Skip to content

පටුනට යන්න

යොවුන් සිතේ ගැටලු

අපි නිකම්ම යාළුවෝ විතරද? 2වෙනි කොටස

අපි නිකම්ම යාළුවෝ විතරද? 2වෙනි කොටස

කලින් ලිපියේ සාකච්ඡා කළ කරුණු දෙක

● ඔයාට සම්බන්ධයක් පටන්ගන්න අවශ්‍යතාවක් නැතුව කෙනෙකුව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් අනික් කෙනාගේ හිත රිදෙයි.—හිතෝපදේශ 6:27.

● ඔයාට සම්බන්ධයක් පටන්ගන්න අවශ්‍යතාවක් නැතුව කෙනෙකුව කිට්ටුවෙන් ආශ්‍රය කළොත් හොඳ මිතුරෙක් ඔයාට නැති වෙයි. *හිතෝපදේශ 18:24.

මේ ලිපියේ සාකච්ඡා කරන කරුණු දෙක

● අනවශ්‍ය බැඳීමක් ඇති වීම වළක්වාගැනීම

● සීමාව ඉක්මවලා තියෙනවා කියලා දැනගැනීම

ඇත්ත තත්වය: විවාහ වෙන්න අදහසක් නැතුව විරුද්ධ ලිංගයේ කෙනෙකුව කිට්ටුවෙන් ආශ්‍රය කිරීමෙන් ඔයාගේ නම කැත වෙයි. කැරන් නම් යෞවනිය මෙහෙම කියනවා. * “මම දැකලා තියෙනවා පිරිමි ළමයි හුඟක් ගෑනු ළමයින්ව ආශ්‍රය කරනවා. ඒක ඒගොල්ලන්ට විනෝදයක්. ඒත් ගෑනු ළමයි හිතන්නේ ඒ පිරිමි ළමයා තමන්ට ආදරේ කියලයි. පිරිමි ළමයින්ට ඕනේ ගෑනු ළමයින්ගේ අවධානය ගන්න විතරයි.”

සිතා බලන්න:

● විරුද්ධ ලිංගයේ කෙනෙක්ව ඕනෑවටත් වඩා ළඟින් ආශ්‍රය කිරීමෙන් ඔයාගේ නම කැත වෙන්නේ කොහොමද?

“පිරිමි ළමයින්ට SMS යවන එක තමයි විනාශයට මුල. ඉස්සෙල්ලාම වචනයක් දෙකක් දාලා එක් කෙනෙකුට SMS යවන්න පටන් අරන් අන්තිමට රටේ නැති දේවල් කියලා හුඟදෙනෙකුට SMS යවන්න පටන්ගන්නවා. අන්තිමේදී කොල්ලෝ දෙතුන්දෙනෙකුටම බලාපොරොත්තු දීලා. ඒත් ඇත්ත දැනගත්තාම ඒ කොල්ලෝ හිතයි ඔයා මහ නරක කෙල්ලෙක් කියලා.”—ලාරා.

බයිබලයේ සඳහන් දේ: “දරුවෙකුගේ ක්‍රියාවලින් ඔහු නිර්මල, ප්‍රතිපත්තිගරුක කෙනෙකුදැයි පෙනී යන්නේය.”—හිතෝපදේශ 20:11.

නිගමනය: විරුද්ධ ලිංගයේ අය එක්ක ආශ්‍රය කරන එක වැරදි නැහැ. ඒත් සීමාවන් තියාගත්තේ නැත්නම් මිත්‍රකම් නැති වෙයි. සිත් තැවුල් ඇති වෙයි. හොඳ නම කැත වෙයි.

ඔයා සීමාව පැනලා කියලා දැනගන්නේ කොහොමද? ඒක දැනගන්න නම් මේ ප්‍රශ්නේ ගැන හිතන්න. ඔයාගේ හැම දෙයක්ම කියන්නේ විරුද්ධ ලිංගයේ කෙනෙකුටද? එරින් නම් ගැහැනු ළමයා කියන දේ බලන්න. “හැමදාම එකම පිරිමි ළමයෙකුට කෝල් කරන්න මතක් වෙනවා නම්, වැදගත් දෙයක් දැනගත්තම ඉස්සෙල්ලාම කියන්න මතක් වෙන්නේ එයාව නම්, දුකක් දැනුණාම සැනසීමක් බලාපොරොත්තු වෙන්නේ එයාගෙන් නම් ඔයාගේ ඒ යාළුකම නිකම්ම යාළුකමක් නෙමෙයි.”

සිතා බලන්න:

● විරුද්ධ ලිංගයේ කෙනෙකුට හැම දෙයක්ම කියන එක හොඳයි කියලා හිතෙන්නේ ඇයි? එහෙම කරන එකේ තියෙන අනතුර මොකක්ද?

