සැබෑ ආදරය මට ලැබුණා!
සැබෑ ආදරය මට ලැබුණා!
පැවසුවේ ඉසෙඩියෝ නෙහෙක්බ්‍රි
පුංචි කාලේ මම හැදී වැඩුණේ ආදරය කරුණාව නැති පරිසරයකයි. එදා නොලැබුණු ඒ ආදරය දැන් මට ලැබිලා තියෙනවා. ඒ කොහොමද කියලා මම කියන්නම්.
මම ඉපදුණේ 1976, නැඟෙනහිර ටිමෝරයේ කඳුකර පළාතක පිහිටි පුංචි පැල්පතකයි. අපේ පවුලේ දරුවෝ දහදෙනාගෙන් මම අටවෙනියා. අපි හුඟක් දුප්පත් නිසා මගේ නිවුන් සහෝදරයාව තියාගෙන මාව හදාගන්න ඥාති සහෝදරයෙකුට දුන්නා.
මම ඉපදෙන්න අවුරුද්දකට විතර කලින් ඉන්දුනීසියාව අපේ රට අල්ලගන්න සටන් කළා. අවුරුදු 20කට වඩා වැඩි කාලයක් ඒ ගරිල්ලා සටන් තිබුණා. මගේ තරුණ කාලේ පුරාම මම අද්දැක්කේ ප්‍රචණ්ඩකාරී දේවල්. හුඟක් කටුක අද්දැකීම්වලට මුහුණ දුන්නා. මට තවමත් මතකයි හමුදා භටයන් අපේ ගමට පහර දීපු හැටි. පණ බේරගන්න මමයි මගේ ඥාති සහෝදරයයි ගමේ අනික් අයත් එක්ක එකතු වෙලා කඳුකරයට ගිහින් හැංඟුණා.
ඒත් හමුදාවෙන් අපි ඉන්න තැන හොයාගෙන එක දිගට බෝම්බ දැම්මා. ඒ සිද්ධිය කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. අපි ආයේ ගමට ආවත් ජීවත් වුණේ මර භයෙන්. අපේ ගමේ හුඟක් අය මැරුණා. සමහර අය අතුරුදහන් වුණා.
මට අවුරුදු දහයක් විතර වෙනකොට මගේ ඥාති සහෝදරයා හදිස්සියේම අසනීප වෙලා මැරුණා. පස්සේ මගේ අම්මලා මාව ආච්චි ළඟට යැව්වා. සීයා මැරිලා නිසා ආච්චි ජීවත් වුණේ තනියම. ආච්චි ජීවත් වුණෙත් හුඟක් අමාරුවෙන් නිසා එයාට මාව බරක් වුණා. මාව මරවමරවා වැඩ ගත්තා. දවසක් මං අසනීපෙන් ඉන්නකොටත් වැඩ කරන්න කියලා ගහලා මාව පැත්තකට දැම්මා. හොඳ වෙලාවට මගේ ඥාති මාමා කෙනෙක් ඇවිල්ලා මාව එයාගේ ගෙදරට එක්කං ගියේ.
මම ඉස්කෝලේ යන්න පටන්ගත්තේ අවුරුදු 12දී. ඒත් එක්කම වගේ නැන්දා ලෙඩ වුණා. මාමත් හුඟක් කලකිරුණා. මම හිටියොත් එයාලට තවත් බරක් වෙන නිසා මම ගෙදරින් පැනලා ගිහිං කැලේ හැංගිලා හිටපු ඉන්දුනීසියානු හමුදා කණ්ඩායමකට එකතු වුණා. කෑම ඉව්වේ, රෙදි හේදුවේ, කඳවුර අස්පස් කළේ මමයි. එයාලා මට හොඳට සැලකුවා. ඒත් මාස කිහිපයක් යද්දී මගේ නෑයෝ මාව හොයාගත්තා. ඊටපස්සේ මාව ගෙදර යවන්න කියලා හමුදාවේ අයට බල කළා.
විප්ලවලට හවුල් වෙමින්
මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන්න නැඟෙනහිර ටිමෝරයේ ඩිලි නගරයට ගියා. මං වගේම දුක් කරදරවලට මුහුණ දීපු තරුණයන්ව එහේදී මට හම්බවුණා. අපේ
රටට නිදහස ලබාගන්නත් සමාජයේ යම් වෙනසක් කරන්නත් පුළුවන් වෙන්නේ දේශපාලනයට සම්බන්ධ වුණොත් විතරයි කියලා අපි හිතුවා. ඒ නිසා අපි කණ්ඩායමක් එකතුවෙලා විරෝධතා රැලි සංවිධානය කෙරුවා. ඒවායින් වැඩිහරියක් අවසන් වුණේ ගැටුම්වලින්. මගේ යාළුවෝ හුඟක් තුවාල වුණා. සමහර අය මැරුණා.අපේ රටට 2002දී නිදහස ලැබෙනකොට මුළු රටම විනාශ වෙලා ඉවරයි. දහස් ගණනකගේ ජීවිත නැති වුණා. හුඟදෙනෙක්ට උන්හිටි තැන් පවා නැති වුණා. මං හිතුවේ මේ තත්වය ඉක්මනින්ම වෙනස් වෙයි කියලයි. ඒත් රැකියා ප්‍රශ්නය, දුප්පත්කම, දේශපාලන ගැටුම් අවසන් වුණේ නැහැ.
