Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

යාච්ඤා කිරීමට යම් විශේෂිත ස්ථානයකට යා යුතුද?

යාච්ඤා කිරීමට යම් විශේෂිත ස්ථානයකට යා යුතුද?

බොහෝ අය යාච්ඤා කිරීමට පල්ලි වැනි විශේෂිත ස්ථානවලට යයි. තවත් අය එවැනි ස්ථානවලට යෑම සඳහා වන්දනා ගමන් සැලසුම් කරයි. ඔබ සිතන්නේ කුමක්ද? යාච්ඤා කිරීමට යම් විශේෂිත ස්ථානයකට යා යුතුද? නැත්නම් ඕනෑම ස්ථානයක, ඕනෑම වේලාවක දෙවියන්ට යාච්ඤා කළ හැකිද? ඒ පිළිබඳව බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

මිනිස් ඉතිහාසයේ ආරම්භයේදී දෙවියන්ට නමස්කාර කිරීමට විශේෂිත ස්ථාන තිබුණේ නැහැ. මුල් මිනිස් යුවළ ඔවුන්ගේ නිර්මාතෘ වූ යෙහෝවා දෙවියන් සමඟ කතා කළේ ඔවුන් ජීවත් වුණු උයනේ සිටයි. (උත්පත්ති 2:8) මිනිස් පවුල ක්‍රමක්‍රමයෙන් වර්ධනය වන විට නෝවා වැනි ධර්මිෂ්ඨ මිනිසුන් ‘සැබෑ දෙවි සමඟ ගමන් කළා.’ එනම් ඔවුන්ට දෙවි සමඟ කිට්ටු බැඳීමක් තිබුණා. (උත්පත්ති 6:9) නමුත් එවැනි බැඳීමක් ඔවුන් ඇති කරගත්තේ යම් විශේෂිත ස්ථානයකට යෑමෙන් නොවෙයි.

දෙවි ගොඩනැඟිලිවල වසන්නේ නැහැ

මේ මුළු මහත් විශ්වයේ නිර්මාතෘ, මනුෂ්‍යයන් සාදන ගොඩනැඟිලිවල වසන්නේ නැති බව පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් අවබෝධ කරගෙන සිටියා. ඒ බව අතීතයේ විසූ ප්‍රඥාවන්ත සලමොන් රජ පැවසූ දෙයින් දැනගත හැකියි. “දෙවි ඇත්තටම මනුෂ්‍යයන් සමඟ මේ පොළොවේ වාසය කරනවාද? ඔබට වාසය කිරීමට මුළු මහත් විශ්වයම ප්‍රමාණවත් නැහැ.” (2 ලේකම් 6:18) කෙසේවෙතත් නීතියේ සඳහන් වන ආකාරයට දෙවිගේ සේවකයන් වාර්ෂිකව ආගමික උත්සව පැවැත්විය යුතු වුණා. ඒ සඳහා ඔවුන්ට ශුද්ධ කූඩාරමත් පසුව දේවමාලිගාවත් තිබුණා. (නික්මයාම 23:14-17) ඒ වුණත් ඔවුන්ට ඕනෑම වේලාවක එනම් සතුන්ව බලාගන්නා විට, වතුවල වැඩ කරන විට, පවුලේ අය සමඟ සිටින විට හා තනියම සිටින විට යාච්ඤා කළ හැකි වුණා.—ගීතාවලිය 65:2; මතෙව් 6:6.

ඒ හා සමානව අපටත් ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයක සිට යාච්ඤා කළ හැකියි. අපේ ආදර්ශකයාණන් වන යේසුස් ක්‍රිස්තුස්ද නිස්කලංක ස්ථානවලට ගොස් තනිව යාච්ඤා කළා. (මාක් 1:35) උදාහරණයකට එක් අවස්ථාවකදී ‘යේසුස් යාච්ඤා කිරීමේ අදහසින් කන්දකට ගොස් මුළු රාත්‍රිය පුරාම දෙවිට යාච්ඤා කළා’ කියා බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 6:12.

යේසුස් යුදෙව් ජාතිකයෙක් වුණු නිසා යෙරුසලමේ තිබූ දේවමාලිගාවේ පැවැත්වුණු උත්සවවලට ඔහු සහභාගි වුණා. (යොහන් 2:13, 14) නමුත් සැබෑ නමස්කාරය සඳහා භාවිත කළ එම ස්ථානය නැති වී යන කාලයක් පැමිණෙන බව යේසුස් පැවසුවා. ඔහු සමරිතානු ස්ත්‍රියක් සමඟ කතා කරමින් සිටි අවස්ථාවක, එම ජාතිකයන් නමස්කාර කිරීමට ගිය කන්ද ගැන පැවසුවේ “ඔබ සියලුදෙනා පියාණන්ට කරන නමස්කාරය මේ කන්දේදීවත් යෙරුසලමේදීවත් නොකරන කාලයක් එනවා” කියායි. නමුත් සැබෑ නමස්කාරකයන් “දෙවි ලබා දෙන මඟ පෙන්වීමට හා දෙවි එළිදරව් කරන සැබෑ දැනුමට එකඟව දෙවිට නමස්කාර කරන කාලයක් පැමිණෙන” බව ඔහු තවදුරටත් පැවසුවා.—යොහන් 4:21, 23.

විශේෂ ගොඩනැඟිලිවලට ගොස් නමස්කාර කිරීම නොව අවංක හදවතකින් දෙවිට නමස්කාර කිරීම අත්‍යවශ්‍ය බව යේසුස් කාවැද්දුවා. ඉන් අදහස් කළේ යේසුස්ගේ අනුගාමිකයන් කිසිදාක ආගමික ගොඩනැඟිල්ලක නමස්කාර නොකරන බවද? නැහැ.—ක්‍රියා 11:26.

