Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කාටද?

මේ ලෝකය වෙනස් කරන්න පුළුවන් කාටද?

‘මිනිසුන් නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ ගැටලුවලට විසඳුම් මිසක් නිදහසට හේතු නෙමෙයි.’—එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්, බැං කි මූන්.

අප ජීවත් වෙන්නේ ‘ඉතා අසීරු, අනතුරු සහිත කාලයක’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (2 තිමෝති 3:1) ප්‍රවෘත්තිවල අහන්න දකින්න තිබෙන්නේ යුද්ධ, ත්‍රස්තවාදය, ආර්ථික කඩා වැටීම් සහ පාරිසරික හානියි.

මේ දේවල් වෙනස් වෙයි කියා අපේක්ෂා කළ හැකිද? ලෝකයේ තිබෙන ගැටලු විසඳීමට ආණ්ඩුවලට හැකිද? එසේත් නැත්නම් උපකාරය පැතිය හැක්කේ කාගෙන්ද?

බොහෝදෙනාගේ මතය

දෙවියන්ගේ රැකවරණය තිබෙන්නේ තම රටට බව බොහෝ අය කියා සිටිනවා. මීට එක් උදාහරණයක් වන්නේ ඇමරිකාවයි. ඇමරිකානු වැසියන් තම රටට පක්ෂපාතව සිටින බවට දෙන ප්‍රතිඥාවේ එක් වාක්‍ය කණ්ඩයක් වන්නේ තමන් “දෙවිගේ රැකවරණය යටතේ සිටින එක ජාතියක්” යන්නයි. ඒ වගේම ඔවුන්ගේ කාසි හා මුදල් නෝට්ටුවල, අපගේ විශ්වාසය දෙවියන් කෙරෙහි කියාත් සඳහන් වෙනවා.

එහෙත් ඇමරිකාවේ ජීවත් වෙන හුඟදෙනෙක් දෙවි කෙනෙක් සිටිනවා කියාවත් විශ්වාස කරන්නේ නැහැ. වෙනත් රටවල වෙසෙන අය ගැනත් පැවසිය හැක්කේ එයමයි. අනික් අතට දෙවි කෙරෙහි විශ්වාසයක් ඇති අයට පවා මේ ලෝකයේ ඇති ගැටලු විසඳීමට දෙවිගේ මැදිහත් වීම ගැන ඇත්තේ විවිධ අදහස්.

● යම් අය පවසන්නේ මිනිසුන් ගැන දෙවියන් කිසිම තැකීමක් නොකරන බවයි. මිනිසුන්ට තමන්ව පාලනය කරගැනීමට සම්පූර්ණයෙන්ම දෙවි ඉඩ දී ඇති බවයි.

● තවත් අය පවසන්නේ මිනිසුන්ගේ ආණ්ඩු තුළින් මේ ලෝකය වෙනස් කිරීමට දෙවියන් කටයුතු කරන බවයි.

ඔබ විශ්වාස කරන්නේ කුමක්ද?

මේ දේ සිතන්න: ඉහත සඳහන් කාරණා දෙකෙන් පළවෙනි කාරණය සැබෑවක් නම් අප අන්ත අසරණයි. දෙවෙනි එක සැබෑවක් නම් මෙවැනි ප්‍රශ්න මතු වෙයි. ‘දෙවි එක් ජාතියක් උසස් කොට සලකනවාද? ජාතීන් දෙකක් යුද්ධ කරන විට දෙපාර්ශ්වයම දෙවියන්ගෙන් ආශීර්වාද ඉල්ලා යාච්ඤා කරද්දී දෙවි ගන්නේ කාගේ පැත්තද?’ දෙවි පැති ගන්නවාද?

බයිබලයේ ඉගැන්වීම

1. මිනිසාව නිර්මාණය කළේ මිනිසුන්ව පාලනය කිරීමේ හැකියාව ඇතුව නොවෙයි. ‘තම ජීවන ගමනේ පියවර තැබිය යුත්තේ කෙසේද කියා තනිව තීරණය කිරීමට මිනිසාට හැකියාවක් නැහැ’ කියා බයිබලයේ සඳහන් වෙයි. (යෙරෙමියා 10:23) ඉතිහාසය දෙස බලද්දී එහි සත්‍යතාව මැනවින් දිස් වෙනවා. මිනිසා විසින් ඇති කරන ලද කිසිදු ආණ්ඩුවකින් මේ ලෝකය හොඳ අතට පත් කර නැහැ. එම නායකයන්ට විශිෂ්ට අරමුණු සහ යහපත් චේතනා තිබුණත් ඒවා සාර්ථක වී නැහැ. සිදු වී ඇත්තේ “මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක” කිරීම පමණයි.—දේශනාකාරයා 8:9.

