Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

“සත්‍යය” ඔබව නිදහස් කරන්නේ කෙසේද?

“සත්‍යය” ඔබව නිදහස් කරන්නේ කෙසේද?

බොහෝ ජනයා සිතන්නේ තමන් නිදහස් පුද්ගලයන් කියායි. ඒත් සැබෑව එය නොවෙයි. බොහෝදෙනෙක් මිථ්‍යා විශ්වාසයන්ට වහල් වී සිටිනවා. තවත් සමහරුන් මිය ගිය අයට බියක් දක්වනවා. ඒ නිසා මිය ගිය අයව සතුටු කිරීමට විශාල මුදලක් වැය කරමින් දාන දෙනවා හෝ පුදපූජා පවත්වනවා. තවත් අය මිය ගිය විට සිදු වන්නේ කුමක්ද කියා නොදන්නා නිසා මරණයට අසාමාන්‍ය ලෙස බිය වෙනවා. එවැනි අය විඳින මානසික පීඩාවෙන් ඔවුන්ට නිදහස් විය හැකිද? ඔව්. ඒ යේසුස් පැවසූ සත්‍යය මාර්ගයෙනුයි. ඒ සත්‍යය කුමක්ද?

යේසුස් පැවසුවේ මෙයයි. “ඔබ මා උගන්වන දේවල් පිළිපදිනවා නම් ඇත්තෙන්ම ඔබ මගේ ගෝලයෝ වෙනවා. ඔබට සත්‍යය ගැන අවබෝධයක් ලැබෙයි. ඒ සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා.” (යොහන් 8:31, 32) යේසුස් ඉගැන්වූ එම සත්‍යය තිබෙන්නේ බයිබලයේයි.

“සත්‍යය ඔබට නිදහස ලබා දෙනවා” කියා යේසුස් පැවසූ විට ඔහු මූලිකවම අදහස් කළේ අපට පාපයෙන් හා මරණයෙන් ලැබෙන නිදහස ගැනයි. ඒ කෙසේවෙතත් බයිබලයේ සඳහන් සත්‍යය ඉගෙනගැනීමෙන් මිථ්‍යා විශ්වාසවලින්, මිය ගිය අයට ඇති බියෙන් සහ මරණයට ඇති අසාමාන්‍ය බියෙන් අපට නිදහස ලබාගත හැකියි. ඒ කෙසේද?

1. මිථ්‍යා විශ්වාස. බොහෝ අය යම් ඉලක්කම් හා යම් දේවල් අසුබ ලෙස සලකනවා. තවත් අය යම් වැදගත් තීරණයක් ගැනීමට පෙර නිමිති හෝ හඳහන් බලනවා. එසේ නැතහොත් කට්ටඩියෙකුගේ පිහිට පතනවා.

බයිබලයේ ඉගැන්වීම්වලින් ලැබෙන නිදහස: ඈත අතීතයේදී දෙවිට නමස්කාර කළ සමහර පුද්ගලයන් මිථ්‍යා විශ්වාසවලින් මුළා වී සිටියා. ඔවුන් කොතරම් මුළා වී සිටියාද කිවහොත් “වාසනාවේ දෙවියන්ට” හා “ඉරණමේ දෙවියන්ට” නමස්කාර කිරීමට පවා පෙලඹුණා. ඒ ගැන යෙහෝවා දෙවි පැවසුවේ කුමක්ද? “මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය.” (යෙසායා 65:11, 12) ජීවිතයේ යම් කාරණාවලදී මඟ පෙන්වීම් ලබාගැනීමට ‘කට්ටඩියෙකුගේ උපකාර ලබන සෑම කෙනෙක්ම යෙහෝවා දෙවිට පිළිකුලක්’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—ද්විතීය කතාව 18:11, 12.

මිථ්‍යා මත විශ්වාස කිරීම හා කට්ටඩියන්ගෙන් උපකාර පැතීම අනතුරුදායකයි. යේසුස් පැවසුවේ එම දේවල් “බොරුවේ පියා” වන “යක්ෂයාගේ උපායන්” කියායි. (එෆීස 6:11; යොහන් 8:44) මෙසේ සිතන්න. ඔබ යම් වැදගත් කාරණයකදී මඟ පෙන්වීම් ලබාගැනීමට බොරුකාරයෙකුගේ උපකාර පතනවාද? කවදාවත් එසේ නොකරන බව ස්ථිරයි.

ජීවිතයේ ඥානවන්ත තීරණ ගැනීමට අවශ්‍ය වන්නේ බයිබල් ප්‍රතිපත්ති තේරුම්ගැනීමයි. ඒ වගේම මනුෂ්‍ය වර්ගයා සඳහා දෙවිගේ අරමුණ සඳහන් වන්නෙත් බයිබලයේයි. “ප්‍රඥාව යෙහෝවා දෙවිගෙන් ලැබෙන දීමනාවකි. දැනුම සහ වටහාගැනීමේ හැකියාව ලැබෙන්නේ ඔහුගෙන්ය” කියා එහි සඳහන් වෙනවා.—හිතෝපදේශ 2:6.

2. මිය ගිය අයට ඇති බිය. බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ මිය ගිය අයගේ ආත්ම, ජීවත්ව සිටින අයට බලපෑම් කරනවා කියයි. එමනිසා ඔවුන් මෙම ආත්මවලින් ඇති වන බලපෑමෙන් මිදීමට විවිධ පුදපූජා පවත්වනවා. සමහර මිනිසුන් මෙවැනි දේ කිරීමට යෑම නිසා ණය බරින් මිරිකී සිටිනවා.