“මම ආශ්‍රය කරන පිරිමි ළමයි මගේ කිට්ටුම යාළුවන් නෙමෙයි. මම ගෑනු ළමයි එක්ක කතා කරනවා වගේ ඒගොල්ලොත් එක්ක පැය ගණන් ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ නැහැ. සමහර දේවල් ඒගොල්ලොත් එක්ක මම කොහොමටවත් කතා කරන්නේ නැහැ.”—රියන්.

බයිබලයේ සඳහන් දේ: “පාලනයකින් තොරව කතා කරන තැනැත්තාට අත් වන්නේ විනාශයයි.”—හිතෝපදේශ 13:3.

මේ ගැන හිතන්න: විරුද්ධ ලිංගයේ කෙනෙකුට ඔයාගේ පෞද්ගලික තොරතුරු කීමේ අනතුරක් තියෙනවද? ඕගොල්ලන් අතර තියෙන මිත්‍රකම නැති වුණ දාට මොනවා වෙයිද? ඔයාගේ පෞද්ගලික තොරතුරු කීම ගැන ඔයාට දුක් වෙන්න වෙයිද?

අලෙක්සස් නම් යෞවනිය නැණවත් දෙයක් කියනවා. “කෙනෙක් පිරිමි ළමයෙක් නිසාම ආශ්‍රය නොකර ඉන්න එපා. ඔයාට පිරිමි ළමයෙක් එක්ක සාමාන්‍ය මිත්‍රකමකට වඩා වැඩි දෙයක් තියෙද්දී අපි නිකම්ම යාළුවෝ විතරයි කියලා ඔයාවම රවට්ටගන්නත් එපා. ඔයාගේ හිතට දැනෙන දේ ගැන ටිකක් හිතලා බලන්න. එතකොට ඔයාට ප්‍රශ්න මඟ හරවාගන්න පුළුවන්.”

පිබිදෙව්! කලාපයේ පළ වන “යොවුන් සිතේ ගැටලු” යන ලිපි පෙළේ තවත් ලිපි අවශ්‍ය නම් www.pr418.com වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

[පාදසටහන්වල]

^ 5 ඡේ. වැඩි විස්තර දැනගැනීම සඳහා 2012 ජූනි පිබිදෙව්! කලාපයේ 15-17 දක්වා පිටු බලන්න.

^ 9 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[17වන පිටුවේ කොටුව]

සැබෑ අද්දැකීමක්: “මම පිරිමි ළමයෙක්ව යාළුවෙක් හැටියට ආශ්‍රය කෙරුවා. අපි අතර හොඳ යාළුකමක් තිබුණා. අපි වරු ගණන් කතා කෙරුවා. පෞද්ගලික දේවලුත් කතා කෙරුවා. එයාගේ හැම ප්‍රශ්නයක්ම මාත් එක්ක කතා කරන නිසා අපි ටිකක් එකිනෙකාට ළං වෙලා කියලා මට හිතුණා. එක දවසක් එයාට මං ගැන අදහසක් තියෙනවා කියලා ඊ-මේල් එකකින් මට ලියලා එව්වා. මොන වගේ උත්තරයක්ද දෙන්නේ කියලා මට හිතාගන්න බැරුව ගියා. කවුරු හරි කෙනෙක් උනන්දුවක් දක්වන කොට හිතේ පුංචි ආඩම්බරයකුත් ඇති වෙනවා. ඒත් දැන් අපිට නිකම්ම යාළුවෝ වගේ ආශ්‍රය කරන්න බැහැයි කියලා තේරුම්ගත්තා. මොකද දැන් එයාගේ හිතේ යාළුකමට වඩා දෙයක් තියෙනවා. සම්බන්ධයක් පටන්ගන්න අපි තවම පොඩි වැඩියි කියලා මම කිව්වොත් එයාගේ හිත රිදෙනවා කියලා මම දන්නවා. ඊටපස්සේ මම මේ හැම දෙයක්ම මගේ අම්මලාට කිව්වා. එයාලා කිව්වා අපේ ආශ්‍රය අඩු කරන්න කියලා. මේ සිද්ධියෙන් මම ඉගෙනගත්තා සාමාන්‍ය මිත්‍රකමක් දුර දිග යන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ කියලා. දැන් මම පිරිමි ළමයි එක්ක ආශ්‍රය කරන කොට පරෙස්සම් වෙනවා. විශේෂයෙන්ම SMS යවන කොට. ඒ වගේම පිරිමි ළමයි එක්ක තනියෙන් ආශ්‍රය කරන්නේ නැතුව කට්ටියක් ඉන්න තැන ආශ්‍රය කරනවා. එතකොට පෞද්ගලික දේවල් කතා කරන්නේ නැහැ. ඕනෑවට වඩා ළං වෙන්නෙත් නැහැ.”—එලේනා.

