ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් පිටත්ව ආ දවසේ සිට අවුරුදු හාරසිය අසූවක් [එනම් පූර්ණ වසර 479ක්] ගත වී තිබිණ. සලමොන් රජ යෙහෝවා දෙවිට නමස්කාර කිරීම සඳහා ගෘහයක් ගොඩනඟන්න පටන්ගත්තේ හාරසිය අසූවන අවුරුද්දේදීය. එය ඊශ්‍රායෙල්හි රජු වන සලමොන්ගේ පාලන සමයේ හතරවන අවුරුද්දේ දෙවන මාසය එනම්, ෂීව් මාසය විය.”

බයිබලයේ සලමොන් රජුගේ පාලනයේ හතරවන අවුරුද්ද යොමු දක්වන්නේ ක්‍රි.පූ. 1034ටයි. එදා සිට අවුරුදු 479ක් ගණන් කළ විට පැමිණෙන්නේ ක්‍රි.පූ. 1513ටයි. එනම් ඊශ්‍රායෙල්වරුන් ඊජිප්තුවෙන් නිදහස් වූ අවුරුද්දටයි.

[18වන පිටුවේ කොටුව]

ආබ්‍රහම්—අතීතයේ සිටි බව ඔප්පු වෙයි

● ක්‍රිස්තු පූර්ව 2000ට අයත් මැටි පුවරුවක අතීතයේ තිබූ නගරවල නම් සඳහන් වන අතර ආබ්‍රහම්ගේ පෙළපතට අයත් අයගේ නම් සමඟ ඒවා ගැළපෙයි. එම නගරවලින් කිහිපයක් නම් පේලෙග්, සේරග්, නාහෝර්, ටේරා සහ හාරාන්ය.—උත්පත්ති 11:17-32.

උත්පත්ති 11:31හි සඳහන් වන්නේ ආබ්‍රහම් සහ ඔහුගේ පවුලේ අය “කල්දිවරුන්ගේ දේශය වන ඌර්” දේශයෙන් පිටවූ බවයි. එම නගරයේ නටබුන් ඉරාකයේ ගිනිකොන දෙසින් සොයාගෙන ඇත. ඒ වගේම ආබ්‍රහම්ගේ පියා වූ තේරා, හාරාන් දේශයේදී මිය ගිය බව බයිබලයේ සඳහන් වෙයි. එම නගරය වර්තමානයේදී අයත් වන්නේ තුර්කියටයි. ආබ්‍රහම්ගේ බිරිඳ වූ සාරා මිය ගියේ හෙබ්‍රොන් නගරයේයි. එය දැනටත් මැදපෙරදිග මිනිසුන් වාසය කරන පැරණි නගරයක්.—උත්පත්ති 11:31, 32; 23:2.

[17, 16වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

 ආබ්‍රහම්ගේ පරම්පරාව සහ ඊශ්‍රායෙල්වරුන් නිදහස් වීම දක්වා කාලය

ක්‍රි.පූ

1843 ආබ්‍රහම්ගේ මරණය

ආබ්‍රහම්ගෙන් පැවත ආ

පරම්පරා හතර

ලෙවී

1728 යාකොබ් තම පවුල

සමඟ ඊජිප්තුවට යෑම

1711 යාකොබ්ගේ මරණය කෝහාත්

1657 යෝසෙප්ගේ මරණය අම්රාම්

1593 මෝසෙස්ගේ උපත මෝසෙස්

1513 මෝසෙස් ඊශ්‍රායෙල්වරුන්ව

ඊජිප්තුවෙන් රැගෙන ඒම

1473 මෝසෙස්ගේ මරණය.

යොෂුවා ඊශ්‍රායෙල්වරුන්ව

කානාන් දේශයට

රැගෙන යෑම

විනිශ්චයකරුවන් සිටි කාලය

1117 සාමුවෙල් විසින් සාවුල්ව

ඊශ්‍රායෙලයේ පළමු රජ

ලෙස අභිෂේක කරනු ලැබීම

1107 දාවිත්ගේ උපත

1070 දාවිත් ඊශ්‍රායෙලයේ

රජ බවට පත් වීම

1034 සලමොන් දේවමාලිගාව

ගොඩනැඟීම ආරම්භ කිරීම

[17වන පිටුවේ පින්තූරය]

“දාවිත්ගේ පෙළපත” කියා මෙහි කොටා තිබෙනවා. එය ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණි රජවරු යුදය හෝ ඊශ්‍රායෙලය පාලනය කළ බවට සාක්ෂියක්

[හිමිකම් විස්තර]

© Israel Museum, Jerusalem/The Bridgeman Art Library International