Skip to content

පටුනට යන්න

බතික් ඉන්දුනීසියාවේ සංස්කෘතික උරුමයක්

බතික් ඉන්දුනීසියාවේ සංස්කෘතික උරුමයක්

බතික් ඉන්දුනීසියාවේ සංස්කෘතික උරුමයක්

බතික් කලාව ඉපැරණි එකක් වුණත් එදා මෙන් අදත් එය ජනප්‍රියයි. ඒවායේ වර්ණ හා මෝස්තර එකිනෙකට වෙනස්. සමාජයේ ඕනෑම තරාතිරමක සිටින අය බතික් මෝස්තරවලට ප්‍රිය කරනවා. බතික් මෝස්තරයක් නිර්මාණය කරන්නේ කොහොමද? එය ආරම්භ වූයේ කවදාද? අද එය කොතරම් ජනප්‍රියද?

බතික් මෝස්තර නිර්මාණය කිරීමේදී ඒ සඳහා සායම් යොදන්නේ විශේෂිත ක්‍රමයකටයි. ඉන්දුනීසියානු ජාතිකයන්ගේ සංස්කෘතිය තුළ බතික් කලාවට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්. එසේවුවත් ලෝකයේ බොහෝ තැන්වලත් බතික් නිර්මාණ දකින්න ලැබෙනවා. ඒත් මේ ලිපියේ කතා කරන්නේ ඉන්දුනීසියාවේ බතික් කලාව පිළිබඳවයි.

මෝස්තරයක් නිර්මාණය කිරීම

මෝස්තර නිර්මාණ ශිල්පියෙක් උණු කරගත් ඉටි, කුඩා තඹ උපකරණයක් ආධාරයෙන් රෙදි මත මෝස්තරයක් අඳියි. ඉටි වේළුණු පසු එම රෙදි සායම්වල දමා වර්ණ ගන්වයි. ඉටි තැවරුණු ස්ථානවලට සායම් උරාගන්නේ නැහැ. වර්ණ කිහිපයකින් යුත් මෝස්තරයක් නිර්මාණය කිරීමට මෙම ක්‍රියාවලිය කිහිප විටක් කිරීමට සිදු වෙයි.

දහනව වන සියවසේ මැදභාගයේදී බතික් මෝස්තර නිර්මාණ ශිල්පීන් රෙදි මත මෝස්තර නිර්මාණය කළේ තඹවලින් තැනූ ඉටි තැවරූ අච්චුවක් ආධාරයෙනුයි. එය අතින් මෝස්තර නිර්මාණය කිරීමට වඩා පහසු ක්‍රමයක්. නමුත් විසිවන සියවස වන විට බතික් මෝස්තර නිර්මාණය කිරීමට කර්මාන්ත ශාලාවල ස්ක්‍රීන් මුද්‍රණ (screen print) ක්‍රමය යොදාගැනුණා. කෙසේවෙතත් අතින් කරන බතික් නිර්මාණ තවමත් ලබාගත හැකියි. නමුත් වෙළඳපොළේ වැඩිපුරම දක්නට තිබෙන්නේ ස්ක්‍රීන් මුද්‍රණ ක්‍රමයට සැකසූ බතික් රෙදිපිළියි.

බතික් කිරීම සඳහා බොහෝවිට යොදාගැනෙන්නේ කපු හෝ සිල්ක් රෙදියි. සායම් සාදාගැනීමට ගස්වල කොළ, පොතු, ලී වැනි දේ භාවිත කරන අතර කෘත්‍රිම සායම්ද යොදාගනියි. ඉටි භාවිතය හඳුන්වා දීමට පෙර මෝස්තර ඇඳීම සඳහා යොදාගත්තේ සත්ව මේදය හා මැටියි. දැන් බොහෝවිට භාවිත කරනු ලබන්නේ පැරෆින් ඉටි සහ මීඉටිවල මිශ්‍රණයක්.

