Skip to content

පටුනට යන්න

වියෝදුකින් පෙළෙන දරුවන්ව සනසමු

වියෝදුකින් පෙළෙන දරුවන්ව සනසමු

වියෝදුකින් පෙළෙන දරුවන්ව සනසමු

පවුලේ කෙනෙකුගේ හෝ හිතවත් කෙනෙකුගේ මරණයක් ගැන වැඩිහිටියෙකුට පැවසීම පහසු දෙයක් නොවෙයි. එසේනම් කුඩා දරුවෙකුට එය පැවසීම ඊටත් වඩා කොතරම් අසීරුද කියා සිතා බලන්න.

පවුලේ කෙනෙකු හෝ හිතවත් කෙනෙකු මිය ගිය විට බොහෝ දරුවන්ට ඇති වන්නේ බියක්. ඔවුන්ට මරණය පිළිබඳව අවබෝධයක් නැහැ. පවුලේ කෙනෙක් මිය ගිය විට දෙමාපියන්ද සිටින්නේ වියෝදුකින් නිසා දරුවන්ට අවශ්‍ය සැනසීම ලබා දීම ඔවුන්ට පහසු දෙයක් නොවෙයි.

සමහර දෙමාපියන් මරණය පිළිබඳ ආරංචිය සෘජුව නොකියා “එයා අපිව දාලා ගියා,” “එයා ආයෙත් එන්නේ නැහැ,” වැනි දේ දරුවන්ට පවසනවා. නමුත් එවැනි කතාවලින් සිදු වන්නේ දරුවන් මුළා වීමයි. එසේනම් දරුවෙකුට මරණය ගැනත් ඉන්පසු සිදු වන දේ ගැනත් පහදා දෙන්න පුළුවන් කොහොමද?

රෙනාටු සහ ඉසබෙල් යන යුවළ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්. ඔවුන් එවැනි අද්දැකීමකට මුහුණ දුන්නා. ඒ ඔවුන්ගේ අවුරුදු තුනහමාරක් වයසැති කුඩා දියණිය වන නිකෝල් මිය ගිය අවස්ථාවේදියි. එතකොට ඔවුන්ගේ පුතා ෆිලිපේට අවුරුදු පහයි. නංගිගේ වියෝව දරාගැනීමට ඔහුට උපකාර කිරීමට ඔවුන්ට සිදු වුණා.

පිබිදෙව්!: දුවගේ මරණය ගැන ෆිලිපේට කිව්වේ කොහොමද?

ඉසබෙල්: අපි කිසි දෙයක් හැංඟුවේ නැහැ. අපි එයා අහන ප්‍රශ්නවලට එයාගේ වයසේ ළමයෙකුට තේරුම්ගන්න පුළුවන් විදිහට උත්තර දුන්නා. අපේ දුව මැරුණේ බැක්ටීරියාවක් ආසාදනය වෙලයි. ඒ නිසා අපි පුතාට කිව්වා පුංචි සතෙක් නංගිගේ ඇඟ ඇතුළට ගිහිල්ලා, ඩොක්ටර් අංකල්ලට ඌව මරන්න බැරි වුණා කියලා.

පිබිදෙව්!: පුතාට ඔයාලගේ ආගමික විශ්වාසයන් ගැන කියලා දුන්නද?

රෙනාටු: මරණය ගැන බයිබලයේ තියෙන දේවල් පුතාට කියලා දීමෙන් එයාට සහනයක් ලැබෙයි කියලා අපි දැනගෙන හිටියා. බයිබලයේ පැහැදිලිව කියලා තියෙනවා මැරුණ අය කිසිම දෙයක් දන්නේ නැහැ කියලා. (දේශනාකාරයා 9:5) මේක පුතාට පැහැදිලි කරලා දුන්නොත් එයා තනියම ඉන්න භය වෙන එකක් නැහැ කියලා අපි තේරුම්ගත්තා.

ඉසබෙල්: මැරුණ අයව නැවත නැඟිටුවනවා කියලත් බයිබලයේ සඳහන් වෙනවා. අපි ඒක විශ්වාස කරනවා. ඉතිං අපි ඒ ගැන පුතාට කියලා දුන්නා. යායිරස්ගේ අවුරුදු 12ක් වයසැති දුවව යේසුස් නැවත නැඟිටෙව්වා කියලා අපි බයිබලයෙන් පුතාට කියලා දුන්නා. නංගිවත් ඒ විදිහට නැවත නැඟිටුවනවා කියලා අපි පුතාට කිව්වා.—මාක් 5:22-24, 35-42; යොහන් 5:28, 29.

