Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 2වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 2වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 2වෙනි කොටස

බැබිලෝනියෙන් පිට වෙන්න!

පිබිදෙව්! සඟරාවේ පළ වන කොටස් අටකින් යුත් මෙම ලිපි පෙළෙන් සාකච්ඡා කරනු ලබන්නේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මතු දැක්වෙන ප්‍රශ්නවලට ඔබට පිළිතුරු ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියැවුණේ මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවට අනුවද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

කලින් ලිපියේ ආබ්‍රහම්ගේ පෙළපතින් පැවතෙන අය ගැන බයිබලයේ සඳහන් අනාවැකි තුනක් අපි සලකා බැලුවෙමු. එම අනාවැකි දෙවි ඉටු කළේ ආබ්‍රහම්ගේ පෙළපතින් පැමිණි ඊශ්‍රායෙල් ජාතිය තුළින්ය. ඒ බවට සාක්ෂි තිබේ.

බයිබලයේ සඳහන් ඉතිහාසයෙහි තවත් කැපීපෙනෙන ජාතියක් වන්නේ ක්‍රිස්තු පූර්ව හත්වන සියවසෙහි විසූ බැබිලෝනිවරුන්ය. ඔවුන් සම්බන්ධයෙන් කියැවුණු අනාවැකි තුනක් සලකා බලමු.

අනාගතවක්තෘ මෝසෙස්, ඊශ්‍රායෙල් ජාතියට දුන් අනතුරු ඇඟවීම මෙයයි. “ඔබ ඔබේ දෙවි වන යෙහෝවාව අමතක කර වෙනත් දෙවිවරුන් පසුපස ගොස් ඔවුන් ඉදිරියේ වැඳ වැටී ඔවුන්ට නමස්කාර කරන්න පටන්ගත්තොත් ඔබ සියලුදෙනාම අනිවාර්යයෙන්ම විනාශ වෙනවා.” (ද්විතීය කතාව 8:19; 11:8, 9) එවැනි අනතුරු ඇඟවීමක් දී තිබියදීත් ඊශ්‍රායෙල් ජාතිය දිගින් දිගටම දෙවිට අකීකරු වී රූප නමස්කාරයේ යෙදුණෝය.—1 රාජාවලිය 14:22-24.

එසේ දෙවිට අකීකරු වීම නිසා බැබිලෝනිවරුන් අතින් ඊශ්‍රායෙල්වරුන්ව පරාජය වීමට ඔහු ඉඩහැරියේය. බැබිලෝනියේ නෙබුකද්නෙෂර් රජුගේ හමුදාව විසින් යෙරුසලම වටලන ලදි. (ඔහුව නෙබුකද්රෙෂර් ලෙසත් හඳුන්වයි.) මෙම වැටලීම සුවිශේෂී සිදුවීමකි. එම සිදුවීමට වසර 20කට පමණ පෙර අනාගතවක්තෘ යෙරෙමියා ලියූ දෙයක් සලකා බලමු.—යෙරෙමියා 25:1.

1වෙනි අනාවැකිය: ‘ඔබ [එනම් ඊශ්‍රායෙල් ජාතිය] මට [එනම් දෙවිට] අකීකරු වූ නිසා බැබිලෝනියේ රජු වන නෙබුකද්රෙෂර්ට පණිවිඩයක් යවා ගෙන්වාගන්නෙමි. මා එසේ කරන්නේ මේ දේශයටත් එහි සියන්ටත් විරුද්ධව ඔවුන් [එනම් බැබිලෝනිවරුන්] ක්‍රියා කරන පිණිසය. මුළු දේශයම පාළුවට යන්නේය. සියලුදෙනා එදෙස පුදුමයෙන් බලනු ඇත. මේ ජාතීන්ට වසර හැත්තෑවක් පුරා බැබිලෝනියේ රජුට සේවය කිරීමට සිදු වනු ඇත.’—යෙරෙමියා 25:8-11.

