Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

ජීවතුන්ට උදව් කරන්න මළවුන්ට හැකිද?

ජීවතුන්ට උදව් කරන්න මළවුන්ට හැකිද?

කාලයක් පුරා මිනිසුන්ගේ විශ්වාසය වී තිබෙන්නේ ජීවත් වෙන අයට මඟ පෙන්වීම් ලබා දෙන්න මළවුන්ට හැකියාවක් තිබෙනවා කියායි. මෙම විශ්වාසය ප්‍රසිද්ධ ග්‍රීක නාට්‍යයකත් (Odysseus) දක්නට ලැබුණා. එම නාට්‍යයේ ප්‍රධාන නළුවා මළවුන්ගේ ලෝකයේ සිටින අයෙකුගෙන් උපකාර පතන ආකාරය නිරූපණය කරනවා.

තමන්ගේ ගැටලුවලට විසඳුම් ලබාගැනීමට බොහෝදෙනෙක් මළවුන්ගෙන් විචාරනවා. තවත් සමහරු ඒ හා සම්බන්ධ වත්පිළිවෙත්වල නියැලෙනවා. ඇත්තෙන්ම ජීවත් වෙන අයට කළ නොහැකි දෙයක් මළවුන්ට කළ හැකිද?

බොහෝ අය විශ්වාස කරන දේ

බොහෝ ආගම්වල උගන්වන්නේ මළවුන් සමඟ කතා කළ හැකි බවයි. එක් විශ්වකෝෂයක මෙවැනි දෙයක් සඳහන් වෙනවා. “මළවුන් සමඟ කතා කිරීම ඇත්තටම භූතයන්ට සම්බන්ධ දෙයක්. මෙය සෑම තැනකම දක්නට ලැබෙනවා.” (Encyclopedia of Religion) තවත් විශ්වකෝෂයක පවසන්නේ “මළවුන් සමඟ කතා කිරීම ලොව පුරා සිදු වන දෙයක්” බවයි. (New Catholic Encyclopedia) ඒ අනුව බලන විට විවිධ ආගමික බැතිමතුන් මළවුන් සමඟ කතා කිරීම පුදුමයට කාරණයක් නොවෙයි.

මිය ගිය අය සමඟ කතා කිරීම “කතෝලික පල්ලියෙන් සම්පූර්ණයෙන්ම හෙළාදැක තිබුණත් මධ්‍යතන යුගයේ සහ ඉන්පසු කාලවලදී ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම්වල නියැලුණු බව බොහෝ අවස්ථාවල සඳහන් වී තිබෙනවා.” (New Catholic Encyclopedia) නමුත් බයිබලයේ මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද?

මළවුන්ගේ සැබෑ තත්වය

ඈත අතීතයේදී යෙහෝවා දෙවි තම නමස්කාරකයන්ට මෙසේ ආඥා කළා. ‘ඔබ අතරේ සිටින කිසිම කෙනෙක් මළවුන්ගෙන් තොරතුරු විචාරන්න නොපෙලඹිය යුතුයි.’ (ද්විතීය කතාව 18:9-13) දෙවි එවැනි ආඥාවක් දුන්නේ ඇයි? ජීවත්ව සිටින අයට මළවුන් සමඟ කතා කළ හැකි නම් දෙවි විසින් එය වැළැක්වීම මොන තරම් අසාධාරණද! නමුත් සැබෑව නම් මළවුන් සමඟ කතා කළ නොහැකි වීමයි. එසේ පැවසීමට සාධාරණ හේතු තිබෙනවාද?

මළවුන් සිටින්නේ කිසිවක් නොදන්නා තත්වයක බව බයිබලයේ බොහෝ තැන්වල පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. “ජීවත්ව සිටින අය තමන් කවදා හෝ මිය යන බව දනිති. නමුත් මිය ගිය අය කිසිවක් දන්නේ නැත.” (දේශනාකාරයා 9:5) ඒ වගේම තවත් පදයක මෙසේ සඳහන් වෙනවා. “වංශවත් අය කෙරෙහිවත් ගැලවීම ලබා දිය නොහැකි මිනිසුන් කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. ඔවුහු අවසන් හුස්ම හෙළූ පසු නැවත දූවිල්ලට හැරී යන්නෝය. ඒ මොහොතේම ඔවුන්ගේ කල්පනාව නැති වී යන්නේය.”—ගීතාවලිය 146:3, 4.

ඒත් බොහෝදෙනෙක් පවසන්නේ තමන් මිය ගිය අය සමඟ කතා කර ඇති බවයි. නමුත් ඉහත සඳහන් බයිබල් පදවලට අනුව මළවුන්ට කිසිවක් කළ නොහැකි බව පැහැදිලියි. එසේනම් ඔවුන් කතා කළේ කා සමඟද?

කතා කරන්නේ කා සමඟද?

