Skip to content

පටුනට යන්න

යුරෝපා කුසලානය 2012

යුරෝපා කුසලානය 2012

යුරෝපා කුසලානය 2012

ඔබ පාපන්දු ක්‍රීඩකයෙක් හෝ එම ක්‍රීඩාව නරඹන කෙනෙක් නම් මේ ලිපිය කියවීමෙන් ඔබ මහත් සතුටක් ලබන බව නිසැකයි. යුරෝපා පාපන්දු සම්මේලනය (UEFA) මගින් පවත්වනු ලබන 2012 යුරෝපා කුසලානය ගැන ඔබ මේ වෙන විටත් අසා ඇති. මෙම තරඟාවලිය ජූනි 8වෙනිදා පෝලන්තයේ වෝර්සෝ නගරයෙන් ආරම්භ වන අතර අවසාන මහා තරඟය පවත්වනු ලබන්නේ ජූලි 1වෙනිදා යුක්රේනයේ කීව් නගරයේයි. යුරෝපා කුසලානය පිළිබඳ තොරතුරුත් මෙම තරඟාවලිය සුවිශේෂී එකක් වන්නේ ඇයි කියාත් දැන් අපි සලකා බලමු.

වාර්තාවක් තැබීමට උත්සාහයක්

වර්ෂ 1960 සිට සෑම වසර හතරකට වරක් යුරෝපා කුසලානය සඳහා තරඟ පැවැත්වෙනවා. එදා සිට සත්කාරක රටවල් ලෙස ක්‍රියා කළ රටවල් කිහිපයක් නම් ඉතාලිය, එංගලන්තය, ඔස්ට්‍රියාව, ජර්මනිය, නෙදර්ලන්තය, ප්‍රංශය, පෘතුගාලය, බෙල්ජියම, යුගෝස්ලාවියාව, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය සහ ස්වීඩනයයි.

මේ වසරේදී අවසාන මහා තරඟය සඳහා සත්කාරක රටවල් දෙක වන්නේ පෝලන්තය සහ යුක්රේනයයි. පෝලන්තයේ මෙම තරඟ පැවැත්වෙන්නේ ගඩාන්ස්ක්, පොස්නෑන්, වෝර්සෝ සහ ව්‍රොක්ලොව් යන නගරවලයි. ඒ වගේම යුක්රේනයේ තරඟ පැවැත්වෙන්නේ කාර්කිව්, කීව්, ඩොනෙට්ස්ක් සහ ලවිව් යන නගරවලයි.

“සත්කාරක රටවල් දෙකක් එකතු වී අවසාන මහා තරගය පවත්වන තුන්වෙනි අවස්ථාව මෙයයි” කියා UEFA පවසයි. (කලින් අවස්ථා දෙක නම් 2000දී බෙල්ජියම හා නෙදර්ලන්තය, 2008දී ඔස්ට්‍රියාව හා ස්විට්සර්ලන්තයි.) මෙවර පවත්වන යුරෝපා කුසලානය සුවිශේෂී එකක් වන්නේ සත්කාරක රටවල් දෙකක් එකතු වී සංවිධානය කිරීම නිසා පමණක් නොව එය පළමු වතාවට මධ්‍යම යුරෝපයේ හා නැඟෙනහිර යුරෝපයේ පැවැත්වීමයි. ඒ නිසා ඉතිහාසගත වාර්තාවක් තබමු යන අදහස ඇති තේමා පාඨයක් මේ වසර සඳහා ඔවුන් තෝරාගෙන තිබෙනවා.

සූදානම් වීම

තරඟාවලියක් පැවැත්වීමේදී සත්කාරක රටවල සංවිධායකවරු විසින් මූලික අවධානය දෙන්නේ ක්‍රීඩාංගණයටයි. මේ සඳහා පොස්නෑන් සහ කාර්කිව්වල ක්‍රීඩාංගණ අලුත්වැඩියා කර තිබෙන අතර අනික් නගර හයේ නව ක්‍රීඩාංගණ ඉදි කර තිබෙනවා. මෙම ක්‍රීඩාංගණවල 3,58,000කට තරඟය නැරඹිය හැකියි.

ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් පැමිණෙන නිසා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා යම් පියවර ගෙන තිබෙනවා. ආරක්ෂක නිලධාරීන් දහස් ගණනකට මේ සඳහා විශේෂ පුහුණුවක් ලබා දෙනවා. ඒ ගැන එක් ආරක්ෂක ආයතනයක් මෙවැනි දෙයක් සඳහන් කළා. ‘ආරක්ෂිත පියවර 140ක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ඒවාට ක්‍රීඩාලෝලීන්ව පාලනය කිරීම, ආරක්ෂිත කලාප වෙන් කිරීම සහ විදේශ ආරක්ෂක කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම වැනි දේ ඇතුළත්.’

