Skip to content

පටුනට යන්න

කවුරුත් කන්න කැමති පොකිරිස්සෝ

කවුරුත් කන්න කැමති පොකිරිස්සෝ

කවුරුත් කන්න කැමති පොකිරිස්සෝ

ඇමරිකාවේ නිව් යෝක් නගරයේ ආපන ශාලාවකට ගොඩ වූ පිරිසක් පුලපුලා බලා සිටින්නේ ඔවුන්ගේ රසවත් ආහාරය පැමිණෙන තුරුයි. රතු පැහැයට හුරු මේ සතා ඇස් දෙකත් ඇරගෙන පිඟාන මත සිටියත් ඌව කෑමට බලා සිටින කෙනෙකුට නම් එය ප්‍රශ්නයක් නොවෙයි. අපි මේ කතා කරන්නේ පොකිරිස්සා ගැනයි.

වර්ෂ 1700 ගණන්වලදී ඇමරිකාවේ ඊසානදිග මුහුදේ පොකිරිස්සෝ රංචු පිටින් සිටියා. මුල් කාලයේදී උන්ව පාවිච්චි කළේ පොහොර සඳහායි. ඒ වගේම මාළු ඇල්ලීමට ඇමක් ලෙසත් යොදාගත්තා. සිරකරුවන්ට ආහාර ලෙස දුන්නෙත් පොකිරිස්සන්වයි. ඒ කාලයේ උන් බහුල ලෙස සිටි නිසා කුලියට ගත් සේවකයන් පිරිසකගේ බත්පතේ අනිවාර්යය දෙයක් වුණේ පොකිරිස්සෝ ව්‍යංජනයයි. මින් පීඩා විඳි ඔවුන් කියා සිටියේ සතියකට තුන් වතාවකට වඩා ඔවුන්ට පොකිරිස්සන්ව ආහාරයට ගත නොහැකි බවයි. ඒ සඳහා නීතිමය අවසරයක්ද ලබාගත්තා.

එහෙත් දුර ඈත පළාත්වල සිටි අයට පොකිරිස්සන්ව ලැබුණේ කලාතුරකින්. ඊට හේතුව පොකිරිස්සන්ව ලුණු දමා වියළා කල් තබාගැනීමට නොහැකි වීමයි. උන් මැරුණු විගස කුණු වෙනවා. නමුත් 1800 මැදභාගය වන විට ඇසුරුම්වල දමා උන්ව ප්‍රවාහණය කිරීමට ව්‍යාපාරිකයන් පටන්ගත් නිසා බොහෝදෙනෙකුට පොකිරිස්සන්ගේ රස බැලීමට අවස්ථාව ලැබුණා. ඒ වගේම දුම්රිය මාර්ග තැනීමත් සමඟ ඇමරිකාවේ වෙනත් ප්‍රාන්තවලටත් පොකිරිස්සන්ව පණ පිටින් ප්‍රවාහණය කිරීමට හැකි වූ නිසා පොකිරිස්සන්ට තිබූ ඉල්ලුමද වැඩි වුණා. ඒත් පොකිරිස්සන්ව පණ පිටින් ප්‍රවාහණය කිරීම වියදම අධික කාර්යයක්. ඒ නිසා උන්ව අළෙවි කළේ අධික මිල ගණන්වලටයි. ඒවා භුක්ති විඳින්න හැකි වුණේ ධනවතුන්ට පමණයි.

අද වන විට ලොව පුරා සිටින ධීවරයන් විවිධ වර්ගයේ පොකිරිස්සන්ව අල්ලනවා. උන් ගහන ප්‍රදේශයක් වන්නේ ඇමරිකාවේ අත්ලාන්තික් සාගරයේ නිව්ෆවුන්ඩ්ලන්තයේ සිට උතුරු කැරොලිනා දක්වා මුහුදු තීරයයි. නමුත් මේ ව්‍යාපාරය මහා පරිමාණයෙන් සිදු වන්නේ ඇමරිකාවේ ඊසාන දිගින් පිහිටි මෙයින් නම් ප්‍රදේශයේයි. පොකිරිස්සන්ව පණ පිටින් සහ පිසූ ආහාරයක් ලෙසත් මෙහි සිට ලොව වටා බෙදාහරිනවා. සාමාන්‍යයෙන් මෙම නගරයෙන් වරකට ගුවන් යානයකින් ප්‍රවාහණය කරන පොකිරිස්සන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 37,000ක් පමණ වෙනවා.