සැබෑ වෙනසක්
ඒ දවස්වල මම හිටියේ නෑ කෙනෙක්ගේ ගෙදර. එහේ තවත් ඥාති මල්ලි කෙනෙක් හිටියා. එයාගේ නම ඔන්ඩ්‍රේ. ඒ වෙනකොට එයා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරනවා. මම තද කතෝලිකයෙක් නිසා ඔන්ඩ්‍රේ වෙන ආගමක් අදහනවට මම කැමති වුණේ නැහැ. ඒත් බයිබලයේ තියෙන දේවල් දැනගන්න ආසාවක් තිබ්බ නිසා ඉඳලා හිටලා මම එයාගේ බයිබලය කියෙව්වා. එහෙම කියවද්දී මට ඒ ගැන තිබ්බ ආසාව තවත් වැඩි වුණා.
දවසක් ඔන්ඩ්‍රේ මට යේසුස්ගේ මරණය සිහි කිරීමට එන්න කියලා ආරාධනා පත්‍රිකාවක් දුන්නා. ඒ 2004දී. මම හරියට ඒක පවත්වන වෙලාව බලන්නේ නැතුව එතැනට ගිහින් තිබුණේ පැය දෙකකට කලින්. අපේ රටේ වගේම වෙන රටවලිනුත් ඇවිත් හිටපු සාක්ෂිකරුවන් මාව ආදරයෙන් පිළිගත්තා. ඒගොල්ලන් මට සලකපු විදිහ මගේ හිතට කාවැදුණා. එදා ඒ කතාවේ කියපු බයිබල් පද ඔක්කොම මම ලියාගත්තා. මට ඕනේ වුණේ ඒ බයිබල් පද මගේ කතෝලික බයිබලයෙත් තියෙනවද කියලා බලන්නයි. ඒවා ඒ විදිහටම මගේ බයිබලයෙත් තිබුණා.
ඊළඟ සතියේ මම පල්ලියට ගියා. මමයි තවත් කිහිපදෙනෙකුයි පූජාවට යනකොට ටිකක් පරක්කුයි. පූජකයා පොල්ලක් අරගෙන තරහෙන් අපිව එළෙව්වා. අපි පූජාව ඇහුවේ එළියේ ඉඳන්. පූජාව අවසානයේදී “යේසුස්ගේ සමාදානය ඔබ සමඟ වේවා” කියලා පූජකයා කියද්දීම සභාවේ හිටපු ගැහැනු කෙනෙක් මෙහෙම ඇහුවා. “ඔයා අරගොල්ලන්ව එළවලා කොහොමද දැන් සමාදානය ගැන කතා කරන්නේ?” පූජකයා ඇහුණේ නැති ගානට හිටියා. එදායින් පස්සේ මම කවදාවත් පල්ලි ගියේ නැහැ.
ඊටපස්සේ මම බයිබලය ඉගෙනගන්න පටන් අරන් ඔන්ඩ්‍රේත් එක්ක රැස්වීම් ගියා. ඒත් අපේ නෑදෑයෝ නම් ඒකට කැමති වුණේ නැහැ. දවසක් ඔන්ඩ්‍රේගේ ආච්චි මෙහෙම කිව්වා. “මේ අලුත් ආගම අතහැරියේ නැත්නම් මම ඔය දෙන්නවම පණ පිටින් වළලනවා.” ඒත් අපි භය වුණේ නැහැ.
ජීවිතය වෙනස් වුණා
ඇත්තටම ආදරය කියන්නේ මොකක්ද කියලා මම දැනගත්තේ බයිබලය ඉගෙනගත්තට පස්සෙයි. මම කාවවත් විශ්වාස කළේ නැහැ. ඒ වගේම මට කිසි කෙනෙක් ගැන ආදරයක් අනුකම්පාවක් තිබුණෙත් නැහැ. ඒත් සාක්ෂිකරුවන් මට කරුණාවෙන් සැලකුවා. මම හොඳටම අසනීප වෙච්ච වෙලාවක මගේ නෑයෝ මාව බලන්න ආවේ නැහැ. ඒ වෙලාවේ මාව බලාගත්තේ සාක්ෂිකරුවන්. එයාලගේ “ප්‍රේමය වචනවලට” විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි.—1 යොහන් 3:18.
මට අහිංසක පෙනුමක්වත් ඒ තරම් හොඳ ගතිගුණවත් තිබුණේ නැති වුණාට සාක්ෂිකරුවන් මට කරුණාවෙන් සැලකුවා. (1 පේතෘස් 3:8) අනික් අයගේ ආදරය මට ලැබුණේ ජීවිතයේ පළවෙනි වතාවටයි. මම දෙවිටත් අනික් අයටත් ආදරය කරන්න පටන්ගත්තා. මම 2004දී බව්තීස්ම වුණා. ටික දවසකට පස්සේ ඔන්ඩ්‍රේත් බව්තීස්ම වුණා.