දෙවිගේ සෙනඟ එක පවුලක්

දෙවිගේ සේවකයන් එක පවුලක සාමාජිකයන් වගෙයි. (ලූක් 8:21) සාමාන්‍යයෙන් පවුලක සාමාජිකයන් බොහෝ දේ කරන්නේ එකටයි. උදාහරණයකට කෑම ගැනීම වැනි දේවල් කරන්නේ එකටයි. මෙයින් පවුලේ බැඳීම ශක්තිමත් වෙනවා. දෙවිගේ සේවකයන් අතර පවතින්නෙත් ඒ හා සමාන බැඳීමක්. ක්‍රිස්තියානි රැස්වීම්වලදීද සිදු වන්නේ අපව පෝෂණය කිරීමක්. එයින් අපි එකිනෙකා අතර තිබෙන බැඳීමත් දෙවි සමඟ තිබෙන බැඳීමත් ශක්තිමත් වෙනවා. ඒ ගැන යේසුස්ගේ අනුගාමිකයෙක් වූ පාවුල් පැවසුවේ මෙසේයි. “අපි එකිනෙකා සඳහා උනන්දුවක් හා සැලකිල්ලක් දක්වමින් ප්‍රේමය පෙන්වීමට හා යහපත් ක්‍රියා කිරීමට එකිනෙකාව පොලඹවමු. සමහරුන් පුරුදු වී සිටින ආකාරයට එකට රැස්වීම සඳහා අපට තිබෙන අවස්ථාවන් අතපසු නොකිරීමටද අප වගබලා ගත යුතුයි. එලෙසම අපි එකිනෙකාව දිරිගන්වමු.”—හෙබ්‍රෙව් 10:24, 25.

එකට එක්රැස්වීම වැදගත් බව දෙවිගේ සැබෑ නමස්කාරකයන් තේරුම්ගෙන සිටිනවා. එක් එක් කෙනා සැබෑ ක්‍රිස්තියානියෙක් ලෙස වර්ධනය කරගත යුතු ගුණාංග වන ප්‍රේමය, සමාව දීම, කරුණාවන්තකම, මෘදුකම සහ සමාදානය වැනි ගුණාංග දියුණු කරගැනීමට අන් අයගේ උපකාරය අවශ්‍යයි. කෙනෙක් තනිව දෙවිට නමස්කාර කිරීමෙන් එවැනි ගුණාංග වර්ධනය කරගැනීම අපහසුයි.—2 කොරින්ති 2:7; ගලාති 5:19-23.

යේසුස්ගේ මුල් අනුගාමිකයන් දෙවිට නමස්කාර කිරීම සඳහා බොහෝවිට රැස් වුණේ නිවෙස්වලයි. (රෝම 16:5; කොලොස්සි 4:15) උදාහරණයකට ඉහත සඳහන් කළ පාවුල් සෙසු ක්‍රිස්තියානියෙකුට ලිපියක් ලියනු ලැබුවේ ‘ඔබේ නිවසෙහි රැස් වන සභාව වෙතටය’ කියායි.—ෆිලෙමොන් 1, 2.

එදා මෙන් අදත් යෙහෝවා දෙවිගේ සෙනඟට අවශ්‍ය වන්නේ මිනිසුන්ව ආකර්ෂණය කරගැනීමේ ගොඩනැඟිලි නොව සියලුදෙනාටම රැස්වීමට හැකි ස්ථානයක් පමණයි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රැස් වෙන්නේ එවැනි ස්ථානවලයි. ඒවා හඳුන්වන්නේ නමස්කාර මධ්‍යස්ථාන ලෙසයි. ඔබේ ප්‍රදේශයෙත් එවැනි ස්ථානයක් තිබිය හැකියි. එහි ඔවුන් රැස්වීම් පවත්වන අතර ඊට ගීතිකා ගායනා කිරීම, යාච්ඤා කිරීම සහ බයිබලය මත පදනම් සාකච්ඡා ඇතුළත්.

සාක්ෂිකරුවන්, යාච්ඤාව තුළින් දෙවි සමඟ තිබෙන මිත්‍රත්වය ශක්තිමත් කරගැනීමට ලැබී තිබෙන අවස්ථාවත් බොහෝ සේ අගය කරනවා. බයිබලයේ දිරිගන්වා තිබෙන්නේ “දෙවිට ළං වන්න. එවිට ඔහු ඔබට ළං වෙයි” කියායි. (යාකොබ් 4:8) ඒ නිසා ඔවුන් සෑම දිනකම පවුලක් වශයෙනුත්, පෞද්ගලිකවත් දෙවියන්ට යාච්ඤා කරනවා.

මේ ගැන ඔබ සිතුවාද?

● මිනිසුන් සාදන ගොඩනැඟිලිවල දෙවියන් වාසය කරනවාද?—2 ලේකම් 6:18.

● මුළු රැයක් පුරා යේසුස් යාච්ඤා කරමින් සිටියේ කොහේද?—ලූක් 6:12.

● දෙවිට නමස්කාර කරන අය එකට රැස් වන්නේ ඇයි?—හෙබ්‍රෙව් 10:24, 25.

[15වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

දෙවි ඔබේ යාච්ඤාවලට සවන් දීමට නම් ඔබ යම් විශේෂිත ස්ථානයකට යා යුතුද?