Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

මාව තේරුම්ගන්නේ නැත්තේ ඇයි?

මාව තේරුම්ගන්නේ නැත්තේ ඇයි?

පහත සඳහන් සිද්ධිය ගැන සලකා බලන්න.

ජිමිට අවුරුදු 17යි. ඔහු සිකුරාදා දවසක හවස හයට විතර “මං යනවා” කියාගෙන කඩිමුඩියේ එළියට යන්නයි ලෑස්තිය. ඒ, දෙමව්පියන් ප්‍රශ්න අහන්න කලින් පැනගන්නයි.

නැවත ගෙදර එන වෙලාව ගැන දෙමව්පියන් අහනවා කියලා ඔහු හොඳින්ම දන්නවා.

“ජිමි ඔයා කීයටද ගෙදර එන්නේ” කියලා අම්මා අහනවා.

ජිමි ටිකක් නතර වෙලා “හ්ම්, ආ . . . ” කියලා ගොත ගසමින්, “මං එනකම් ඇහැරගෙන ඉන්න එපා” කියමින් ඉක්මනින්ම එතැනින් මාරු වෙන්න උත්සාහ කරනවා. ඒත් “පොඩ්ඩක් ඉන්න” කියා තාත්තා ජිමිට කියනවා.

නැවතත් ජිමි නතර වෙනවා. “දහයට කලින් ගෙදර එන්න ඕනේ කියලා ඔයා හොඳටම දන්නවා” කියා තාත්තා ඔහුට සැරෙන් කියනවා.

“මොකක්ද තාත්තේ, මං කොහොමද යාළුවන්ට කියන්නේ දහයට කලින් ගෙදර යන්න ඕනේ කියලා. ලැජ්ජ නැද්ද!” කියා ඔහු කලකිරීමෙන් තාත්තට කියනවා.

“දහයට කලින් යන ගමනක් ගිහින් එන්න. එච්චරයි!” තාත්තාගෙන් කිසිම බුරුලක් ලැබෙන්නේ නැහැ.

ඔයත් ඒ වගේ තත්වයන්ට මුහුණ දෙනවා ඇති. ඔයාට තියෙන ප්‍රශ්නේ වෙලාවට ගෙදර එන එක, ඔයා අහන සංගීතය, ඔයාගේ යාළුවන්, එහෙමත් නැත්නම් ඇඳුම් වගේ දෙයක් වෙන්න පුළුවන්. ඔයාගේ දෙමව්පියන් ඒ ගැන දාලා තියෙන නීති ළිහිල් කරන්න අකමැති ඇති. උදාහරණයකට,

“මං මොන සිංදුව ඇහුවත් අංකල් (අම්මගේ දෙවෙනි කසාදේ ස්වාමිපුරුෂයා) ඒ ගැන මොකක් හරි කියනවා. අන්තිමට මගේ CD ඔක්කොම වීසි කරන්න වුණා.”—බ්‍රැන්ඩන්. *

“මට යාළුවෝ නැහැ කියලා අම්මා නිතරම අනං මනං කියනවා. ඒත් කාව හරි ආශ්‍රය කරන්න පටන්ගත්තාම, අම්මා එයාව අඳුරන්නේ නැත්නම් ඒකටත් කැමති නැහැ. මට නං පුදුම කලකිරීමක් ඇති වෙන්නේ!”කැරල්.

“මගේ තාත්තයි, ආන්ටියි (තාත්තාගේ දෙවෙනි කසාදේ බිරිඳ) මම ටිකක් ඇඟට හිර ටීෂර්ට් අඳිනවාට කැමති නැහැ. කොට කලිසම දණහිසට ටිකක් උඩින් තියෙනවා නම් ඒක කොට වැඩියි කියලා තාත්තා කියනවා.”—සෙරීනා.

යම් කාරණාවලදී දෙමාපියන් සමඟ එකඟ වෙන්න බැරි නම් ඒ ගැන ඔවුන් සමඟ කතා කරන්න. “මගේ අම්මලා නං මං කියන දේකට ඇහුම්කන් දෙන්නේ නැහැ” කියා 17 හැවිරිදි ජොඇන් කියනවා. “අම්මලාට මාව තේරුම්ගන්න බැහැ කියලා මට තේරුණොත් මම එයාලට මුකුත්ම කියන්නේ නැහැ.” එහෙම කියන්නේ 15 හැවිරිදි එමි.

එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා. දෙමාපියන් ඔයා කියන දේ අහන්න සතුටු නැහැ කියලා ඔයාට හිතුණත් එහෙම නොවෙන්න පුළුවන්.

මේ ගැන හිතන්න: මිනිසුන් තමන්ගේ ප්‍රශ්න ගැන දෙවිට කියනකොට දෙවි ඒවාට සවන් දෙනවා. උදාහරණයකට මුරණ්ඩු ඊශ්‍රායෙල්වරු වෙනුවෙන් මෝසෙස්, යෙහෝවා දෙවිට කන්නලව් කළාම දෙවි ඇහුම්කන් දුන්නා.—නික්මයාම 32:7-14; ද්විතීය කතාව 9:14, 19.

සමහරවිට ඔයාට හිතෙයි දෙමව්පියන් යෙහෝවා දෙවි තරම් සාධාරණ නැහැ කියලා. මෝසෙස්, දෙවිත් එක්ක කතා කළ කාරණයයි ඔයා ගෙදර එන වෙලාව ගැන දෙමව්පියන් එක්ක කතා කරන එකයි ඇත්තටම හාත්පසින්ම වෙනස්. ඒත් එක පොදු දෙයක් තියෙනවා.

ඔයාගේ ගැටලුව සාධාරණ එකක් නම් දෙමව්පියන් ඒ ගැන කතා කරන්න කැමති වෙයි.

වැදගත් වෙන්නේ ඔයා ගැටලුව දෙමව්පියන්ට කියන විදිහයි. ඒකට උපකාරවත් වෙන මේ යෝජනා කිහිපය බලන්න.

  1. ඔයාගේ ගැටලුව තේරුම්ගන්න. දෙමව්පියන් එක්ක එකඟ වෙන්න බැරි ගැටලුව මොකක්ද කියලා ලියන්න.

  2. ඔයාට හැඟෙන විදිහ. දෙමව්පියන් ක්‍රියා කරපු විදිහ ගැන ඔයාට හැඟෙන දේ පහත ලියන්න. ඔයාට ඇති වුණේ වේදනාවක්ද, ලැජ්ජාවක්ද, අපහසුතාවට පත් වීමක්ද නැත්නම් වෙනත් හැඟීමක්ද? උදාහරණයකට මේ ලිපියේ මුලින් සඳහන් කරපු සිද්ධියේදී, ජිමිට හැඟුණේ දෙමව්පියන් දාලා තියෙන නීතිය නිසා යාළුවන් ඉදිරියේ එයා ලැජ්ජාවට පත් වෙනවා කියලයි.

  3. දෙමව්පියන්ගේ පැත්තෙන් හිතන්න. ඔයා අම්මා හරි තාත්තා හරි නම් ඔයා අංක එක යටතේ සඳහන් කරපු ගැටලුව විසඳන්නේ කොහොමද? ඔයා සැලකිලිමත් වෙන්නේ මොකක් ගැනද? ඒ ඇයි? උදාහරණයකට ජිමිගේ දෙමව්පියන් සැලකිලිමත් වුණේ දරුවගේ ආරක්ෂාව ගැනයි.

  4. ගැටලුව ගැන නැවත හිතන්න. පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න:

    දෙමව්පියන් කියන දේවල් ප්‍රයෝජනවත් කියලා ඔයා හිතනවද?

    එහෙමනම් ඔයාට කරන්න පුළුවන් මොනවද?

  5. ගැටලුව ගැන දෙමව්පියන් එක්ක කතා කරලා විසඳුම් හොයන්න. ඉහත සඳහන් කරපු කාරණා අදාළ කරගන්නවා නම්, “අදහස් හුවමාරුවට ඉඟි” යන කොටුවේ ඇති කරුණු සලකා බලනවා නම් ඔයාට දෙමව්පියන් එක්ක හොඳින් අදහස් හුවමාරු කරගන්නා විදිහ දියුණු කරගන්න පුළුවන් වෙයි. කෙලී නම් යෞවනිය අම්මයි තාත්තයි එක්ක ඒ විදිහට හොඳින් අදහස් හුවමාරු කරගන්නවා. “කට ගැහුවොත් වෙන්නේ තියෙන නිදහසත් නැති වෙන එක විතරයි. මම නං අම්මලා එක්ක ප්‍රශ්නය ගැන කතා කරලා සාධාරණ විසඳුමකට එනවා” කියලා කෙලී කියනවා.

 

^ 12 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.