Skip to content

පටුනට යන්න

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 4වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 4වෙනි කොටස

බයිබලය නිවැරදි අනාවැකිවලින් යුත් ග්‍රන්ථයක්, 4වෙනි කොටස

යේසුස් දුක් විඳ මිය යන බව බයිබලයේ සඳහන් වී තිබුණි

පිබිදෙව්! සඟරාවේ පළ වන කොටස් අටකින් යුත් මෙම ලිපි පෙළෙන් සාකච්ඡා කරනු ලබන්නේ බයිබලයේ වැදගත් අංගයක් වන අනාවැකි පිළිබඳවයි. එමගින් මතු දැක්වෙන ප්‍රශ්නවලට පිළිතුරු ඔබට ලබාගත හැකියි. එනම් බයිබලයේ සඳහන් අනාවැකි ලියවුණේ මිනිසුන්ගේ බුද්ධිමය හැකියාවට අනුවද? එසේත් නැත්නම් දෙවිගේ මඟ පෙන්වීමට අනුවද? මේ පිළිබඳව තිබෙන සාක්ෂි සලකා බලන මෙන් අපි ඔබට ආරාධනා කරමු.

මීට වසර 2,000කට පමණ පෙර යේසුස් මිහිපිට සිටි කාලයේදී සතුරන් අතින් කුරිරු මරණයක් අද්දකින බව ඔහු දැන සිටියේය. ඔහු එය දැනගනු ලැබුවේ හෙබ්‍රෙව් ලියවිලි හෙවත් පරණ ගිවිසුමේ තමා ගැන ලියැවී තිබූ අනාවැකි සම්බන්ධයෙන් ඔහුට මනා දැනුමක් තිබූ නිසයි. එම අනාවැකිවලින් බොහොමයක් පවසන ලද්දේ යේසුස් ඉපදීමට වසර 700කට පෙර අනාගතවක්තෘවරයෙක් වූ යෙසායා විසින්ය. යෙසායා එම අනාවැකි පැවසුවේ යේසුස් පැමිණීමට පෙර කියා අප දන්නේ කෙසේද?

වර්ෂ 1947දී මළ මුහුදට වයඹ දෙසින් පිහිටි කුම්රාන් නම් ප්‍රදේශයේ ගල් ගුහාවක තිබුණු ලියවිලි කිහිපයක් අරාබි ජාතික අහිකුණ්ටික පිරිමි ළමයෙකුට සම්බ විය. එම පිටපත් හඳුන්වනු ලැබුවේ මළ මුහුදේ ලියවිලි ලෙසයි. එම ලියවිලි අතරේ යෙසායා පොතේ සම්පූර්ණ පිටපතක්ද තිබුණි. * යෙසායාගේ එම පිටපත ලියා තිබුණේ යේසුස්ගේ උපතට වසර 200කට පමණ ඉහතදීය. ඉන් පැහැදිලි වන්නේ යෙසායා පැවසුවේ අනාවැකි බවයි. ඔහු යේසුස් දුක් විඳින ආකාරය ගැන කිනම් අනාවැකි පැවසුවාද? * යෙසායා පැවසූ අනාවැකි දෙකක් පහත දැක්වේ.

යේසුස් අත්විඳින වේදනාකාරී තත්වය ගැන පවසා තිබුණි

1වෙනි අනාවැකිය: ‘මට පහර දෙන අයට මගේ පිට තළන්න මම ඉඩ දුන්නෙමි.’යෙසායා 50:6. *

ඉටු වීම: ක්‍රිස්තු වර්ෂ 33දී යේසුස්ට විරුද්ධ වූ යුදෙව් සතුරන් විසින් ඔහුව නඩු විභාගයක් සඳහා රෝමයේ ආණ්ඩුකාරයා වූ පොන්තියුස් පිලාත් ඉදිරියට රැගෙන යන ලදි. යේසුස් අත කිසි වරදක් නොමැති බව තේරුම්ගත් ආණ්ඩුකාරයා ඔහුව නිදහස් කිරීමට වෑයම් කළේය. ඔහුව මරණයට පත් කරන මෙන් සෙනඟ එකහෙළා ඉල්ලා සිටි නිසා පිලාත් “ඔවුන්ගේ ඉල්ලීම ඉටු කරන ලෙස තීන්දු කළේය.” පසුව ඔහුව වධකණුවක ඇණ ගැසීමට භාර දුන්නේය. (ලූක් 23:13-24) මුලින්ම “පිලාත් යේසුස්ට කසයෙන් තැළීමට අණ දුන්නේය.” (යොහන් 19:1) ඒ අවස්ථාවේදී යේසුස් ඊට විරුද්ධ නොවී යෙසායා පවසා තිබූ ලෙස තමාට ‘පහර දෙන අයට පිට තළන්න ඉඩ දුන්නේය.’