පිබිදෙව්!: කියලා දුන්න හැම දෙයක්ම පුතාට තේරුණා කියලා ඔයාලා හිතනවාද?

රෙනාටු: ඔව්, අපි හිතනවා එයාට තේරෙන්න ඇති කියලා. දරුවන්ට සරලව, නිවැරදි දේ පැහැදිලි කරලා දුන්නාම එයාලට තේරුම්ගන්න පුළුවන්. බොරු කියන්න ඕනේ නැහැ. මරණය කියන්නේ කොයි කාටත් මුහුණ දෙන්න සිදු වෙන දෙයක්. ඒ නිසා දෙමව්පියන් හැටියට මරණයක් සිදු වුණාම ඊට මුහුණ දෙන විදිහ දරුවන්ට කියලා දෙන්න ඕනේ. පස්සේ හම්බ වෙච්ච අපේ චුටි පුතා වෙනිසීයස්ටත් අපි ඒ තොරතුරු කියලා දුන්නා. *

පිබිදෙව්!: අවමංගල්‍ය කටයුතු සිදු වන වෙලාවේ පුතාවත් එක්කගෙන ගියාද?

රෙනාටු: හැම දෙයක් ගැනම හිතලා බලලා අපි හිතුවා පුතාව ගෙනියන්නේ නැතුව ඉන්න. මොකද ඒ වගේ වයසේ ඉන්න ළමයි හුඟක් සංවේදියි. සමහර දෙමව්පියන් නම් දරුවන්ව අරගෙන යනවා. ඒත් එක එක ළමයගේ තත්වය වෙනස්. අවමංගල්‍ය කටයුතුවලට දරුවෙකුව අරන් යනවා නම් එතන වෙන්නේ මොනවද කියලා කලින්ම කියන එක හොඳයි.

පිබිදෙව්!: දුවගේ මරණය ඔයාලට ලොකු වේදනාවක්. පුතා ඉස්සරහා අඬන එක ඔයාලට ප්‍රශ්නයක් වුණාද?

ඉසබෙල්: අපිට දැනෙන දුක අපි පුතාගෙන් හැංගුවේ නැහැ. ලාසරුස් මැරුණ වෙලාවේ යේසුස් ඇඬුවා නම් ඇයි අපේ කඳුළු අපි හංගගන්නේ. (යොහන් 11:35, 36) අපි අඬනවා දැක්ක එකෙන් පුතා දැනගත්තා දුකට අඬන එකේ වරදක් නැහැ කියලා. අපිට ඕනේ වුණේ දුක හිතේ තද කරගෙන ඉන්නවාට වඩා පිට කරන එක හොඳයි කියලා පුතාට දැනෙන්න සලස්වන්න.

රෙනාටු: පවුලේ කෙනෙක් මැරුණම දරුවන්ට විවිධ සිතුවිලි එන්න පුළුවන්. දෙමව්පියන් තමන්ගේ හැඟීම් හංගන්නේ නැතුව කියනවා නම් දරුවනුත් ඒ දේම කරයි. එතකොට ඒගොල්ලන්ගේ හිතට වධ දෙන දේ දැනගන්නත් එයාලට උදව් කරන්නත් ලේසියි.

පිබිදෙව්!: අනික් අයගෙන් ලැබුණේ මොන වගේ උපකාරයක්ද?

රෙනාටු: අපේ සභාවේ අයගෙන් අපිට ලොකු උපකාරයක් ලැබුණා. එයාලා අපිව බලන්න ආවා, කෝල් කළා, කාඩ් එව්වා. මේ හැම දෙයකින්ම පුතා දැනගත්තා එයාලා අපිට කොච්චර ආදරෙයිද, ඒ වගේම අපි ගැන කොයි තරම් සැලකිලිමත්ද කියලා.