පීඩා මැද සතුටින්
මම අද්දැක්ක ආදරය අනික් මිනිස්සුන්ටත් ලබා දෙන්න මට ලොකු ආසාවක් ඇති වුණා. ඒ නිසා මම බව්තීස්ම වුණාට පස්සේ පූර්ණකාලීනව දෙවිට සේවය කරන්න පටන්ගත්තා. මිනිස්සුන්ට බයිබලයේ තියෙන පණිවිඩය කියා දෙන එකෙන් මට ලොකු සතුටක් ලැබෙනවා. ඒ සතුට දේශපාලන උද්ඝෝෂණවලට සහභාගි වීමෙන් ලැබුණේ නැහැ.
ආයෙත් 2006දී අපේ රටේ දේශපාලන අරගල පටන්ගත්තා. හුඟ කාලයක් පුරා තිබුණු අසාධාරණකම් නිසා බෙදුම්වාදී කණ්ඩායම් සටන් කළා. ඒ කණ්ඩායම් ඩිලි නගරය වැටලුව නිසා අපිට එතනින් පලා යන්න සිදු වුණා. මම අනික් සාක්ෂිකරුවන් එක්ක ඩිලි නගරයේ නැඟෙනහිර පැත්තට වෙන්න පිහිටා තිබුණු බව්කව් නගරයට ගියා. අපිට පුළුවන් වුණා ඩිලි නගරයෙන් පිට මුල්ම
සභාව පිහිටුවන්න. අපිට ආව පීඩාව ආශීර්වාදයක් වුණා.අවුරුදු තුනකට පස්සේ ඒ කියන්නේ 2009දී ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර පූර්ණකාලීන සේවකයන් සඳහා පැවැත්තුව පාසැලකට යන්න මට අවස්ථාවක් ලැබුණා. ජකාර්තාවල හිටපු සාක්ෂිකරුවන් මට එයාලගේ නිවෙස්වල විතරක් නෙමෙයි හදවතෙත් ඉඩක් දුන්නා. ඒ අයගේ අවංක සෙනෙහස මගේ හදවතට තදින්ම කාවැදුණා. අපි හැමෝම එක පවුලක් කියන හැඟීම මට ඇති වුණා.—1 පේතෘස් 2:17.
ප්‍රීතිමත් කාලයක්
පූර්ණකාලීන සේවකයන් සඳහා පැවැත්වූ පාසැලෙන් පස්සේ මම ආයෙත් බව්කව් නගරයට ගියා. මම තවමත් ජීවත් වෙන්නේ ඒ නගරයේ. දෙවිව දැනගන්න අනික් අය මට උදව් කළා වගේ මමත් අනික් අයට දෙවිව දැනගන්න උදව් කරනවා. මම බව්කව් නගරයෙන් ඈතට වෙන්න පිහිටි පළාතක සේවය කරනවා. ඒ පළාතේ 20දෙනෙකුට මමයි තවත් සාක්ෂිකරුවනුයි ගිහිල්ලා බයිබලය කියලා දෙනවා. එහේ ඉන්න සමහර වයසක අයට කියවන්න ලියන්න බැහැ. මේ හැමෝම රැස්වීම්වලට එනවා. ඒ අයගෙන් තුන්දෙනෙක් බව්තීස්මත් වුණා.
අවුරුදු කිහිපයකට කලින් ෆෙලිසාර්ඩේ නම් ගැහැනු ළමයෙක්ව මට මුණගැහුණා. එයා බයිබලයේ සත්‍යය පිළි අරගෙන ඉක්මනින්ම බව්තීස්මය දක්වා දියුණු වුණා. අපි 2011දී විවාහ වුණා. මගේ ඥාති සහෝදරයා වන ඔන්ඩ්‍රේ නැඟෙනහිර ටිමෝරයේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ කාර්යාලයේ සේවය කරනවා. අපිව පණ පිටින් වළලනවා කියපු ඔන්ඩ්‍රේගේ ආච්චි ඇතුළු තවත් නෑයෝ හුඟක්දෙනෙක් දැන් අපිට විරුද්ධකම් පාන්නේ නැහැ.
ඉස්සර මට ඉක්මනින්ම කේන්ති යනවා. අනික් අය ගැන මගේ හිතේ ආදරයක් තිබුණෙත් නැහැ, මට අනික් අයගෙන් ආදරයක් ලැබුණෙත් නැහැ. ඒත් යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙන්න මම දැන් සැබෑ ආදරය අද්දකිනවා. ඒ වගේම සන්සුන් පුද්ගලයෙක්.
[19වන පිටුවේ පින්තූරය]
දේශපාලනයට සම්බන්ධ වී සිටි කාලයේදී
[21වන පිටුවේ පින්තූරය]
මමයි මගේ භාර්යාවයි බව්කව් සභාවේ අය එක්ක