[18වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

මේ ලිපියේ “මේ ගැන හිතන්න” කියන කොටසේ තිබුණු ප්‍රශ්න දෙක අම්මගෙන් හරි තාත්තගෙන් හරි අහන්න. එයාලා දෙන උත්තර ඔයාගේ උත්තරවලට වඩා වෙනස්ද කියලා බලන්න. ඒ උත්තරවලින් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?—හිතෝපදේශ 1:8.

[18වන පිටුවේ පින්තූර/කොටුව]

යෞවනයන් පවසන දේ

ඇන්ඩ්‍රේඔයා ඕනෑවට වඩා ගැහැනු ළමයෙක් එක්ක කාලය ගත කරද්දී ඒ ගැහැනු ළමයාට හිතෙන්න පුළුවන් ඔයාට එයා ගැන අදහසක් තියෙනවා කියලා. ඔයාට ඒ වගේ සම්බන්ධයක් පටන්ගන්න දැන්මම අවශ්‍යතාවක් නැත්නම් පරෙස්සමින් වැඩ කරන්න.

කැසිඩිමම හැදුණේ වැඩුණේ කොල්ලොත් එක්ක. ඒ නිසා පිරිමි ළමයින්ව ළඟින් ආශ්‍රය කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ඒක හොඳ දෙයකුත් නෙමෙයි. පිරිමි ළමයෙක් එක්ක මම එයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වගේ ආශ්‍රය කරන එකත් වැරදියි. එහෙම කෙරුවොත් එයා ඒක වැරදියට හිතන්න පුළුවන්. පිරිමි ළමයෙකුට මගේ සහෝදරයෙකුට වගේ සලකනවා නම් ප්‍රශ්නයක් නැහැ.

[19වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

ඔබේ දරුවා විරුද්ධ ලිංගයේ කෙනෙකුව ආශ්‍රය කිරීම වැරදි නැහැ. නමුත් විවාහ වීමට බලාපොරොත්තුවක් නැත්නම් සීමාවන් තියාගැනීම නුවණට හුරුයි. * එවැනි කෙනෙක් විරුද්ධ ලිංගයේ අයව ආශ්‍රය කිරීමේදී යාළුකම ඉක්මවා නොයෑමට වගබලා ගත යුතුයි.

විවාහ වීමේ අරමුණක් නැතුව ගැහැනු ළමයෙක් හා පිරිමි ළමයෙක් අතර ආදර හැඟීමක් ඇති වුණොත් සිදු වන්නේ කුමක්ද? මුලදී ඉන් යම් සතුටක් ලැබුණත් එය අවසන් වන්නේ කලකිරීමෙන්. එය හරියට රෝද නැති වාහනයක වාඩි වී සිටිනවා හා සමානයි. වැඩි කල් නොගොස් ඔවුන්ගේ සම්බන්ධය ඉදිරියට ගෙන යන්න බැහැ කියා ඔවුන් තේරුම්ගනියි. සමහරුන් හොර රහසේ සම්බන්ධකම් පවත්වන්න ඉඩ තිබෙනවා. එසේ කිරීම වැරදි ක්‍රියාවලට හෝ වංචා කිරීම වැනි දේවලට මඟ පෑදිය හැකියි. තවත් සමහර අයගේ සම්බන්ධයන් කැඩී යෑමටද ඉඩ තිබෙනවා. එවිට ඇති වන්නේ තමාව රැවැට්ටුවා යන සිතුවිල්ල සහ කලකිරීම පමණයි. ඔබේ දරුවා මෙවැනි තත්වයන්ට මුහුණ දීමෙන් වළක්වාගන්නේ කොහොමද?—දේශනාකාරයා 11:10.

මේ සඳහා අවශ්‍ය වන්නේ දරුවා සමඟ කිට්ටු බැඳීමක් ඇති කරගැනීමයි. එවිට විරුද්ධ ලිංගයේ අයව දරුවා ආශ්‍රය කරද්දී ඒ ගැන ඔබට සෑම දෙයක්ම නොසඟවා පවසයි. එම මිත්‍රකම් දුර දිග යනවා කියා ඔබට හැඟෙනවා නම් අවශ්‍ය මඟ පෙන්වීම් ලබා දීමට හැකි වෙයි.

නමුත් දරුවන් විරුද්ධ ලිංගයේ මිතුරන් ගැන පවසද්දී සමහර දෙමාපියන් ඔවුන්ගේ හැඟීම් තේරුම්ගන්නේ නැහැ. සමහර යෞවනයන් පවසන දේ සලකා බලන්න.

“මග් හිත ගිය පිරිමි ළමයෙක් ගැන අම්මට කියන්න ඕනේ වුණත් අම්මා කලබල වෙයි කියලා හිතපු නිසා මං කිව්වේ නැහැ.”—කාරා.

