Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 3වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 3වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 3වෙනි කොටස

“අපට මෙසියස්ව හමු වුණා”

පිබිදෙව්! සඟරාවේ පළ වන කොටස් අටකින් යුත් මෙම ලිපි පෙළෙන් සාකච්ඡා කරනු ලබන්නේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියැවුණේ මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවට අනුවද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

යේසුස්ගේ උපත සිදු වීමට ශතවර්ෂ ගණනාවකට පෙර පැමිණීමට නියමිත මෙසියස් හෙවත් ගැලවුම්කරු ගැන අනාවැකි පළ වී තිබිණ. හෙබ්‍රෙව් භාෂාවෙන් මෙසියස් යනු “අභිෂේක ලත් තැනැත්තා” යන්නයි. එම අනාවැකිවල ගැලවුම්කරුගේ ජීවිතය, ඔහුගේ පෙළපත, ඔහුගේ උපත සිදු වන ස්ථානය, කාලය සහ ඔහුගේ ජීවිතයට සිදු වන දෙය පිළිබඳව සඳහන් විය.

පළමු ශතවර්ෂයේ විසූ ක්‍රිස්තියානීන් විශ්වාස කළේ මේ අනාවැකි යේසුස් තුළින් ඉටු වූ බවයි. ඔවුන්ටද හැඟුණේ යේසුස්ගේ ගෝලයෙක් වූ අන්දෘට හැඟුණු ආකාරයටයි. ඔහු පැවසුවේ “අපට මෙසියස්ව හමු වුණා” කියායි. (යොහන් 1:40, 41) ඔවුන් පැමිණි නිගමනය නිවැරදිද කියා සොයා බැලීමට ගැලවුම්කරු පිළිබඳව පවසා තිබූ අනාවැකි බොහොමයකින් හතරකට අප අවධානය දෙමු.

1වෙනි අනාවැකිය: “දාවිත්ගේ සිංහාසනය මත හිඳ රාජ්‍ය පාලනය භාරගනියි.”—යෙසායා 9:7.

ඉටු වීම: මතෙව්ගේ සුවිශේෂය ආරම්භ වන්නේ මෙසේයි. “ආබ්‍රහම්ගෙන්ද දාවිත්ගෙන්ද පැවතෙන යේසුස් ක්‍රිස්තුස්ගේ පෙළපතෙහි වාර්තාව මතු දැක්වේ.” යේසුස් පැමිණෙන්නේ දාවිත්ගේ පෙළපතින් බව මතෙව් මෙන්ම ලූක්ද වාර්තා කර තිබේ.—මතෙව් 1:1-16; ලූක් 3:23-38.

ඉතිහාසයෙන් සාක්ෂි:

● යුදෙව් ඉතිහාසඥයෙක් වන ජොසීෆස් පවසන්නේ යුදෙව් පවුල්වල පෙළපත් වාර්තා ඇතුළත් පෞරාණික ලියවිලි තිබුණු බවයි. එහෙත් එම ලියවිලි ක්‍රිස්තු වර්ෂ 70දී යෙරුසලමේ විනාශයත් සමඟම විනාශ විය. කෙසේවෙතත් යෙරුසලමේ විනාශයට පෙර යේසුස් දාවිත්ගේ පෙළපතින් පැමිණි බව සියල්ලන් අතර ප්‍රසිද්ධ වී තිබිණ. (මතෙව් 9:27; 20:30; 21:9) එම කාරණය බොරුවක් වී නම් ඊට අභියෝග එල්ල වන බව නොඅනුමානයි. එහෙත් එවැනි අභියෝගයක් එල්ල වූ බවට කිසිම වාර්තාවක් නැත.

2වෙනි අනාවැකිය: “යූදාහි නගර අතරින් කුඩාම නගරය වන බෙත්ලෙහෙම් එෆ්‍රාතා. ඊශ්‍රායෙල් පාලනය කිරීමට නියමිත තැනැත්තා පැමිණෙන්නේ ඔබගෙන්ය.”—මීකා 5:2.

ඉටු වීම: යේසුස් උපත ලැබුවේ බෙත්ලෙහෙමෙයි. ඔගස්ටස් සීසර් සංගණනයක් කිරීමට ආඥාවක් නිකුත් කළ අවස්ථාවේදී යේසුස්ව හදා වඩා ගත් පියා වන යෝසෙප් සිටියේ නාසරෙත් නගරයෙයි. ඔහු ‘දාවිත්ගේ පෙළපතින් පැමිණි කෙනෙක් වූ නිසා යුදයේ පිහිටි දාවිත්ගේ නුවරට ගියේය. එම නුවර හඳුන්වන්නේ බෙත්ලෙහෙම ලෙසයි. මරියා සමඟ ඔහු එහි ගියේ ලියාපදිංචි වීම සඳහාය. ඔවුන් එහි සිටියදී මරියා තම කුලුඳුල් පුත්‍රයාව මෙලොවට බිහි කළාය.’—ලූක් 2:1-7.