බයිබලයේ ඉගැන්වීම්වලින් ලැබෙන නිදහස: මිය ගිය අයගේ සැබෑ තත්වය කුමක්ද කියා බයිබලයේ පැහැදිලි කරනවා. යේසුස් පැවසුවේ මිය ගිය අය ‘නිදාගෙන සිටිනවා’ කියායි. (යොහන් 11:11, 14) ඔහු කියූ දේ තේරුම්ගැනීමට බයිබලයේ සඳහන් මෙම වදන් උපකාරවත් වෙනවා. “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5) ඇත්තෙන්ම මිය ගිය අයට කිසිම හැඟීමක් දැනීමක් නැහැ. ඔවුන් සිටින්නේ තද නින්දක් හා සමාන තත්වයකයි. ඒ නිසා ඔවුන්ට ජීවත්ව සිටින අයට කිසිම බලපෑමක් කරන්න හැකියාවක් නැහැ.

ඒත් සමහර පුද්ගලයන් කියා සිටින්නේ ඔවුන් මිය ගිය අය සමඟ කතා කර ඇති බවයි. එවැනි දෙයක් විය හැකිද? එයට පිළිතුරු බයිබලයේ සඳහන් වෙනවා. මිනිස් ඉතිහාසයේ ආරම්භයේදී දේවදූතයන් කිහිපදෙනෙක් දෙවිට විරුද්ධව කැරලිගැසූ බව එහි පවසනවා. (2 පේතෘස් 2:4) ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි. ඔවුන් මිනිසුන්ව මුළා කරනවා. (1 තිමෝති 4:1) ඔවුන් මුළා කරන එක් ක්‍රමයක් වන්නේ මිය ගිය අයගේ වෙස් ගෙන පෙනී සිටීමයි. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මිය ගිය අය ආත්මයක් ලෙස වෙනත් ලෝකයක ජීවත් වෙනවා යන බොරු මතය සැබෑවක් බව ඔප්පු කිරීමටයි.

3. මරණයට ඇති අසාමාන්‍ය බිය. මරණය සතුරෙක් කියා බයිබලයේ පවසනවා. (1 කොරින්ති 15:26) ඕනෑම කෙනෙක් මිය යන්න බියක් දක්වනවා. එහෙත් අපි අසාමාන්‍ය ලෙස මරණයට බිය විය යුතු නැහැ.

බයිබලයේ ඉගැන්වීම්වලින් ලැබෙන නිදහස: මිය ගිය අයගේ සැබෑ තත්වය ගැන බයිබලයේ සඳහන් වෙනවා. ඒ වගේම ඔවුන්ව නැවත ජීවනයට ගෙන ඒම හෙවත් නැවත නැඟිටුවීම දෙවිගේ අරමුණ කියාත් එහි සඳහන් වෙනවා. යේසුස් පැවසුවේ ‘සොහොන් ගෙවල්වල සිටින සියලුදෙනාටම ඔහුගේ හඬ ඇසෙන කාලය පැමිණි’ විට ඔවුන් “නැවත නැඟිටීමක් ලබන” බවයි.—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

මිය ගිය අයව නැවත නැඟිටුවන්නේ කුමනාකාරයෙන්ද? යේසුස් සිදු කළ නැවත නැඟිටුවීම්වලින් ඊට පිළිතුර දැනගත හැකියි. ඔහු නැවත නැඟිටෙවූ සෑම කෙනෙක්වම නැඟිටෙව්වේ මිය යෑමට පෙර සිටි ස්වභාවයෙන්මයි. (මාක් 5:35-42; ලූක් 7:11-17; යොහන් 11:43, 44) කෙනෙක් මිය ගිය විට ඔහුව නැවත නැඟිටුවන්නේ ඔහු කලින් සිටි ස්වභාවයෙන්මයි යන කාරණය දෙවි තම මහලු සේවකයෙක් වූ දානියෙල්ට පැවසූ මේ දෙයින්ද පැහැදිලි වෙයි. “ඔබ සැතපී සිටිනු ඇත. එහෙත් ඔබට වෙන් කළ කොටස ලබාගැනීම සඳහා ඔබ ආපසු නැඟිටිනු ඇත.” (දානියෙල් 12:13) මහලු වයසේ සිටි දානියෙල්ට එම පොරොන්දුව මොන තරම් සහනයක් වෙන්න ඇද්ද!

යේසුස් පොළොවට පැමිණියේ ‘වහලුන්ට නිදහස ලැබෙන බව දේශනා කිරීමටයි.’ (ලූක් 4:18) එයට මිථ්‍යා විශ්වාසවලට වහල් වී සිටින අයව මුදවාගැනීමත් ඇතුළත්. යේසුස්ගේ ඉගැන්වීම් බයිබලයේ සඳහන් වී තිබෙන නිසා ජනයාට ඉන් නිදහස ලබාගත හැකියි. අපගේ එකම පැතුම ඔබට සැමදා නිදහස් ජීවිතයක් ලැබේවා යන්නයි!

මේ ගැන ඔබ සිතුවාද?

බයිබලයේ ඇති සත්‍යය, නිදහස ගෙන දෙන්නේ කෙසේද?

● මිථ්‍යා විශ්වාසවලින්—යෙසායා 8:19, 20; 65:11, 12.

● මිය ගිය අයට ඇති බියෙන්—දේශනාකාරයා 9:5; යොහන් 11:11, 14.

● මරණයට ඇති අසාමාන්‍ය බියෙන්—යොහන් 5:28, 29; ක්‍රියා 24:15.

[11වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

බයිබලයේ ඇති සත්‍යය ඉගෙනගැනීමෙන් මිනිසාට පූර්ණ නිදහසක් ලබාගත හැකියි