ඉසබෙල්: අපේ පවුලේ අයත් අපිට හුඟක් උදව් කළා. අපේ දුව මැරුණට පස්සේ, මගේ තාත්තා හැමදාම උදේ අපේ ගෙදර ආවා. උදේ කෑම කන වෙලාවේ සීයා පුතා ළඟ හිටපු එක එයාට ලොකු හයියක් වුණා.

රෙනාටු: අපේ ක්‍රිස්තියානි රැස්වීම්වලින් අපිට ලැබුණු දිරිගැන්වීම වචනවලින් විස්තර කරන්න බැහැ. ඒ නිසා අපි එක රැස්වීමක්වත් අතපසු කළේ නැහැ. රැස්වීම්වලට ගියාම අපිට දුවව හුඟක් මතක් වෙන නිසා සමහර දවස්වලදී අපිට හොඳටම ඇඬුණා. ඒත් අපි පුතා වෙනුවෙන් ශක්තිමත්ව ඉන්න ඕනේ කියලා හිතුවා.

[පාදසටහන]

^ 12 ඡේ. ඒ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත 2008 ජූලි 1 මුරටැඹ කලාපයේ 18-20 දක්වා පිටුවල ඇති “වියෝදුකින් පෙළෙන ඔබේ දරුවාට සැනසිල්ල” යන ලිපිය හා ඔබ ආදරය කළ කෙනෙක් මිය ගිය විට යන සඟරාවද බලන්න.

[14වන පිටුවේ පින්තූර/කොටුව]

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත පහත සඳහන් ප්‍රකාශනවලින් වියෝදුකින් සිටින අයට සහනයක් ලබාගත හැකියි.

වැඩිහිටියන්ට:

බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු

6වෙනි පරිච්ඡේදය: මිය ගිය අය කොහේද?

7වෙනි පරිච්ඡේදය: මිය ගොස් සිටින අය ගැන අපට බලාපොරොත්තුවක්

පුංචි දරුවන්ට:

මගේ බයිබල් කතන්දර පොත

92වෙනි කතන්දරය: යේසුස් මළවුන්ව නැඟිටුවයි

ටිකක් ලොකු දරුවන්ට:

උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු

34වෙනි පරිච්ඡේදය: අපි මැරුණොත් මොනවාද වෙන්නේ?

35වෙනි පරිච්ඡේදය: අපිට මරණයෙන් නැඟිටින්න පුළුවන්!

36වෙනි පරිච්ඡේදය: නැවත නැඟිටුවන්නේ කාවද? ඔවුන් ජීවත් වෙන්නේ කොහේද?

යෞවනයන්ට:

යොවුන් සිතේ ගැටලු—ඊට විසඳුම්, 1වන පොත

16වෙනි පරිච්ඡේදය: මට දුක දරාගන්න බැරි ඇයි?

[15වන පිටුවේ පින්තූරය/කොටුව]

උපකාර කළ හැකි අයුරු

● මරණය ගැන දරුවන් ප්‍රශ්න අසද්දී ඒවාට පිළිතුරු දෙන්න අදිමදි කරන්න එපා.

● “එයා අපිව දාලා ගියා,” “එයා ආයෙත් එන්නේ නැහැ,” වැනි දේවල් පවසමින් මරණය ගැන වැරදි පින්තූරයක් දරුවාගේ මනසේ මවන්න එපා.

● මරණය ගැන දරුවාට තේරුම්ගත හැකි ආකාරයට පැහැදිලි කරන්න.

● අවමංගල්‍ය කටයුතුවලට දරුවෙකුව අරන් යනවා නම් එතන වෙන්නේ මොනවාද කියා කලින්ම කියා දෙන්න.

● දුකක් ඇති වන විට ඇඬීම සාමාන්‍ය දෙයක් බව දරුවාට දැනෙන්න සලස්වන්න.

● එක් එක් දරුවා දුක ප්‍රකාශ කරන ආකාරයත් ඔවුන්ගේ තත්වයත් වෙනස් බව මතක තබාගන්න.

[හිමිකම් විස්තර]

තොරතුරු ලබාගෙන තිබෙන්නේ www.kidshealth.org වෙබ් අඩවියෙනුයි.

[15වන පිටුවේ පින්තූරය]

වමේ සිට දකුණට: ෆිලිපේ, රෙනාටු, ඉසබෙල් සහ වෙනිසීයස්