Skip to content

පටුනට යන්න

අමතක නොවන කෑමක්

අමතක නොවන කෑමක්

අමතක නොවන කෑමක්

මධ්‍යම අප්‍රිකානු සමූහාණ්ඩුවට අයිති කුඩා ගම්මානයක් තමයි බැන්ගුයි කියන්නේ. එහේ ඉන්න අපේ යාළුවෙක් අපිට කෑමකට ආරාධනා කළා.

“එන්න, එන්න! දැන් නම් හොඳට බඩගිනිත් ඇති නේද” කියාගෙනම එයාලා අපිව සාදරයෙන් පිළිගත්තා. ගෙට ඇතුල් වෙද්දිම කටට කෙළ උනන සුවඳක් ආවා. ඇතුළේ අනික් යාළුවන්ගේ සතුටු සාමිච්චියේ හඬත් අපිට ඇහුණා. අපිව කෑමට ආරාධනා කළ මිතුරියගේ නම එලා. එයා අපිට දෙන්න යන කෑම ගැන පොඩි විස්තරයකුත් කිව්වා.

“කෘමීන් කියන්නේ ප්‍රෝටීන් බහුල ආහාරයක්. අපි කෘමීන්ව කන්නේ උන් ගුණ නිසාම නෙමෙයි, ඒවා හුඟක් රස නිසයි. අද අපි කන්න හදලා තියෙන්නේ දළඹුවෝ.”

අපි සාමාන්‍යයෙන් ඒ වගේ කෑම කන්නේ නැති වුණත් රටවල් සියයකට වඩා වැඩි ප්‍රමාණයක අය සමහර කෘමි සතුන්ව සලකන්නේ ප්‍රණීත ආහාර ලෙසයි.

රජ බොජුනක්

වැසි කාලවලදී මෙරු විශේෂයක් (bobo) උන්ගේ ගුල් අවට ප්‍රදේශවලත්, විදුලි බල්බ දල්වලා තියෙන තැන්වලත් නිතර දකින්න පුළුවන්. තද සුළං හැමුවට පස්සේ ළමයි කූඩ අරගෙන මෙරු එකතු කරන්න දුවනවා. එහෙම එකතු කරන ගමන් එකෙක් දෙන්නෙක්ව කටෙත් දාගන්නවා. සාමාන්‍යයෙන් උන්ව කන්නේ අව්වේ වේළලා, ලුණු දාලා පුච්චලා, ගම්මිරිස් දාලා හෝ වෙනත් ක්‍රමවලට සකස් කරලයි.

තවත් කෘමි විශේෂයක් වියළි කාලයේදී ආහාරයට ගන්නවා. ඒ තණකොළ පෙත්තෝ (Kindagozo) වර්ගයක්. උන්ව පුච්චලා කනවා. එහෙම නැත්නම් තටුයි අඬුයි අයින් කරලා තම්බලා කෑමට ගන්නවා.

දළඹුවෝ වර්ග කිහිපයක්ම ආහාරයට ගැනීම මේ රටේ සාමාන්‍ය දෙයක්. දුඹුරු පාට සලඹයන් බිත්තර දාලා ඒවා දළඹු අවස්ථාවට පත් වුණාට පස්සේ ඒවා කෑමට ගන්නවා. තක්කාලි, ලූනු සහ වෙනත් කුළු බඩු දාලා රසවත් ආහාරයක් ලෙස මේ දළඹුවන්ව සකස් කරගන්න පුළුවන්. සමහර අය වේළලා හරි දුම් ගහලා හරි උන්ව කල් තියාගන්නවා. මේ විදිහට සකස් කෙරුවම උන්ව මාස තුනක් විතර තියාගන්න පුළුවන්.

