Skip to content

පටුනට යන්න

සාධාරණ පුද්ගලයන් වීමට . . .

සාධාරණ පුද්ගලයන් වීමට . . .

සාධාරණ පුද්ගලයන් වීමට . . .

අප සතුටින් ජීවිත ගත කරනවා හා සමානව අප අන් අයගේ සතුටටත් දායක වීම අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවිගේ කැමැත්තයි. ඔහුට නමස්කාර කරන අයගෙන් දෙවි ඉල්ලා සිටින්නේ “සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න” කියායි. (මීකා 6:8) අප එලෙස ක්‍රියා කරන්න නම් අසාධාරණව කටයුතු කිරීමට අපව පොලඹවන නරක ගතිගුණ ඉවත් කරගත යුතුයි. ඒ සඳහා බයිබලයේ ඇති උපදෙස් උපකාරවත් වන්නේ කෙසේද කියා සලකා බලමු.

කෑදර පුද්ගලයෙක් නොවීමට. මේ සඳහා අත්‍යවශ්‍යම ගුණාංගය ප්‍රේමයයි. මන්ද ප්‍රේමණීය පුද්ගලයෙක් වංචනික ලෙස කටයුතු කරන්නේ නැහැ. ඔහු ‘බොහෝ කරුණාවන්තයි. තමාගේම වාසිය සොයන්නේ නැහැ.’ (1 කොරින්ති 13:4, 5) ඔහු ප්‍රේමය පෙන්වන්නේ තම පවුලේ අයට හා හිතමිතුරන්ට පමණක් නොවෙයි. “ඔබට ප්‍රේම කරන අයට පමණක් ඔබ ප්‍රේම කරනවා නම් එයින් ඇති පලය කුමක්ද” කියා යේසුස් පවා තම අනුගාමිකයන්ගෙන් ඇසුවා.—මතෙව් 5:46.

අන් අයව පහත් කොට නොසැලකීමට. ඒ සඳහා දෙවි මිනිසුන්ට සලකන ආකාරය තේරුම්ගැනීම වැදගත්. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 10:34, 35) දෙවි යම් කෙනෙකුව විනිශ්චය කරන්නේ ඔහුගේ ජාතිය, සමාජ මට්ටම හෝ ස්ත්‍රී පුරුෂභාවය අනුව නොවෙයි. යෙහෝවා දෙවියන්ට, ‘කෙනෙක් යුදෙව්වෙක්ද ග්‍රීකයෙක්ද දාසයෙක්ද නිදහස් පුද්ගලයෙක්ද පුරුෂයෙක්ද ස්ත්‍රියක්ද යන්න වැදගත් වන්නේ නැහැ’ කියාද එහි සඳහන් වෙනවා. (ගලාති 3:28) අපත් දෙවිව අනුකරණය කරනවා නම් අන් අයව පහත් කොට සලකන්නේ නැහැ. ඇමරිකාවේ වෙසෙන කලු ජාතික ඩොරතිගේ අද්දැකීම සලකා බලන්න.

කලු ජාතිකයන්ව සැලකුවේ පහත් ජාතියක් ලෙසයි. ඩොරති එම අසාධාරණය වෙනුවෙන් සටන් කිරීම සඳහා කල්ලියකට බැඳුණා. මේ කාලයේදීම ඇයට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීමකට සහභාගි වෙන්නත් අවස්ථාවක් ලැබුණා. එහිදී කලු ජාතිකයන් වගේම සුදු ජාතිකයන්ද ඇයව පිළිගත්තේ කිසිම භේදයකින් තොරවයි. මෙය ඇගේ සිතට තදින් කාවැදුණා. මිනිසුන්ගේ ආකල්ප වෙනස් කළ හැක්කේ දෙවියන්ට පමණයි යන කාරණය ඇය ටික කලකින් තේරුම්ගත්තා. සුදු ජාතික සහෝදර සහෝදරියන් දැක්වූ ප්‍රේමය ඇගේ සිතට කොතරම් දැනුණාද කියනවා නම් ඇගේ දෑස් කඳුළින් තෙත් වුණා. එසේ වුණේ “මම කල්ලියේ හිටියා නම් මේ වගේ අයවත් මරන්න පෙලඹෙනවා නේද” කියා ඇයට හැඟුණු නිසයි.

සමාජ විරෝධී ආකල්පවලින් මිදීමට. යේසුස්ගේ මුල් අනුගාමිකයන් යේසුස්ව අනුගමනය කිරීමට පෙර බේබද්දන්, අනුන්ගේ දේ අයුතු ලෙස ලබාගන්නන්, නින්දා කරන්නන්ව සිටියා. නමුත් දෙවිගේ උපකාරයෙන් ප්‍රේමය, කරුණාව හා යහපත්කම වැනි යහගුණ වර්ධනය කරගන්න ඔවුන්ට හැකි වුණා. (1 කොරින්ති 5:11; 6:9-11; ගලාති 5:22) අද දිනත් මිලියන ගණන් ජනයා යෙහෝවා දෙවිට නමස්කාර කිරීම නිසා වෙනස් පුද්ගලයන් බවට පත් වී සිටිනවා. මීට අසර්බයිජානයේ වෙසෙන ෆෙරෝඩින් කදිම උදාහරණයක්.