ඉතිහාසයෙන් සාක්ෂි:

● මැදපෙරදිග දේශවල වැසියෙන්ගෙන් බදු අය කිරීම සහ ඔවුන්ව හමුදා සේවයට බඳවාගැනීම සඳහා රෝමවරුන් සංගණනයක් කළ බව පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් ඔප්පු වේ. ක්‍රිස්තු වර්ෂ 104දී ඊජිප්තුව පාලනය කළ රෝම ආණ්ඩුකාරයෙක් එවැනි සංගණනයක් කිරීමට නියෝග කළ බවට සාක්ෂි තිබේ. එම නියෝගයේ පිටපතක් බ්‍රිතාන්‍ය පුස්තකාලයේ දැකිය හැකියි. එහි සඳහන් වන්නේ මෙයයි. “සියලුදෙනාටම ලියාපදිංචි වීම සඳහා කාලය පැමිණ තිබේ. එමනිසා ප්‍රදේශයෙන් පිට ජීවත් වන සියලුදෙනාම ලියාපදිංචි වීම සඳහා නැවත තම ගම්බිම් බලා පැමිණිය යුතුයි. එමගින් සංගණනය කිරීමටත් නැවත තමන්ගේ කෙත්වතු අස්වැද්ද වීමටත් ඔවුන්ට අවස්ථාව උදා වේ.”

● ඊශ්‍රායෙලයේ නගර දෙකක් බෙත්ලෙහෙම කියා හඳුන්වන ලදි. එක් නගරයක් පිහිටා තිබුණේ නාසරෙත් නගරයට ආසන්නව උතුරු දෙසින්ය. අනික් නගරය පිහිටා තිබුණේ යූදා දේශයේ යෙරුසලමට ආසන්නවය. එය හැඳින්වූයේ එෆ්‍රාත් හෝ එෆ්‍රාතා ලෙසයි. (උත්පත්ති 35:19) අනාගතවක්තෘවරයෙක් වූ මීකා සියවස් අටකට පෙර පැවසූ ලෙස යේසුස් උපත ලැබුවේ බෙත්ලෙහෙම් එෆ්‍රාතා නගරයේය.

3වෙනි අනාවැකිය: “යෙරුසලම යළි පිහිටුවා ගොඩනැඟීමට නියෝගයක් නිකුත් කරන අවස්ථාවේ සිට නායකයා වන මෙසියස්ගේ පැමිණීම දක්වා සති හතක්ද සති හැටදෙකක්ද ගත වන බව අවබෝධ කරගන්න.”—දානියෙල් 9:25.

ඉටු වීම: දානියෙල්ගේ අනාවැකියේ සඳහන් එක් සතියකින් අවුරුදු සතක් නියෝජනය වේ. ඒ අනුව සති 69ක් යනු අවුරුදු 483කි. යෙරුසලම නැවත ගොඩනැඟීමට ආඥාව ලැබුණේ ක්‍රි.පූ. 455දීය. එතැන් සිට අවුරුදු 483ක් ගණනය කිරීමේදී ක්‍රි.ව. 29ට පැමිණේ. යේසුස් බව්තීස්ම වූයේ එම වසරේදීයි. එම අවස්ථාවේදී දෙවිගේ බලයෙන් ඔහුව අභිෂේක කරනු ලැබූ අතර ඔහු පොරොන්දු වූ මෙසියස් බවට පත් විය. *ලූක් 3:21, 22.

ඉතිහාසයෙන් සාක්ෂි:

● ක්‍රිස්තු වර්ෂ පළමු සියවසේ මුල් කාලයේදී ‘ජනතාව ක්‍රිස්තුස්ගේ පැමිණීම ගැන අපේක්ෂාවෙන් සිටියෝය.’ (ලූක් 3:15) යුදෙව් විශාරදයෙක් වන ඇබා හිලෙල් සිල්වර් විසින් රචිත ග්‍රන්ථයක මෙසේ සඳහන් වේ. යෙරුසලමේ විනාශයට පෙර “යුදෙව් වැසියෝ මෙසියස්ගේ පැමිණීම ඉතා ඉක්මනින් සිදු වෙයි කියා බලාපොරොත්තු වූහ. ඔවුන්ගේ කාලගණිතයට අනුව ඔවුන් එය අපේක්ෂා කළේ ක්‍රි.ව. 25ත් 50ත් අතර කාලයේදී එය සිදු වෙයි” කියායි.—A History of Messianic Speculation in Israel.

4වෙනි අනාවැකිය: ‘මිය ගිය පසු ඔහුව දුෂ්ටයන් හා ධනවතුන් සමඟ’ තැන්පත් කරනු ලබන්නේය.—යෙසායා 53:9.

