Skip to content

පටුනට යන්න

මම ඉස්සර චණ්ඩියෙක්

මම ඉස්සර චණ්ඩියෙක්

මම ඉස්සර චණ්ඩියෙක්

පැවසුවේ සැල්වාඩෝ ගාර්සා

මම තරුණ කාලේ චණ්ඩියෙක්. කවුරු හරි මාව කේන්ති ගැස්සුවාද මම ගැහුවා. මේක දැක්ක අපේ ගමේ හිටිය බොක්සිං ශූරයෙක් මට බොක්සිං ඉගැන්නුවා. පස්සේ මමත් දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙක් වුණා. ඒ නිසා ඇමරිකාවේ හුඟක් තැන්වලට යන්නත් ලැබුණා. පස්සේ මම මැර කල්ලි නායකයෙකුගේ ආරක්ෂකයෙක් හැටියට සේවය කළා.

මම විවාහ වෙලා දරුවන් හයදෙනෙක් ලැබුණට පස්සෙත් මගේ දරුණු ගතිය වෙනස් වුණේ නැහැ. මේ වෙනකොට මම රාත්‍රී සමාජ ශාලාවක අයිතිකාරයෙක්. කිහිප සැරයක්ම මිනිස්සු මාව මරන්න හැදුවා. ඒ වගේ අවදානම් ජීවිතයක් ගත කිරීම මට විනෝදයක් වුණා. එක සැරයක් මම රණ්ඩුවකදී තිබ්බ වෙඩි පහරවලින් මිනිස්සු දෙන්නෙක් හොඳටම තුවාල වුණා. තවත් අවස්ථාවකදී මමයි මගේ යාළුවෝ කට්ටියකුයි එකතු වෙලා ප්‍රසිද්ධ දේශපාලනඥයෙක් පැහැරගන්න සැලසුම් කළා. ඒක පොලීසියට ආරංචි වෙලා මාව අත්අඩංගුවට ගත්තා. මගේ යාළුවන්ව අල්ලන්න ගිය වෙලාවේ ඇති වුණ වෙඩි හුවමාරුවෙන් ඒ යාළුවෝ ඔක්කොම මැරුණා. මම බේරුණේ හිරේ හිටපු නිසයි!

අවුරුදු කිහිපයකට පස්සේ මම හිරෙන් නිදහස් වෙලා රස්සාවක් කරන්න පටන්ගත්තා. දවසක් වැඩ ඇරිලා ගෙදර එනකොට ඉවසන්න බැරි තරම් හිසේ කැක්කුමක් හැදුණා. කරකියාගන්න දෙයක් නැතුව මම දෙවියන්ට යාච්ඤා කළා. ඒ කාලේදී මගේ බිරිඳ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය පාඩම් කරමිනුයි හිටියේ. එයා මට කියලා තිබුණා දෙවියන්ගේ නම යෙහෝවා කියලා. (ගීතාවලිය 83:18) ඒ වෙලාවේ මට ඒක මතක් වෙලා මම යෙහෝවා දෙවියන්ට යාච්ඤා කළා.

මම සනීප වුණාට පස්සේ මගේ බිරිඳ කිව්වා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට යන්න එන්න කියලා. සාක්ෂිකරුවන්ගේ කරුණාවන්තකමයි සැලකිල්ලයි දැක්කම මගේ ඇස්වලට කඳුළු ආවා. ඊටපස්සේ මමත් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා. බයිබලය මම ඉගෙනගත්තේ හුඟක් ආසාවෙන්. මගේ ජීවිතයත් වෙනස් වෙන්න පටන්ගත්තා.

ඒත් කේන්තිය පාලනය කරගන්න නම් ටිකක් කල් ගියා. දවසක් ගෙයින් ගෙට දේශනා සේවයේ යනකොට එක මනුස්සයෙක් අපිට නරක විදිහට බැණ්ණා. ඒ වෙලාවේ මට හොඳටම කේන්ති ගිහින් එයාට ගහන්න අත ඉස්සුවා. ඒත් මගෙත් එක්ක දේශනා සේවයේ හවුල් වුණ සහෝදරයා ඒක වැළැක්වුවා. එයා මට පෙන්නුවා යේසුස්ට නින්දා කරද්දී යේසුස් ඉවසගෙන හිටිය විදිහ ගැන තියෙන බයිබල් පදයක්. එතන කියන්නේ ‘ඔහුට නින්දා කළ විට ඔහු නින්දා කළේ නැහැ’ කියලයි. (1 පේතෘස් 2:23) මම ඒ වචන ටික හිතට ගත්තා.

මගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වුණේ දෙවිගේ බලය නිසයි. (ගලාති 5:22, 23) මගේ කේන්තිය පාලනය කරගෙන සාමකාමී පුද්ගලයෙක් වෙන්න පුළුවන් වුණ එක ගැන මම යෙහෝවා දෙවියන්ට හැමදාම ස්තුති කරනවා. දැන් අපේ පවුලේ හැමෝම ජීවත් වෙන්නේ සතුටින්. ඒ වගේම සමාදානය ලබා දෙන දෙවිව හඳුනාගන්න අනිත් අයට උපකාර කරන්න ලැබීම මම සලකන්නේ භාග්‍යයක් හැටියටයි. මම දැන් පූර්ණකාලීනව දෙවියන්ට සේවය කරනවා.

[9වන පිටුවේ පින්තූරය]

බයිබලය පාඩම් කිරීම නිසා සැල්වාඩෝට සාමකාමී පුද්ගලයෙක් වීමට හැකි වුණා