වෙනත් ආහාර පාන මහා පරිමාණයෙන් අපනයනය කළ හැකි වුණත් මෙම ව්‍යාපාරයෙන් එවැනි දෙයක් බලාපොරොත්තු විය නොහැකියි. මෙය කරන්නේ ස්වයං රැකියාවක් හැටියටයි. ඉස්සන් මෙන් උන්ව කොටුවල වගා කරන්නේ නැහැ. ධීවරයන්ට උන්ව අල්ලාගැනීම සඳහා පොකිරිස්සන් ස්වාභාවික වැඩෙන ස්ථානවලට යා යුතු වෙනවා.

අල්ලන ආකාරය

මෙයින් නම් ප්‍රදේශයේ බාර් හාර්බොර්හි ධීවරයෙක් වූ ජැක්ගෙන් පිබිදෙව්! වාර්තාකරු කරුණු විමසුවා. ඔහු පොකිරිස්සෝ අල්ලන්නේ අවුරුදු 17 සිටයි. මෙය ඔවුන්ගේ පාරම්පරික රැකියාව. ඔහුගේ බිරිඳ ඇනට්ද මේ ව්‍යාපාරයට සම්බන්ධයි. “මගේ මහත්තයා ධීවරයෙක් නිසා මමත් මේ කර්මාන්තය පුරුදු වුණා. අවුරුදු දෙකක් මම අල්ලන හැටි ඉගෙනගත්තා. දැන් මම බෝට්ටුවක් අරගෙන තනියෙම අල්ලන්න යනවා.”

ඔවුන් කොහොමද පොකිරිස්සෝ අල්ලන්නේ කියා අප ඇසුවා. “අපි කුඩා විවරයක් තියෙන යකඩ කූඩුවක් අරගෙන ඒක ඇතුළට පුංචි මාළු වගේ උන් කන්න ආස ඇමක් දානවා.” ධීවරයන් එම කූඩු මුහුදට හෙළන්නේ බෝයාවක් ගැටගසායි. “එක එක ධීවරයන් වෙනස් වෙනස් පාට බෝයා ගැට ගහනවා” කියා ඇනට් පවසනවා.

මෙම කූඩුව මුහුදට දැමූ විට එය මුහුදේ පතුලටම කිඳා බහිනවා. බෝයාව පාවෙවී තිබෙන නිසා කූඩු දැමූ ස්ථාන හඳුනාගැනීම ධීවරයන්ට පහසුයි. “අපි දවස් කිහිපයක් කූඩුව වතුරේ තියෙන්න හරිනවා. පස්සේ අපි බෝට්ටුවට ඒක ඇදලා ගන්නවා. පොකිරිස්සෙක් අහුවෙලා නම් උගේ දිග මැනලා බලනවා” කියා ඇනට් පවසනවා. ජැක් සහ ඇනට් වගේ සැලකිලිමත් ධීවරයන් පුංචි පොකිරිස්සන්ව සහ ගැහැනු පොකිරිස්සන්ව නැවත මුහුදට දමනවා.

ඊළඟට ඔවුන් කරන්නේ අල්ලාගත් පොකිරිස්සන්ව ළඟපාත අළෙවි මධ්‍යස්ථානයට ගෙන යෑමයි. මෙම කර්මාන්තය කරන්නේ තනි පුද්ගලයන් විසිනුයි. කලින් සඳහන් කළ ලෙස පොකිරිස්සන්ව කොටුවල වගා කරන්නේ නැහැ. නමුත් “මෙම වෙළඳාමේ නියැලෙන සමහර අයට බිත්තර දමන ගැහැනු පොකිරිස්සන්ව අල්ලන්න අවසර දී තිබෙනවා. මෙලෙස ගෙනෙන පොකිරිස්සන් බිත්තර දමා ඒ බිත්තරවලින් පැටවුන් බිහි වූ පසු නැවතත් මුහුදට මුදාහරිනවා. මේ ක්‍රමයෙන් පොකිරිස්සන් වඳ වී යෑම වැළකෙනවා” කියා ජැක් පවසනවා.