“මට පිරිමි ළමයෙක් ගැන අදහසක් තියෙනවා කියලා කිව්වොත් අම්මා කියන්නේ ‘ඔයාගේ වෙඩිං එකට මං එයි කියලා නම් හිතන්න එපා’ කියලයි. ඒ විදිහට කියන්නේ නැතුව අම්මා මගෙන් මේ වගේ ඇහුවා නම් ‘කවුද ඒ පිරිමි ළමයා, එයාට ඔයාගේ හිත ගියේ ඇයි’ කියලා, අම්මා දෙන උපදෙසක් වුණත් මට පිළිගන්න ලේසි වෙයි.”—නාඩින්.

දෙමාපියන් ඉවසීමෙන් දරුවන්ට ඇහුම්කන් දෙනවා නම් ඉන් ලැබෙන ප්‍රයෝජන පහත අද්දැකීම්වලින් පැහැදිලියි.

“මග් හිත ගිය පිරිමි ළමයෙක් ගැන කිව්වාම අම්මලා කලබල වුණේ නැහැ. එයාලා මට අවශ්‍ය උපදෙස් දුන්නා. මගේ හැඟීම් තේරුම්ගත්තා. ඒ නිසා එයාලා දෙන උපදෙස් පිළිගන්නත් මගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්නත් මම භය වුණේ නැහැ.”—කොරිනා.

“අම්මලා තරුණ කාලේ එයාලගේ හිත ගිය අය ගැනයි ඇයි ඒවා අසාර්ථක වුණේ කියලයි අපි එක්ක කතා කරනකොට මගේ හිතේ තියෙන දේවලුත් එයාලා එක්ක කතා කරන්න පහසුයි.”—ලිනෙට්.

නිසි වයසට කලින් ආදර සම්බන්ධයක් පටන්ගැනීමට වෙනත් හේතුත් බලපානවා.

“මම හොරෙන් සම්බන්ධයක් පැවැත්තුවේ එයා මාව හැම තිස්සේම සතුටින් තිබ්බ නිසයි. මං කියන දේවල් අහගෙන හිටියා.”—ඇනට්.

“මං ආස පිරිමි ළමයෙක් හිටියා. එයා මං ගැන හුඟක් සැලකිලිමත්. කවුරු හරි මං ගැන සැලකිලිමත් වෙනවට මං කැමතියි. ඒක තමයි මගේ දුර්වලකම.”—ඇමි.

“මග් අම්මලා මගේ පෙනුම ගැන හරි, මම අඳින ඇඳුමක් ගැන හරි හොඳ කියනවා නම් මං ඒ දේ පිට කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ.”—කෙරන්.

මේ ප්‍රශ්න ගැන ටිකක් හිතලා බලන්න:

මගේ යොවුන් වියේ දරුවන් මට ළං වෙන්න නම් මං මොනවද කරන්න ඕනේ?—ෆිලිප්පි 4:5.

මම “ඇහුම්කන් දීමට ඉක්මන්” වන කෙනෙක් මෙන්ම “කතා කිරීමට ප්‍රමාද” වන කෙනෙක්ද?—යාකොබ් 1:19.

ළමයි පිට කෙනෙකුගෙන් ආදරය හොයාගෙන යන එක මම වළක්වාගන්නේ කොහොමද?—කොලොස්සි 3:21.

නිගමනය: යොවුන් වියේ දරුවන් විරුද්ධ ලිංගයේ අයව ආශ්‍රය කරද්දී ප්‍රශ්න ගැටලු ඇති නොවන ආකාරයෙන් ආශ්‍රය කිරීමට උපකාර කරන්න. එය ඔවුන්ගේ අනාගත ජීවිතයටත් උපකාරවත් වෙයි.—කොලොස්සි 3:5; 1 තෙසලෝනික 4:3-6.

[පාදසටහන]

^ 37 ඡේ. මෙම සඟරාවේ සහ 2012 ජූනි පිබිදෙව්! සඟරාවේ “යොවුන් සිතේ ගැටලු” යන ලිපි බලන්න.

[17වන පිටුවේ වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

මිතුරුකම් පැවැත්වීමේදී

සුදුසු දේ නුසුදුසු දේ

කණ්ඩායමක් ලෙස ආශ්‍රය කිරීම  X තනි වීම

දැන හඳුනා ගැනීම  X හැම දේම කීම

අදහස් හුවමාරු කරගැනීම X ආල හැඟුම් පෑම

[18වන පිටුවේ රූප සටහන]

(මුද්‍රිත පිටපත බලන්න)

ආශ්‍රය කරන්න

ආල හැඟුම් එපා

අල්ලන්න එපා

අත් අල්ලන්න එපා

සිඹින්න එපා