ඉටු වීම: නෙබුකද්නෙෂර් රජ යෙරුසලම වටලා එය තම පාලනයට නතු කරගත්තේ ක්‍රි.පූ. 607දීය. ඉන්පසුව ඔහු ලාකිෂ් හා අෂේකා නගර ඇතුළු යූදා දේශයේ තවත් නගරවල තම බලය තහවුරු කරගත්තේය. (යෙරෙමියා 34:6, 7) ඔහු ඒ නගරවල ඉතිරි වූ බොහෝදෙනෙකුව බැබිලෝනියේ වහලුන් ලෙස ගෙන ගිය අතර ඔවුන්ට වසර 70ක් පුරා එහි වහලුන් ලෙස සිටීමට සිදු විය.

ඉතිහාසයෙන් සාක්ෂි:

● යෙරුසලම විනාශ වන කාලයේදී බැබිලෝනිය පාලනය කරමින් සිටියේ නෙබුකද්නෙෂර් රජ බව බයිබලයේ සඳහන් වේ. එවැනි කෙනෙකු සිටි බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි තිබේ. ඉතාලියේ ෆ්ලෝරන්ස්හි තිබෙන ඔනික්ස් ගල්වලින් තැනූ පදක්කම එවැනි සාක්ෂියකි. එහි “මෙරොදක් දෙවියාට ගෞරවය කිරීම වශයෙන් බැබිලෝනියේ රජු වූ නෙබුකද්නෙෂර් විසින් තනවන ලදි” කියා සඳහන් වේ. නෙබුකද්නෙෂර් රජ පාලනය කළේ ක්‍රි.පූ. 624 සිට ක්‍රි.පූ. 582 දක්වා කාලයේදීය.

● ලාකිෂ් නගරයේ සිදු කළ කැණීම්වලදී සොයාගත් සාක්ෂි පිළිබඳව එක් පොතක මෙසේ සඳහන් වේ. “[ලාකිෂ්] නගරයට අවසාන වතාවට සිදු වූ විනාශය ඉතාමත් දරුණුයි. හුණු ගල්වලින් තැණූ ගොඩනැඟිලි ගින්නට හසු වීම නිසා හුණු ගොඩක් බවට පත් වී ඇත.”—The Bible and Archaeology.

2වෙනි අනාවැකිය: “බැබිලෝනියේ ජීවත් වීමට නියම කර ඇති අවුරුදු හැත්තෑව සම්පූර්ණ වූ විට මම [එනම් යෙහෝවා දෙවි] ඔබව [එනම් වහල්භාවයේ සිටි යුදෙව්වන්ව] සිහි කරන්නෙමි. ඔබේ මව්බිමට [එනම් යූදා දේශයට] ඔබව නැවත රැගෙන එන බවට මා දුන් පොරොන්දුව එදාට ඉෂ්ට කරන්නෙමි.”—යෙරෙමියා 29:10.

ඉටු වීම: යෙරුසලමට ගොස් එහි දේවමාලිගාව ගොඩනැඟීමට පර්සියාවේ සයිරස් රජ විසින් යුදෙව්වන්ට අවසර දෙන ලදි. ඒත් සමඟම ඔවුන් වසර 70ක් (එනම් ක්‍රි.පූ. 607 සිට ක්‍රි.පූ. 537 දක්වා) පුරා වහලුන් ලෙස සිටි කාලය අවසන් විය.—එස්රා 1:2-4.

ඉතිහාසයෙන් සාක්ෂි:

● බයිබලයේ සඳහන් වන ලෙස ඊශ්‍රායෙල්වරු වසර 70ක් පුරා බැබිලෝනියේ වහලුන් ලෙස සිටියාද? පුරාවිද්‍යාඥයෙක් වන එෆ්‍රායිම් ස්ටර්න් පවසන දේ බලමු. “ක්‍රි.පූ. 604 සිට ක්‍රි.පූ. 538 දක්වා කාලය තුළ ඊශ්‍රායෙලයට අයත් දේශවල කිසිවෙක් වාසය කළ බවට සාක්ෂි නැත. ඒ කාලය පුරා බැබිලෝනිවරුන් විනාශ කළ නගර එකකවත් නැවත කිසිවෙකුත් පැමිණ පදිංචි වී නැත.” එම කාලය තුළ ඊශ්‍රායෙල්වරුන් සිටියේ බැබිලෝනියේ වහලුන් ලෙසය.—2 ලේකම් 36:20, 21.