ඉටු වීම: යේසුස්ව ගණන්ගනු ලැබුවේ අපරාධකරුවෙක් ලෙසයි. ඔහු දෙපසින් අපරාධකරුවන් දෙදෙනෙක්වද එල්ලීමෙන් ඒ බව පැහැදිලි වේ. එහෙත් ඔහු මිය ගිය පසු ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබුවේ ධනවතෙකු වූ අරිමාතියේ යෝසෙප් සතුව තිබූ සොහොන් ගෙයකය. එය පර්වතයක කපා තිබූ සොහොන් ගෙයකි.—මතෙව් 27:38, 57-60; යොහන් 19:38.

ඉතිහාසයෙන් සාක්ෂි:

● යුදෙව් ඉතිහාසඥයෙක් වන ජොසීෆස් සහ රෝම ඉතිහාසඥයෙක් වන ටැසිටස් වැනි ක්‍රිස්තියානි නොවන බොහෝ අය යේසුස්ව අපරාධකරුවෙකු ලෙස මරණයට පත් කළ බවට සාක්ෂි සපයයි.

● පලස්තීනයේ කළ කැණීම්වලින් සොයාගනු ලැබුවේ ඒ දේශයේ පර්වතවල කපන ලද සොහොන් ගෙවල් තිබුණු බවයි. ධනවත් කෙනෙකුට එවැනි සොහොන් ගෙයක් සතුව තිබීම පුදුමයට කාරණයක් නොවේ.

මෙසියස් හෙවත් ගැලවුම්කරු පිළිබඳව පවසා තිබූ සියලුම අනාවැකි යේසුස් තුළින් ඉටු විය. අප මෙතෙක් සාකච්ඡා කළේ ඉන් කිහිපයක් පමණි. එම අනාවැකිවල සත්‍යතාව බිඳ දැමීමට කිසිවෙකුට නොහැක. ඒවා ඒ ආකාරයෙන්ම ඉටු වීමෙන් දෙවි කෙරෙහි ඇති අපගේ විශ්වාසය තවත් ශක්තිමත් වේ. එපමණක් නොව දේවරාජ්‍යය මාර්ගයෙන් කීකරු මනුෂ්‍ය වර්ගයාට ලබා දීමට දෙවි පොරොන්දු වී තිබෙන සෑම දෙයක්ම එලෙසින්ම ඉටු වෙයි කියාද අපට ස්ථිර විය හැකියි.

අපගේ මීළඟ ලිපියෙන් සාකච්ඡා කරනු ලබන්නේ යේසුස් පොරොන්දු කරන ලද ගැලවුම්කරු නම් දුක් විඳ මිය යෑමට දෙවි ඉඩහැරියේ ඇයි යන්නයි.

[පාදසටහන]

^ 16 ඡේ. මෙම අනාවැකිය පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති ප්‍රකාශනයේ 198 සිට 199 දක්වා පිටු බලන්න.

[22, 23වන පිටුවේ පින්තූර/වගුව]

(මුද්‍රිත පිටපත බලන්න)

ගැලවුම්කරු පිළිබඳව පැවසූ අනාවැකි හතරක්

1 ගැලවුම්කරු පැමිණෙන්නේ දාවිත්ගේ පෙළපතින්

ක්‍රි.පූ. 1070

දාවිත් ඊශ්‍රායෙලයේ රජ බවට පත් වෙයි

ක්‍රි.පූ. 607

බැබිලෝනිවරුන් අතින් යෙරුසලම විනාශ වීම

ක්‍රි.පූ. 455

යෙරුසලම නැවත ගොඩනැඟීමට ආඥාව ලැබීම

2 ගැලවුම්කරු උපත ලබන්නේ යූදා දේශයේ බෙත්ලෙහෙම් නුවරයි

ක්‍රි.පූ. 2

යේසුස් උපත ලැබුවේ යූදා දේශයේ බෙත්ලෙහෙම් නුවරේ දාවිත්ගේ පෙළපතිනුයි

3 යෙරුසලම ගොඩනැඟීමට ආඥාව ලැබී අවුරුදු 483කට පසු ගැලවුම්කරු පැමිණෙයි

ක්‍රි.ව. 29

යේසුස් බව්තීස්ම වෙයි. ඔහු ගැලවුම්කරු ලෙස අභිෂේක ලබයි

4 ගැලවුම්කරුව අපරාධකරුවෙක් ලෙස ගණන් ගනු ලබයි. තැන්පත් කරනු ලබන්නේ ධනවතුන් සමඟයි

ක්‍රි.ව. 33

යේසුස් අපරාධකරුවන් සමඟ මිය ගියත් ධනවතුන් සමඟ තැන්පත් කරනු ලබයි