මේ තරම් ආරක්ෂිත පියවර ගැනීම අවශ්‍ය වන්නේ ඇයි? මෙවැනි තරඟ පැවැත්වෙන අවස්ථාවලදී ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වීමට ඉඩ තිබෙන නිසයි. ඒ වගේම ක්‍රීඩාලෝලීන් කලහකාරී ලෙස හැසිරීමට ඉඩ තිබීමත් හේතුවක් කියා බලධාරීන් පවසනවා.

සමබර වෙන්න

බොහෝ ක්‍රීඩාලෝලීන් අන්තයට යෑම කනගාටුවට කාරණයක්. එවැනි ක්‍රීඩාලෝලියෙක් පැවසූ දේ සලකා බලන්න. “මම ආස කරන කණ්ඩායම හරියට සෙල්ලම් කරන්නේ නැත්නම් මට ඇති වෙන්නේ ලොකු කලකිරීමක්. න්‍යෂ්ටික යුද්ධයක් එනවා කිව්වත් මම හිතන්නේ සති අන්තයේ තියෙන මැච් එකට මොකද වෙන්නේ කියලයි.”

විනෝදාංශ ගැන සමබර ආකල්පයක් තබාගැනීමට පුරාණ ලියවිල්ලක් වන බයිබලයේ සඳහන් නැණවත් උපදෙස් අපට උපකාරවත් වෙයි. ‘සිනාසෙන්න කාලයක්ද නටන්න කාලයක්ද’ තිබෙනවා කියා එහි සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:1-4) ඉන් පැහැදිලි වන්නේ ජීවිතයට විවිධත්වයක් අවශ්‍ය බවයි. ඒ වුණත් සීමාවක් ඇතුව කටයුතු කරන්න කියාත් බයිබලයේ අපට උපදෙස් දී තිබෙනවා. (1 තිමෝති 3:2, 11) ඒ නිසා අපේ ජීවිතයේ “වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගැනීමට” අප වෑයම් කළ යුතුයි.—ෆිලිප්පි 1:10.

[25වන පිටුවේ කොටුව/පින්තූරය]

දුම්බීම තහනම්!

“යුරෝපා කුසලානය සඳහා තරඟ පැවැත්වෙන සියලුම ක්‍රීඩාංගණවල දුම්පානය කිරීම, දුම්වැටි විකිණීම හෝ ඒ හා සම්බන්ධ ප්‍රචාරණ කටයුතු කිරීම සපුරා තහනම්” කියා 2011 ඔක්තෝබර් 20වෙනිදා UEFA විසින් ප්‍රකාශ කළා. එවැනි තහනමක් තුළින් ඔවුන් බලාපොරොත්තු වන්නේ “ක්‍රීඩාලෝලීන්ගෙත් තරඟයට සම්බන්ධ අන් සියලුදෙනාගෙත් සෞඛ්‍ය ආරක්ෂා කරගැනීමයි” කියා එම සංගමයේ සභාපති වන මයිකල් ප්ලැටිනි සඳහන් කරයි. එම තහනමට සහයෝගය දක්වන යුරෝපා කොමසාරිස්වරියක් වන ඇන්ඩ්‍රෝලා වාසිලියු පවසන්නේ ක්‍රීඩාංගණ තුළ පමණක් නොව ආපන ශාලා හා පොදු ප්‍රවාහණ සේවා තුළ පවා දුම්පානයෙන් වළකින්න කියායි. “පාපන්දු හෝ ඕනෑම ක්‍රීඩාවකින් බලාපොරොත්තු වන්නේ නිරෝගී සෞඛ්‍යයක්. ඒත් දුම්පානයෙන් සිදු වන්නේ සෞඛ්‍යයට හානියක්” කියා ඇය තවදුරටත් පවසයි.

[24වන පිටුවේ සිතියම]

(මුද්‍රිත පිටපත බලන්න)

පෝලන්තය

ගඩාන්ස්ක්

පොස්නෑන්

වෝර්සෝ

ව්‍රොක්ලොව්

යුක්රේනය

ලවිව්

කීව්

කාර්කිව්

ඩොනෙට්ස්ක්

[24වන පිටුවේ පින්තූරය]

2008 යුරෝපා කුසලානය සඳහා ජර්මනිය හා ස්පාඤ්ඤය අතර අවසාන මහා තරඟය පැවැත්වූයේ ඔස්ට්‍රියාවේ වියනා නගරයේයි

[25වන පිටුවේ පින්තූරය]

යුක්රේනයේ කීව් නගරයේ ඔලිම්පික් ක්‍රීඩාංගණය

[25වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

Pages 24 and 25, both photos: Getty Images