දස දෙසින්
දස දෙසින්
ජෝර්ජියා ජනරජයේ “පසුගිය වසර දහය ඇතුළත දික්කසාද වීමේ සංඛ්‍යාව දෙගුණ වී තිබෙනවා.” මෙලෙස දික්කසාද වන බොහෝදෙනෙක් වයස අවුරුදු 20ට අඩු අයයි.—FINANCIAL, GEORGIA.
අයර්ලන්තයේ අවුරුදු 11ත් 16ත් අතර යෞවනයන්ගෙන් සියයට 17ක් “කිසි දින දැක නැති පුද්ගලයන්ට අන්තර්ජාලය හරහා තමන්ගේ සම්පූර්ණ නම දී තිබෙනවා.” සියයට දහයක් “ඊ-මේල් ලිපිනය, ජංගම දුරකථන අංකය හෝ තමන්ගේ ඡායාරූපය” ලබා දී තිබෙනවා.—THE IRISH SOCIETY FOR THE PREVENTION OF CRUELTY TO CHILDREN.
ලොව පුරා සිදු වන ලැව්ගිනි අතරින් ස්වාභාවික හේතු නිසා සිදු වන්නේ සියයට හතරක් පමණයි. වැඩි හරියක් ලැව්ගිනි ඇති වෙන්නේ මිනිසුන්ගේ නොසැලකිලිමත්කම නිසා හෝ ඔවුන්ගේ උවමනාවටයි.—PRESSEPORTAL, GERMANY.
“ඇමරිකානු ජාතිකයන් දහදෙනෙකුගෙන් එක් කෙනෙක් හෝ [වයස අවුරුදු 12ක් හෝ ඊට වැඩි] මරිජුවානා, කොකේන්, හෙරොයින්, ඇදුම රෝගීන්ට දෙන ඉන්හේලර් හෝ වෛද්‍යවරු නිර්දේශ කරන ඖෂධ කිසිම හේතුවක් නැතුව දිනපතා භාවිත කරනවා.”—USA TODAY, U.S.A.
ආත්මදමනය ඉගෙනගත්තොත් ගොඩ
“කුඩා කාලයේදී ආත්මදමනය නැත්නම් වැඩිහිටියෙකු වූ පසු සෞඛ්‍ය ගැටලු ඇති වීමටත් ආර්ථිකය ස්ථාවර නොවීමටත් අපරාධකරුවෙක් වීමටත් ඉඩ තිබෙන බව පර්යේෂකයන් පවසනවා” කියා ටයිම් සඟරාවේ සඳහන් වෙනවා. පුද්ගලයන් 1,000කට වඩා වැඩි පිරිසක්ව යොදාගෙන කළ සමීක්ෂණයකදී ඔවුන්ගේ උපතේ සිට වයස අවුරුදු 32ක දක්වා කාලය ඇතුළත ඔවුන්ගේ හැසිරීම පිළිබඳව අධ්‍යයනය කළා. ඉන් හෙළි වුණේ “පුංචි කාලයේදී ඉවසීම අඩු, ඉක්මනින්ම කලකිරෙන, නොහික්මුණු දරුවන්” වැඩිහිටියන් වූ පසු වෙනත් දරුවන්ට වඩා අපරාධවලට හවුල් වීමේ හා සෞඛ්‍ය ගැටලු, ආර්ථික ගැටලු, පවුල් ප්‍රශ්න අද්දැකීමේ ප්‍රවණතාව තුන් ගුණයකින් වැඩි බවයි. කෙසේවෙතත් “ආත්ම දමනය ඉගෙනගත හැකියි. දරුවන්ට තමාව පාලනය කරගැනීමට ගුරුවරුන් හා දෙමාපියන් උගන්වනවා නම් ඔවුන්ව වගකීමෙන් වැඩ කරන වැඩිහිටියන් බවට පත් කළ හැකියි” කියා එම සඟරාවේ තවදුරටත් සඳහන් වුණා.
දඩ වෙනුවට වැඩ
ඉන්දියාවේ රථ වාහන පොලීසිය මාර්ග නීති කඩන අවිනීත රියදුරන්ට දඩ නියම කරනවා වෙනුවට වෙනත් විකල්පයක් සොයාගෙන තිබෙනවා. එයින් ඔවුන් බලාපොරොත්තු වන්නේ එවැනි රියදුරන් කරන වැරදිවල බරපතළකම පෙන්වා දීමටයි. ඉන්දියාවේ වයඹ දිශාවේ පිහිටි ගුර්ගාන් ප්‍රදේශයේ පොලීසිය, මාර්ග නීති කඩ කරන රියදුරන්ට දඩ නියම නොකර පැය භාගයක් හෝ ඊට වඩා වැඩි කාලයක් රථ වාහන හැසිරවීමට අණ කරනවා. “දවසකට එවැනි රියදුරන් 1,000ක් විතර අපි අල්ලනවා. ඒ කියන්නේ දවසකට රථ වාහන හැසිරවීමේ නිලධාරීන් 1,000ක් ඉන්නවා” කියා ගුර්ගාන් පොලීසියේ කොමසාරිස් පවසයි.