ෆෙරෝඩින් හැදී වැඩුණේ අනාථ නිවාසයකයි. ඔහු කුඩා කාලයේදී නිතරම අනික් දරුවන් සමඟ රණ්ඩු කළා. වැඩිහිටියෙකු වූ පසුවත් ඔහුගේ ඒ දඩබ්බර ගතිගුණ වෙනස් වුණේ නැහැ. ‘ඉස්සර මම දරුණු පුද්ගලයෙක්. පුංචි දේටත් මට කේන්ති යනවා. මගේ බිරිඳ අතින් පොඩි අඩුපාඩුවක් වුණත් මම එයාට ගහනවා. අපි දෙන්නා පාරේ යනකොට කවුරු හරි එයා දිහා බැලුවොත් මම ඒ මනුස්සයාටත් ගහනවා.’

ඒත් දැන් ෆෙරෝඩින් වෙනස් කෙනෙක්. එසේ වුණේ යේසුස් තමාව වධකණුවේ එල්ලූ සෙබළුන්ට සමාව දෙන්න කියා දෙවිගෙන් කළ ඉල්ලීම ඔහුගේ සිතට කාවැදුණු නිසයි. (ලූක් 23:34) ඒ වගේ දෙයක් කරන්න පුළුවන් දෙවිගේ පුත්‍රයාට විතරයි කියා ඔහු සිතුවත් දෙවි ගැන දැනගැනීමට ඔහු උනන්දු වුණා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඔහුට දෙවි ගැන ඉගෙනගැනීමට උපකාර කළ අතර ඔහු ටිකෙන් ටික වෙනස් වුණා. ඔහු තම භාර්යාවටත් කරුණාවන්තව සැලකුවා. දැන් ඔවුන් දෙදෙනාම දෙවිට නමස්කාර කරනවා.

අප යහපත් පුද්ගලයන් වූ පමණින් මේ ලෝකය වෙනස් කරන්න බැරි බව ඇත්තයි. ඒත් දෙවිගේ පොරොන්දුව නම් යුක්තිය රජයන සමාජයක් ඇති කිරීමයි. ඔහුට ඒ දේ කිරීමට බලය තිබෙනවා. අද සමාජය මෙතරම් දූෂිත තත්වයකට පත් වන බව බයිබලයේ මීට වසර 2,000කට පමණ පෙර සඳහන් කර තිබුණා. (2 තිමෝති 3:1-4) බයිබලයේ සඳහන් වෙනත් අනාවැකි මෙන් එම අනාවැකියේ සෑම අංගයක්ම අද ඉටු වෙනවා. දෙවි යුක්තිය ඉටු කරන බව පොරොන්දු වී තිබෙනවා. ඔහු එය කරන්නේ කෙසේද කියා සලකා බලමු.

[7වන පිටුවේ පින්තූරය/කොටුව]

යුක්තිය සෙවූ හයිඩි

“අද අහන්න දකින්න තියෙන්නේ යුද්ධ, දුප්පත්කම, ජාතිභේද හා අසාධාරණකම්. මම මේවට විසඳුමක් හොයන්න මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන කල්ලියකට බැඳුණා. ඊටපස්සේ දේශපාලන පක්ෂයකටත් බැඳුණා. ඒත් මේ එකකින්වත් වැඩක් වුණේ නැහැ” කියා ඇමරිකාවේ වෙසෙන හයිඩි පවසනවා.

“පස්සේ මම හිතුවා තමන්ගේම සම්ප්‍රදායන් ගොඩනඟා ගෙන ජීවත් වන හිප්පිවරුන්ට එකතු වෙන්න. ඒකෙනුත් ඇති වුණේ කලකිරීම විතරයි. ඒ අය වැඩියෙන් උනන්දු වුණේ දුරාචාර ජීවිත ගත කරන්න, මත්ද්‍රව්‍ය ගන්න වගේ දේවලට මිසක් සමාජයට සෙතක් කරන්න නෙවෙයි. මේ කාලයේදී තමයි මට යෙහෝවා දෙවිගේ සාක්ෂිකාරියක්ව මුණගැහුණේ. දෙවියන් මේ සමාජය වෙනස් කරන්නේ කොහොමද කියලා එයා බයිබලයෙන් මට පෙන්නුවා. දෙවියන් සියලුදෙනාගේ දුක, වේදනාව, වැලපීම, හැඬීම නැති කරනවා කියලත් පෙන්නුවා. (එළිදරව් 21:3, 4) හුඟක් වෙලාවට දුක, වේදනාව වගේ දේවල් ඇති වෙන්නේ අයුක්තිය නිසයි. ‘ඇත්තටම ඒ පොරොන්දු ඉටු වෙයිද’ කියලා මම කල්පනා කළා.

“ඒත් දෙවි බලවත්, ප්‍රේමණීය කෙනෙක් කියලා බයිබලයෙන් දැනගත්තමත් සාක්ෂිකරුවන් අතර තියෙන ප්‍රේමය දැක්කමත් මගේ සැකය නැති වුණා. දෙවිගේ පොරොන්දු ඉටු වෙන තුරු මම ආශාවෙන් බලාගෙන ඉන්නවා.”

[6වන පිටුවේ පින්තූරය]

දෙවිව අනුකරණය කරනවා නම් අන් අයව අප පහත් කොට සලකන්නේ නැහැ

[6වන පිටුවේ පින්තූරය]

ෆෙරෝඩින් සහ ඔහුගේ බිරිඳ