ඉතිහාසයෙන් සාක්ෂි:

● අපරාධකරුවන්ව මරණයට පත් කිරීමට පෙර රෝමවරුන් කසයෙන් තැළූ බව ඉතිහාස වාර්තාවලින් සනාථ වේ. එවැනි වාර්තාවක මෙසේ සඳහන් විය. “පහර දීම් සඳහා යොදාගත් කසය සාදා තිබුණේ ඊයම් සහ තියුණු තහඩු කැබලි සවි කළ සම් පටි කිහිපයකිනි. අපරාධකරුවන්ගේ නිරාවරණය වූ පිටේ සම පැළී යන තෙක් කසයෙන් තැළූහ. එවැනි දරුණු පහර දීම් නිසා සමහර අපරාධකරුවෝ මිය ගියෝය.” (Halley’s Bible Handbook) නමුත් යේසුස්ට එය දරාගැනීමට හැකි විය.

යේසුස්ගේ මරණය ගැන කියා තිබිණ

2වෙනි අනාවැකිය: “ඔහු තම දිවි පිදුවේය.” (යෙසායා 53:12) * ඒ අනාවැකිය පිළිබඳ තවත් විස්තර ගීතාවලිය පොතේ මෙසේ සඳහන් වෙයි. ‘නපුරන් රැළ මා [යේසුස්] වටලාගෙන ඔවුහු මාගේ අත් පා සිදුරු කළෝය.’—ගීතාවලිය 22:16, පැරණි අනුවාදය.

ඉටු වීම: පිලාත්, “යේසුස්ට කසයෙන් තළන්න කියා අණ කර, ඔහුව කණුවක ඇණ ගසා මරණයට පත් කිරීම සඳහා භාර දුන්නේය” කියා මාක් 15:15හි සඳහන් වෙයි. යේසුස්ගේ මරණ දඬුවමට ඔහුගේ අත් සහ පාද කණුවක තබා ඇණ ගැසීමත් ඇතුළත් විය. එය ඉතා කෲර මරණ දඬුවමක් විය. (යොහන් 20:25) ඉන් පැය කිහිපයකට පසු “යේසුස් මහත් හඬකින් කෑගසා අවසන් හුස්ම හෙළුවේය.”—මාක් 15:37.

ඉතිහාසයෙන් සාක්ෂි:

● යේසුස් මිය ගිය ආකාරය ගැන වෙනත් පොත් පත්වල සඳහන් වන්නේ අල්ප වශයෙනි. පිළිගත් රෝම ඉතිහාසඥයෙක් වන ටැසිටස් උපත ලැබුවේ ක්‍රි.ව. 55දී පමණය. ඔහු මෙවැනි දෙයක් සඳහන් කළේය. “ක්‍රිස්තියානීන් යන නම ලැබී තිබෙන්නේ ටයිබීරියස්ගේ පාලන සමයේදී පොන්තියුස් පිලාත් විසින් මරණයට පත් කරන ලද ක්‍රිස්තුස්ගෙනි.” * ටැසිටස්ගේ එම වාර්තාවේ සඳහන් ටයිබීරියස් සීසර්, පොන්තියුස් පිලාත් සහ වෙනත් නිලධාරීන්ගේ නම් සුවිශේෂ වාර්තාවලද සඳහන් වේ.—ලූක් 3:1; 23:1-33; යොහන් 19:1-24.

වහලුන් සහ අපරාධකරුවන් ලෙස ගණන්ගනු ලැබූ අයව රෝමවරුන් කණුවක එල්ලා මරණයට පත් කළ බව ඉතිහාස පොත්වල සඳහන් වෙයි. සමහර අවස්ථාවලදී අපරාධකරුවන්ව කණුවක තබා ගැට ගැසූ අතර තවත් අවස්ථාවලදී කණුවක තබා ඇණ ගසන ලදි. “ගසන ලද එම ඇණ අත් පා පසාරු කරගෙන ගිය බවත් අපරාධකරුවන්ට අසීමිත වේදනාවකින් හා දැඩි පිපාසයකින් කණුවේ එල්ලී සිටීමට ඉඩහැරිය බවත්” එක් පොතක සඳහන් විය.—Halley’s Bible Handbook.