● මෙසපොතේමියාවේ විසූ වැසියන් තොරතුරු වාර්තා කළේ මැටි පුවරුවලය. එවැනි එක් මැටි සිලින්ඩරයක් සොයාගනු ලැබූ අතර එය ක්‍රි.පූ. 539ට ආසන්න කාලයකට අයත් එකක් බව සැලකේ. පර්සියාවේ රජ වූ සයිරස් විසින් බැබිලෝනි අධිරාජ්‍යය විනාශ කළෙත් එම වසරේදීය. එක් මැටි පුවරුවක මෙසේ සඳහන් වේ. ‘මගේ නම සයිරස්. බැබිලෝනියේ රජ මමය. කාලයක් පුරා නටබුන්ව තිබූ ටයිග්‍රීස් ගඟෙන් එගොඩ පිහිටි ශුද්ධ භූමියට අයත් රූප නැවත භාර දුන්නෙමි. විසිර ගොස් සිටි එහි වැසියන්ව එක්කාසු කර නැවත මම ඔවුන්ගේ ගම්බ්ම්වල පදිංචි කළෙමි.’

වහල්භාවයේ සිටි යුදෙව්වන් නැවතත් තම මව්බිම කරා පැමිණෙන බවට පුරෝකථනය කර තිබූ අනාවැකියේ නිරවද්‍යතාව, සොයාගත් එම මැටි පුවරුවෙන් සනාථ වේ. බයිබලයේ එම අනාවැකිය පවසා තිබුණේ එය සිදු වීමට වසර 200කට පමණ පෙරය.

3වෙනි අනාවැකිය: “අන් සියලු රාජ්‍යයන්ට වඩා අලංකාර වූ, කල්දිවරුන්ගේ මහත් ආඩම්බරයට හේතු වූ ඔවුන්ගේ තේජස වන බැබිලෝනියට සිදු වන්නේ මා සොදොම් සහ ගොමෝරාව යන නුවරවලට සිදු කළ දේමයි. නැවත කෙදිනකවත් කිසි කෙනෙකුට බැබිලෝනියේ ජීවත් වෙන්න ලැබෙන්නේ නැත.”—යෙසායා 13:19, 20.

ඉටු වීම: ක්‍රිස්තු පූර්ව 539දී බලවත් බැබිලෝනි අධිරාජ්‍යය, මේදියාව * හා පර්සියාවට පරාජය වුණේ නොසිතූ ලෙසය. බැබිලෝනියට අත් වූ විනාශයෙන් පසු එම නගරය කිසි දින පෙර තිබූ තත්වයට පත් වූයේ නැත. කාලයාගේ ඇවෑමෙන් එය “මනුෂ්‍ය වාසයක් නැති” දේශයක් බවට විය.—යෙරෙමියා 51:37.

ඉතිහාසයෙන් සාක්ෂි:

● බැබිලෝනි නගරය මුළුමනින්ම තුරන් වී ගිය බව විශාරදයෙක් වන ටොම් බෝයි පැවසූ දෙයින් පැහැදිලි වේ. “දහසය වන සියවසේ සිට දහඅට වන සියවස අතර කාලයේ විදේශ රටවලින් ආ ඉතිහාසඥයන් සහ සංචාරකයන් ඓතිහාසික නගරයක් වූ බැබිලෝනිය ගැන දැන සිටියා.” නමුත් “එම නගරය පිහිටා තිබූ නිශ්චිත ස්ථානය” ඔවුන්ට සොයාගැනීමට බැරි විය.