දේවදූතයන් පිරිසක් දෙවිට විරුද්ධ වූ බව බයිබලයේ සඳහන් වෙනවා. (උත්පත්ති 6:1-5; යූද් 6, 7) ඔවුන්ව හඳුන්වන්නේ භූතයන් ලෙසයි. මිනිසුන් මිය ගිය පසු අමරණීය ආත්මයක් ලෙස ජීවත් වෙනවා යන බොරු ඉගැන්වීම පැතිරුවේ ඔවුනුයි. ඊට අමතරව මෙම බොරුව සැබෑවක් බව පෙන්වීමට ඔවුන් මිය ගිය අයගේ වෙස් ගෙන ජීවත්ව සිටින අය සමඟ කතා කරනවා.

බයිබලයේ සඳහන් එවැනි අද්දැකීමක් දැන් අපි බලමු. පුරාණයේ විසූ සාවුල් රජ යෙහෝවා දෙවිට අකීකරු වූ නිසා ඔහුට දෙවිගේ අනාගතවක්තෘවරුන්ගේ මඟ පෙන්වීම් ලැබුණේ නැහැ. ඒ නිසා ඒ වන විට මිය ගොස් සිටි අනාගතවක්තෘවරයෙක් වූ සාමුවෙල්ගෙන් මඟ පෙන්වීම් ලබාගැනීමට ඔහු මායාකාරියකගේ සහය පැතුවා. ඔහුට අවශ්‍ය මඟ පෙන්වීම් ලැබුණත් ඒවා සාමුවෙල්ගේ උපදෙස් නොවෙයි. ඊට හේතුව සාමුවෙල් ජීවත්ව සිටි කාලයේදී සාවුල් රජව ප්‍රතික්ෂේප කර තිබුණු අතර මායා බන්ධන ක්‍රියාද තරයේ හෙළාදුටු නිසයි. ඇත්තෙන්ම සාවුල්ට මඟ පෙන්වීම් ලැබුණේ සාමුවෙල් ලෙස වෙස් ගෙන සිටි භූතයෙකුගෙනුයි.—1 සාමුවෙල් 28:3-20.

භූතයන් ක්‍රියා කරන්නේ දෙවිට විරුද්ධවයි. ඒ නිසා ඔවුන්ගෙන් උපදෙස් පැතීම භයානකයි. බයිබලයේ ඉතා ඍජුව පවසා තිබෙන්නේ මෙයයි. “මායාකාරයන්ගෙන් හෝ ශාස්ත්‍ර කියන්නන්ගෙන් හෝ උපකාර නොපතන්න.” (ලෙවී කතාව 19:31) ඒ වගේම ‘මළවුන්ගෙන් තොරතුරු විචාරන්නන්ව යෙහෝවා දෙවිට පිළිකුලක්.’ (ද්විතීය කතාව 18:11, 12) සාවුල් රජ බොහෝ කාරණාවලදී යෙහෝවා දෙවිට අකීකරු වූ නිසාත් ‘මායාකාරියකගෙන් උපකාර පැතූ’ නිසාත් දෙවි ඔහුගේ ජීවිතය ආරක්ෂා කළේ නැහැ.—1 ලේකම් 10:13, 14.

ඔබ අසරණ වී සිටින මොහොතක උපකාර පැතීමට කෙනෙක් සිටිනවාද? ඔව්! ඒ යෙහෝවා දෙවියි. බයිබලයේ ඔහුව හඳුන්වා තිබෙන්නේ “උදාර උපදේශකයාණන්” කියායි. ඔබත් ඔබේ පවුලේ අයත් දෙවිගේ මඟ පෙන්වීම් අඩංගු බයිබලයේ ඇති උපදෙස් පිළිපදිනවා නම් “ඔබට පිටුපසින් මෙසේ කියන හඬක් ඇසෙයි. ‘ජනයෙනි, යා යුතු හරි මඟ මම ඔබට පෙන්වන්නෙමි. ඒ මාර්ගයේ ගමන් කරන්න.’” (යෙසායා 30:20, 21) අද දින යෙහෝවා දෙවිට නමස්කාර කරන්නන්ට වචනානුසාරයෙන්ම දෙවිගේ හඬ ඇසෙන්නේ නැහැ. නමුත් දෙවිට හැකියි ඔහුගේ වචනය අඩංගු බයිබලයේ ඇති උපදෙස් මාර්ගයෙන් ඔබට මඟ පෙන්වීම් ලබා දෙන්න. එය හරියට ‘ඔබට මඟ පෙන්වන්න මට ඉඩ දෙන්න’ කියනවා හා සමානයි.

මේ ගැන ඔබ සිතුවාද?

● මළවුන් සමඟ කතා කිරීම දෙවි සලකන්නේ කෙසේද?—ද්විතීය කතාව 18:9-13.

● ජීවත්ව සිටින අයට උපදෙස් දෙන්න මළවුන්ට හැකිද? ඔබ එසේ පවසන්නේ ඇයි?—දේශනාකාරයා 9:5.

● මඟ පෙන්වීම් පතා අප යා යුත්තේ කා ළඟටද?—යෙසායා 30:20, 21.