ඉහත සඳහන් කළ ලෙස තමන් කුරිරු මරණයක් අත් විඳින්න යන බව යේසුස් දැන සිටියේය. කෙසේවෙතත් ඔහුගේ ජීවිතයේ අවසාන මොහොතට ළං වෙමින් සිටින විට මෙම නිර්භීත මිනිසා පැවසුවේ මෙසේයි. “අපි දැන් යන්නේ යෙරුසලමටයි. එහිදී මනුෂ්‍ය පුත්‍රයාව නායක පූජකයන් හා නීතිය පිටපත් කරන්නන් අතට භාර දෙනු ලබයි. එවිට ඔවුන් ඔහුව මරණයට නියම කරයි. ඉන්පසු ඔවුන් ඔහුව වෙනත් ජාතීන් අතට භාර දෙයි. ඒ ජාතීන් ඔහුට කවටකම් කර කසයෙන් තළා, කණුවක ඇණ ගසා මරා දමයි.” (මතෙව් 20:18, 19) නමුත් සමහරුන් මෙසේ ප්‍රශ්න කරයි. ඇයි ඔහුට මිය යන්න සිදු වුණේ? එම ප්‍රශ්නයට අදාළ පිළිතුරෙහි අප සෑමදෙනාටම ප්‍රයෝජනවත් වටිනා සත්‍යයක් අඩංගුයි. එම සත්‍යය අපේ ජීවිතවලට නව ආලෝකයක් ලබා දෙයි.

අප කළ වැරදි නිසා ඔහු දරුණු ලෙස දුක් පීඩා වින්දේය

අප සෑම කෙනෙක් අතින්ම වැරදි සිදු වන්නේ අපට උරුම වී තිබෙන පාපය නිසයි. අප මහලු වී මිය යන්නේද ඒ නිසයි. “අපේ පව්කාර ස්වභාවයට ගෙවිය යුතු කුලිය මරණය” වුවත් යේසුස්ගේ ජීවිත පූජාව නිසා අපට සදහටම ජීවත් වීමේ භාග්‍ය ලැබී තිබේ. (රෝම 6:23) එය සිදු වන්නේ කෙසේද කියා යෙසායා පැවසූ තවත් අනාවැකියකින් පැහැදිලි වෙයි. යේසුස් තම ජීවිතය පූජා කළේ “අපේ පාප” හෙවත් ‘අප කළ වැරදි නිසයි.’ එහි මෙසේද සඳහන් වෙයි. “ඔහු ලැබූ තුවාල නිසා අපි සුවය ලබන්නෙමු.” *යෙසායා 53:5.

ඉහත සඳහන් යෙසායා පැවසූ අනාවැකිය යොහන් 3:16හි ඇති මේ වදන් සිහිගන්වයි. “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”

යේසුස් කෙරෙහි විශ්වාසයක් ගොඩනඟාගැනීමට නම් ඔහු ගැන ඉගෙනගත යුතුයි. යේසුස් කළ යාච්ඤාවකදී ‘සදාකාල ජීවනය ලබාගැනීමට නම් එකම සැබෑ දෙවිවත් ඔහු එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස්වත් දැන හඳුනා ගත යුතුයි’ කියා ඔහු පැවසුවේය. (යොහන් 17:3) එම දැනුම ලබාගත හැකි වන්නේ බයිබලය තුළින් පමණි.—2 තිමෝති 3:16.

යේසුස්ගේ එකම කැමැත්ත නම් හැකි පමණ පිරිසකට සදාකාල ජීවනය අත් කර දීමයි. ඔහු මිය යෑමට කෙටි කලකට පෙර ඔහු මෙවැනි අනාවැකියක් පළ කළේය. “රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වන පිණිස ජනාවාස වූ මුළු පොළොව පුරාම දේශනා කරනු ලබයි.” (මතෙව් 24:14) එම අනාවැකියද ඒ අයුරින්ම ඉෂ්ට වී ඇති ආකාරය අපි ඊළඟ ලිපි දෙකෙන් සලකා බලමු.

[පාදසටහන්වල]

^ 5 ඡේ. එම ලියවිලි අතරින් සම්පූර්ණ ලියවිල්ලක් ලෙස සොයාගෙන තිබෙන්නේ යෙසායාගේ ලියවිල්ල පමණි. අනික් ලියවිලි කොටස් පමණකි.