● ඊජිප්තුවේ හා ඇසිරියාවේ පුරාවස්තු තිබෙන බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ සේවයේ නියුතු එච්. ආර්. හෝල් 1919දී බැබිලෝනි නගරය විස්තර කළේ ‘කැඩී බිඳී ගිය ගොඩනැඟිලිවල සුන්බුන් පමණක්’ ඉතුරු වූ නගරයක් ලෙසය.

මෙම අනාවැකිවල ඉටු වීම සම්බන්ධයෙන් අප කළ සාකච්ඡාවේ අවසාන නිගමනය කුමක්ද? එනම් බයිබලයේ ඇති අනාවැකිවල නිරවද්‍යතාවයි. බැබිලෝනිය හා යූදා දේශය සම්බන්ධයෙන් පැවසූ අනාවැකි එලෙසින්ම ඉටු විය.

යෙරුසලම විනාශ වූයේ එහි වැසියන් දෙවිට අකීකරු වූ නිසාය. දෙවි පැවසූ ලෙස ඊශ්‍රායෙල් ජාතිය වසර 70ක් පුරා බැබිලෝනියේ වහල්භාවයේ සිටීමෙන් පසු නැවතත් තම මව්බිමට ඒමට ඔවුන්ට හැකි විය. අනාවැකිවල සඳහන් වූ ලෙසම පුරාණ බැබිලෝනි නගරය විනාශ වූ අතර තවමත් ජනශුන්‍ය තත්වයේ පවතියි. මේවා බයිබලයේ සඳහන් අනාවැකිවලින් කිහිපයක් පමණි.

අපගේ මීළඟ කලාපයේ සාකච්ඡා කරනු ලබන්නේ පළමු ශතවර්ෂයේදී ඉටු වන බවට පැවසූ අනාවැකි පිළිබඳවය. එමගින්ද බයිබලයේ නිරවද්‍යතාව අපට තහවුරු වේ.

[පාදසටහන]

^ 20 ඡේ. බැබිලෝනිය පරාජය කිරීමේදී පෙරමුණ ගන්නේ ඔවුන් බව යෙසායා පුරෝකථනය කළේ වසර 200කට පමණ පෙරයි.—යෙසායා 13:17-19; 21:2 බලන්න.

[13, 12වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

බැබිලෝනිය හා සම්බන්ධ සිදුවීම්

බැබිලෝනිය

පරාජය වන බව යෙසායා

පුරෝකථනය කළේ ක්‍රි.පූ. 732දී පමණ

(ක්‍රි.පූ.)

647 යෙරෙමියා අනාගතවක්තෘවරයෙක්

ලෙස පැවරුම් ලබයි

632 බැබිලෝනිය විසින්

ඇසිරියාව පරාජය කරයි

625 නෙබුකද්නෙෂර් රජ

පාලනය අරඹයි

617 දානියෙල්ව සහ එසකියෙල්ව

බැබිලෝනියට ගෙන යයි

607 නෙබුකද්නෙෂර් රජ

යෙරුසලම විනාශ කරයි යුදෙව්වන් වසර 70ක්

බැබිලෝනියේ වහලුන්

ලෙස සිටියි

582 නෙබුකද්නෙෂර් රජගේ

පාලනය අවසන් වෙයි

539 මේදියවරුන්

හා පර්සියානුවන්

බැබිලෝනිය අත් පත් කරගනියි

537 යුදෙව්වන්ට

නැවත යෙරුසලමට

යෑමට අවසර ලැබෙයි

[12වන පිටුවේ පින්තූරය]

යූදා දේශයේ පරාජය ගැන යෙරෙමියා පැවසූ අනාවැකියේ නිරවද්‍යතාව සනාථ කරන ලාකිෂ්හි ලියවිල්ලක්

[13වන පිටුවේ පින්තූරය]

වහලුන්ව නිදහස් කිරීම, සයිරස් රජුගේ ප්‍රතිපත්තියක් බව පෙන්වන සිලින්ඩරාකාර මැටි ලියවිල්ල

[13වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Page 12, Lachish Letter: Photograph taken by courtesy of the British Museum; page 13, Cyrus Cylinder: © The Trustees of the British Museum