2. මිනිසා විඳින දුක දෙවියන්ට පෙනෙනවා. අප ජීවිතයේ අද්දකින දේවල් දෙවියන් නොදැන සිටිනවා නොවෙයි. වේදනාවේ තරම දෙවිට දැනෙනවා. ඔහු ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් ගන්නේ ඔහුගේ ආණ්ඩුව තුළින්. එය “කිසිදාක විනාශ නොවන රාජ්‍යයක්.”—දානියෙල් 2:44.

3. දේවආණ්ඩුව සැබෑ ආණ්ඩුවක්. බොහෝ ජනයා සෑම දවසකම පරමණ්ඩල යාච්ඤාව හෙවත් ස්වාමීන්ගේ යාච්ඤාව තුළින් දෙවිගෙන් අයැදින්නේ “ඔබගේ රාජ්‍යය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද සිදු වේවා” කියායි. (මතෙව් 6:10) දේවපාලනය ස්වර්ගයට පමණක් සීමා වන්නේ නැහැ. දෙවිගේ කැමැත්ත මේ ලෝකයේ ඉටු වන්නේ දේවපාලනය මාර්ගයෙනුයි.

4. දෙවිගේ ආණ්ඩුව මගින් අනිවාර්යයෙන්ම දෙවි මේ ලෝකයේ වෙනසක් සිදු කරනවා. ඒ ගැන ඔබට සැකයක් තිබේ නම් බයිබලයේ සඳහන්ව ඇති මේ වදන් සලකා බලන්න.

● දෙවියන් මිනිසාට ලබා දුන්නේ කිසිම අඩුපාඩුවක් නැති පරිපූර්ණ ආරම්භයක්.—උත්පත්ති 1:27-31.

● දැන් අප බොහෝ ප්‍රශ්න ගැටලුවලට මැදි වී සිටියත් මුල් මිනිසාට ලබා දුන්නා හා සමාන තත්වයක් නැවත ලබා දීමට දෙවි පොරොන්දු වී තිබෙනවා.—ගීතාවලිය 37:11, 29.

● ලෝකය හොඳ අතට පත් කිරීමට දෙවියන් දැනටමත් පියවර ගෙන තිබෙනවා. එනම් මිනිසා මුලින් සිටි තත්වයට ගෙන ඒමට අවශ්‍ය ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.—යොහන් 3:16.

දෙවිගේ ආණ්ඩුව ගැනත් එමගින් මේ ලෝකයට සිදු වන වෙනස්කම් ගැනත් දැනගැනීමට ඔබ කැමතිද? මේ සඟරාවේ ප්‍රකාශිතයන් වන යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඔබට උපකාර ලබාගත හැකියි. ඊළඟ වතාවේදී ඔවුන්ව මුණගැසුණු විට පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීමට ඔබට පුළුවන්.

දේවආණ්ඩුව කියන්නේ කුමක්ද?

එම ආණ්ඩුව මගින් කරන වෙනස්කම් මොනවාද?

එම වෙනස්කම් සිදු කරන්නේ කවදාද, කෙසේද?

මේ ගැන ඔබ සිතුවාද?

● මිනිසුන්ට තම ආණ්ඩු ක්‍රම මගින් ඉටු කළ හැකි දේ සීමා වී තිබෙන්නේ ඇයි?යෙරෙමියා 10:23.

● දෙවියන් අප ගැන සැලකිලිමත් බව පෙන්වා තිබෙන්නේ කෙසේද?යොහන් 3:16.

● දේවආණ්ඩුව විසින් සිදු කරන වෙනස්කම් මොනවාද? එම ආශීර්වාද භූක්ති විඳින්නේ කවුද?ගීතාවලිය 37:11, 29.

[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

ලෝකයේ තිබෙන ගැටලු විසඳීමට ආණ්ඩුවලට හැකිද? එසේත් නැත්නම් උපකාරය පැතිය හැක්කේ කාගෙන්ද?