^ 5 ඡේ. ගැලවුම්කරු පිළිබඳව ලියවුණු තවත් අනාවැකි දැනගැනීමට 2012 ජූලි පිබිදෙව්! සඟරාව බලන්න.

^ 7 ඡේ. එම බයිබල් පදයේ “මම” කියා සඳහන් වන්නේ යේසුස්ටය. උදාහරණයකට 8වෙනි පදයේ සඳහන් වන්නේ මෙසේයි. “මා [යේසුස්] ධර්මිෂ්ඨයයි ප්‍රකාශ කරන තැනැත්තා [දෙවි] මා අසලම සිටියි.” ඇත්තෙන්ම කිසිම පාපයක් නොකළ යේසුස් තරම් ධර්මිෂ්ඨ කෙනෙක් මිහිපිට සිටියේ නැත.—රෝම 3:23; 1 පේතෘස් 2:21, 22.

^ 12 ඡේ. යෙසායා 52:13–53:12 දක්වා ගැලවුම්කරු ගැන අනාවැකි බොහොමයක් සඳහන් වේ. උදාහරණයකට යෙසායා 53:7හි මෙලෙස සඳහන් වේ. ‘මරන්න ගෙන යන බැටළුවෙකු මෙන් ඔහුවද රැගෙන ගියේය. ඔහුද නිහඬව සිටියේය.’ එහි 10වෙනි වගන්තියේ සඳහන් වන්නේ යේසුස් තම ජීවිතය “වන්දි පූජාවක්” ලෙස ඔප්පු කළ බවයි.

^ 15 ඡේ. වෙනත් පුරාණ වාර්තාවලද ක්‍රිස්තුස් ගැන සඳහන් වෙයි. උදාහරණයකට රෝම ඉතිහාසඥයෙක් වූ සිව්ටෝනියස් (පළවෙනි සියවසේ), බිතිනියේ ආණ්ඩුකාරයා වූ බාල ප්ලිනි (දෙවෙනි සියවසේ මුල්භාගයේ), යුදෙව් ඉතිහාසඥයෙක් වූ ජොසීෆස් (පළවෙනි සියවසේ) යාකොබ්ව හඳුන්වා දුන්නේ, “යේසුස් හෙවත් ක්‍රිස්තුස්ගේ සහෝදරයා” ලෙසයි.

^ 19 ඡේ. යේසුස් “කිසි පාපයක් නොකළේය.” (1 පේතෘස් 2:22) ඒ නිසා ඔහු මිය යා යුතු නැත. නමුත් ඔහු තම ජීවිතය පූජා කළේ අපව පාපයෙන් හා මරණයෙන් මුදවාගැනීමටයි. යේසුස්ගේ මරණය, මුදවාගැනීම සඳහා කළ පූජාවක් ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. (මතෙව් 20:28) මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොත බලන්න. එසේත් නැත්නම් www.pr418.com වෙබ් අඩවියට පිවිසෙන්න.

[20වන පිටුවේ පින්තූරය/කොටුව]

සත්ව පූජාවලින් පිළිබිඹු වූයේ යේසුස්ගේ ජීවිත පූජාවයි

දෙවි ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීතියේ සඳහන් ආඥාවලින් පිළිබිඹු කළේ ගැලවුම්කරු විසින් ඉටු කරනු ලබන කාර්යයයි. උදාහරණයකට ඊශ්‍රායෙල් ජාතිකයෙක් අතින් පාපයක් සිදු වූ විට ඔහුට දෙවිගෙන් සමාව ලබාගැනීම සඳහා සතෙකුව පූජා කිරීම අවශ්‍ය විය. (ලෙවී කතාව 17:11; 22:21) නමුත් එම සත්ව පූජාව මගින් ඔහු කළ පාපයට සම්පූර්ණ සමාවක් ලැබුණේ නැත. (හෙබ්‍රෙව් 10:4) එම පූජාවෙන් පිළිබිඹු කළේ අනාගතයේදී “ලෝකයෙන් පාපය නැති කර දමන දෙවිගේ බැටළු පැටවා” හෙවත් යේසුස්ගේ ජීවිත පූජාවයි. (යොහන් 1:29; හෙබ්‍රෙව් 10:1, 5-10) යේසුස් කෙරෙහි විශ්වාසය තබන සියලුදෙනාටම අනාගතයේදී සදාකාලයටම ජීවත් වීමේ භාග්‍ය උදා වෙයි.—යොහන් 6:40.