හැමදාටම පවතින කලාවක්

මෙය ආරම්භ වුණේ කවදාද, කොහෙන්ද කියා කවුරුත් දන්නේ නැහැ. කෙසේවෙතත් හයවෙනි සියවසට අයත් බතික් රෙදි කැබලි කිහිපයක් චීනයෙන් සොයාගෙන තිබෙනවා. ඉන්දුනීසියාවට බතික් කලාව පැමිණියේ කවදාද කියා ස්ථිරවම නොදන්නවා වුණත් තිබෙන සාක්ෂිවලින් පෙනී යන්නේ 17වන සියවස වන විට එහි බතික් කලාව තිබුණු බවයි.

පසුගිය දශක කිහිපයක සිට බතික් කලාවට ඉන්දුනීසියාව විශාල ප්‍රසිද්ධියක් උසුලනවා. බොහෝදෙනෙකුට ඉන්දුනීසියාව ගැන කියූ පමණින් මතකයට එන්නේ එහි බතික් කලාවයි. එහි බතික් කලාවට දිගු ඉතිහාසයක් තිබෙන නිසා 2009දී යුනෙස්කෝ සංවිධානය විසින් එය සංස්කෘතික උරුමයක් ලෙස නම් කළා.

බතික් ඇඳුම්

ඉන්දුනීසියාවේ බතික් කලාවට ඔවුන්ගේ මිථ්‍යා විශ්වාසයන්ද එක් කර තිබෙනවා. ඒ රටේ එක් එක් පළාතට අනුව බතික් සඳහා යොදාගන්නා වර්ණ හා මෝස්තර වෙනස්. උදාහරණයකට ජාවාහි උතුරු වෙරළ තීරයට අයත් ප්‍රදේශවල යොදාගන්නේ තද වර්ණ වන අතර මෝස්තර සඳහා මල්, කුරුල්ලන් සහ සතුන් වැනි රූප යොදාගන්නවා. නමුත් ජාවාහි මධ්‍යම ප්‍රදේශවල නිපදවෙන බතික් සඳහා යොදාගන්නේ ලා පැහැති වර්ණ සහ රේඛා මෝස්තරයි. මෙවැනි බතික් මෝස්තර 3,000ක් පමණ තිබෙනවා.

ඉන්දුනීසියානු කාන්තාවන් බතික් සළුවක් පැළඳීම සාමාන්‍යයි. එම සළුව දරුවාව රැගෙන යෑමට සහ වෙළඳපොළෙන් මිල දී ගන්නා බඩු දමාගැනීමටද යොදාගනියි. ඒ වගේම තදින් හිරු පායා ඇති දිනවලදී හිස වසාගැනීමටත් මෙම සළුව ප්‍රයෝජනවත්.

පුරුෂයන්ගේ ජාතික ඇඳුමට අයිති අංගයක් වන තලප්පාව බොහෝදුරට නිම වෙන්නේ බතික් රෙද්දෙන්. එය ඔවුන් පළඳින්නේ උත්සව අවස්ථාවලදී පමණයි.

බතික් සරමද ඉන්දුනීසියාවේ ජනප්‍රිය ඇඳුමක්. කාන්තාවන්ද සරම හා සමාන ඇඳුමක් අඳිනවා.

එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ගමන්බිමන් සඳහාත් උත්සව අවස්ථාවලටත් බතික්වලින් නිමැවුණු ඇඳුම් අඳිනවා. ඒ විතරක් නොව බිත්ති සැරසිලි, මේස රෙදි, ඇඳ ඇතිරිලි වැනි දේවල්ද බතික් රෙදිවලින් නිර්මාණය කරනවා. ඉන්දුනීසියාවේ වෙළෙඳපොළට යන කෙනෙකුට බතික් මෝස්තර යෙදූ බෑග්, සෙරෙප්පු, ලැප්ටොප් කවර වැනි දේවල් දැකගත හැකියි. තවත් බොහෝ දේ බතික්වලින් නිර්මාණය කරයි. ඇත්තෙන්ම බතික් අපූරු කලාවක්.

[23වන පිටුවේ පින්තූරය]

උණු කළ ඉටිවලින් මෝස්තර ඇඳීම සඳහා යොදාගන්නා උපකරණය

[23වන පිටුවේ පින්තූරය]

වර්ණ යෙදීම

[23වන පිටුවේ පින්තූර]

බතික් ඇඳුම්

1. සළුව

2. තලප්පාව

3. සරමක් වැනි ඇඳුම