පෝෂණයෙන් හා ගුණයෙන් පිරි

හැම කෘමීන්වම ආහාරයට ගන්න බැහැ. කෘමිනාශක හරි රසායනික පොහොර හරි දාලා වගා කරන ප්‍රදේශවල ඉන්න කෘමීන් ආහාරයට සුදුසු නැහැ. ඒ වගේම කකුළුවෝ ඉස්සෝ වගේ කෑම අගුණ අයත් මේ වගේ කෘමීන්ව ආහාරයට ගැනීමේදී කල්පනාකාරී වෙන්න ඕනේ. කකුළුවෝ, ඉස්සෝ ආහාරයට ගන්නේ දිරාපත් වන අපද්‍රව්‍යයි. ඒත් කෘමීන් කන්නේ කොළ වර්ග. එහෙම බලද්දී නම් කකුළුවන්ට ඉස්සන්ට වඩා මේ කෘමීන් හොඳයි.

දළඹුවන් චූටි සතුන් වුණත් උන් පෝෂණ ගුණයෙන් ඉහළයි. හරක් මස්වලින් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණයට වඩා වියළි දළඹුවන්ගෙන් ලැබෙන ප්‍රෝටීන් ප්‍රමාණය දෙගුණයක් කියලා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය කියනවා. සංවර්ධනය වෙමින් පවතින රටවල ජනයාගේ පෝෂණ අවශ්‍යතාව සපුරාලන්න කෘමීන්ව ආහාරයට ගන්න පුළුවන්ද කියලා දැනගන්න ආහාර විශේෂඥයන් පර්යේෂණ පවත්වනවා.

සමහර දළඹු වර්ග ග්‍රෑම් 100ක් ආහාරයට ගැනීමෙන් දවසකට අවශ්‍ය කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සින්ක් සහ බොහෝ විටමින් වර්ගත් ලැබෙනවා. ඒ වගේම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට දළඹුවන් පිටි කර කෑමට දීමත් ඉතා යෝග්‍යයි.

පෝෂණ ගුණයට අමතරව තවත් වාසි තියෙනවා. කෘමීන්ව ආහාරයට ගැනීමෙන් පරිසරයට සිදු වෙන්නේ යහපතක්. කෘමීන් උයාගන්න හුඟක් වතුර ඕනෙ වෙන්නෙත් නැහැ. ඒ වගේම වැඩි ඉන්ධන දහනයක් වෙන්නේ නැති නිසා පරිසරයට හානියකුත් නැහැ. ඒ විතරක් නෙමෙයි ස්වභාවිකවම කෘමීන් මර්දනය වීමත් සිදු වෙනවා.

ප්‍රධාන ආහාරය

මේ ආහාරය රස විඳිනකොට අපිට මතක් වුණා දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතිය. ඒ නීතියට අනුව පළඟැටියෝ පවිත්‍ර සතුන් ගණයට තමයි වැටුණේ. දෙවිගේ සේවකයෙක් වූ යොහන් බව්තීස්තත් පළඟැටියන්ව ආහාරයට ගත්තා. (ලෙවී කතාව 11:22; මතෙව් 3:4; මාක් 1:6) කොහොමවුණත් මේ වගේ ආහාර හුරු නැති අය ඒවා කන්න ටිකක් අදිමදි කරන්න පුළුවන්.

අපිව කෑමට ආරාධනා කරපු එලා දුම් දාන කෑම දීසියක් අරගෙන ආවා. හැමෝගෙම ඇස් තිබුණේ කෑම දීසිය දිහාවටයි. ඒ රටේ ජාතිකයනුයි අපියි ඔක්කොම අටදෙනෙක් කෑමට හිටියා. අපි අටදෙනාට කන්න ලොකු දළඹුවෝ දීසි දෙකක් තිබ්බා. අපි අමුත්තෝ නිසා ඉස්සෙල්ලාම කෑම බෙදුවේ අපිට. යහමින් කෑම බෙදලා දුන්නා.

අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. “වියදමක් නැති, රසයෙන් හා ගුණයෙන් අඩුවක් නැති, ඒ වගේ කෑමක් කන්න අවස්ථාවක් ලැබුණොත් දෙසැරයක් හිතන්නේ නැතුව කන්න. ඒ රස ඔයාට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඒක ඒ තරම්ම රසයි.”

[27වන පිටුවේ පින්තූරය]

අමු දළඹුවෝ

[27වන පිටුවේ පින්තූරය]

උයපු තණකොළ පෙත්තෝ