මෙම වෙළඳාම මුදල් ඉපයීමට පහසු ක්‍රමයක් නොවෙයි. නමුත් මෙම කර්මාන්තයේ නියැලෙන ධීවරයන්ගෙන් ඒ ගැන විමසුවොත් ඔවුන් අද්දකින සතුට ගැන පවසයි. ඉන් ලැබෙන එක් දෙයක් නම් කාටත් යටත් නොවී තමන්ගේම රැකියාවක නියැලීමට ඇති හැකියාවයි. ඒ වගේම පාරම්පරිකව කෙරෙන මෙම වෘත්තියෙන් ලැබෙන තෘප්තියත් මුහුදු ජීවිතයෙන් ලැබෙන සතුටත් වෙනත් වෘත්තියකින් ලැබෙන්නේ නැහැ. ඒ සියල්ලට වඩා ඔවුන් සෑහීමට පත් වෙන්නේ ඔවුන් අල්ලන පොකිරිස්සන් ලොව වටා සිටින බොහෝදෙනෙකුට රස බෝජුනක් වන නිසයි.

[12වන පිටුවේ පින්තූරය/කොටුව]

සිදු වෙන අනතුරු

පොකිරිස්සන් ඇල්ලීමේදී අනතුරු සිදු වෙන්නේ නැහැ කියායි බොහෝදෙනා සිතන්නේ. ඒත් එය සැබෑවක් නොවෙයි. උදාහරණයකට ඇමරිකාවේ සේවකයන්ගේ සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ජාතික ආයතනය මෙසේ පවසනවා. (NIOSH) “වර්ෂ 1993 සිට 1997 දක්වා කාලය අතරතුර මෙයින් ප්‍රදේශයේ එම කර්මාන්තයේ නියැලෙන ලියාපදිංචි ධීවරයන් 1,00,000කින් 14දෙනෙක් මරණයට පත් වී තිබෙනවා. මෙම සංඛ්‍යාව වෙනත් වෘත්තීන්වල සිදු වන මරණ ප්‍රතිශතයට වඩා 2.5කින් වැඩියි.”

ඇමරිකාවේ වෙරළාරක්ෂක නිලධාරීන් කළ සමීක්ෂණයක් ගැන එම ආයතනය මෙසේ වාර්තා කරනවා. “ධීවරයන් බොහෝවිට අනතුරට පත් වන්නේ ලණුවලට පැටලිලායි. ලණුව ලිහාගැනීමට නොහැකි වූ විට මුහුදට වැටී මිය යනවා.” වර්ෂ 1999 සිට 2000 දක්වා කාලය තුළ ධීවරයන් 103දෙනෙකු යොදාගෙන කළ සමීක්ෂණයකදී හතරදෙනෙකුගෙන් තුන්දෙනෙක් පමණ කියා සිටියේ ඔවුන් යම් අවස්ථාවල ලණුවලට පැටලී ඇති බවයි. ඒ නිසා අවශ්‍ය වූ විට ලණුව කැපීමට උපකරණයක් ළඟ තබාගන්න කියා හෝ එවැනි අනතුරු වළක්වාගැනීමට යම් ක්‍රියාමාර්ග ගන්න කියා නිර්දේශ කර තිබෙනවා.

[10, 11වන පිටුවේ පින්තූර]

1. පොකිරිස්සන් අල්ලන කූඩය ජැක්, මුහුදට දමන ආකාරය

2. ඇනට් සහ ජැක්, පොකිරිස්සෙක්ව එළියට ගනිමින්

3. උන්ගේ ප්‍රමාණය මනින අවස්ථාවක්