Skip to content

පටුනට යන්න

වැඩි ලකුණු ගන්න වංචා කළාට කමක් නැද්ද?

වැඩි ලකුණු ගන්න වංචා කළාට කමක් නැද්ද?

වැඩි ලකුණු ගන්න වංචා කළාට කමක් නැද්ද?

ඔබ පාසැල් ශිෂ්‍යයෙක් නම් සමහර ළමයින් විභාගවලදී වංචා කරනවා ඔබ දැක ඇති. ඇත්තෙන්ම මේ ගැටලුව ලෝකයේ පුරාම දකින්න තියෙනවා. වර්ෂ 2008දී ජෝසෆ්සන් ආචාර විද්‍යා ආයතනය මගින් ඇමරිකාවේ ශිෂ්‍යයන් 30,000ක් යොදාගෙන සමීක්ෂණයක් කළා. එහිදී ශිෂ්‍යයන්ගෙන් සියයට 64ක්ම එම වසරේ පැවැත්වූ විභාගයේදී වංචා කළා කියා පිළිගත්තා. ඇත්තටම එම සංඛ්‍යාව සියයට 75කට වඩා වැඩි විය යුතු බවයි තවත් අයගේ මතය.

යුරෝපා රටවලත් හරි හරියට වංචනික දේවල් සිදු වෙනවා. විශේෂයෙන්ම මේ සොරකම සිදු වන්නේ ලේඛන කෘති සම්බන්ධයෙන්. “ශිෂ්‍යයන්ගේ රචනා, විශ්වවිද්‍යාල සිසුන්ගේ නිබන්ධන හා ආචාර්ය උපාධියට පෙනී සිටින අයගේ නිබන්ධන සමහර පුද්ගලයන් සොරකම් කර ඒවා තමන්ගේම කෘති ලෙස වෙබ් අඩවිවල එළිදක්වනවා” කියා එක් සඟරාවක සඳහන් වුණා.—Digithum.

වංචා කිරීමට බොහෝදෙනෙක් පෙලඹෙන්නේ ඇයි? වංචා කරන අයට එයින් වාසියක් තිබෙනවාද? අවංකව කටයුතු කර අඩු ලකුණු ලැබුවත් එයයි හරි දේ කියා පවසන්නේ ඇයි?

ඇයි මෙතරම් වංචාවක්

සාරධර්මවල පිරිහීම. “මෙතරම් වංචාවක් සිදු වීමට හේතුව ආත්මාර්ථකාමී සිතුවිලි කියා අධ්‍යාපනවේදීන් පවසන” බව එක් සඟරාවක සඳහන් වුණා. (American School Board Journal) ඉහළ පන්තිවල ඉගෙනගන්නා ශිෂ්‍යාවක් පැවසුවේ මෙසේයි. “අපි හැමෝම වගේ වංචනික දේවල් කරනවා. වැඩි ලකුණු ගත්තොත් විතරයි අපිට හොඳ ඉස්කෝලයක් ලැබෙන්නේ. අපි නරක ළමයි නෙවෙයි. අපිට ඕනේ හොඳ විශ්වවිද්‍යාලයකට ගිහින් උසස් අධ්‍යාපනයක් ලබන්න.” සමහර දෙමාපියන් පවා දරුවන් ඒ වගේ දේවල් කරන විට ඇස් කන් පියාගෙන සිටින්නේ දරුවන් සාර්ථක වෙනවා දැකීම ඔවුන්ගේ එකම ආශාව නිසයි.

දක්ෂයන් අතරේ සිටීමට ඇති පීඩනය. ශිෂ්‍යයන්ගේ අවංකභාවය ගැන සොයා බලන ජාත්‍යන්තර පදනමක නිර්මාතෘවරයෙක් වන ඩොනල්ඩ් මැකේබ් මෙසේ පැවසුවා. “බොහෝ ශිෂ්‍යයන් වංචා කිරීමට පෙලඹෙන්නේ සමහර සිසුන් වංචනික ලෙස වැඩි ලකුණු අරගෙන කිසි දඬුවමක් නොලබා සාර්ථක වෙනවා දකින නිසයි.”

නවීන තාක්ෂණය. නවීන අංග උපාංග නිසාත් ශිෂ්‍යයන්ට වංචනික ක්‍රියා කිරීම පහසුයි. උදාහරණයකට විභාගවලට අවශ්‍ය වන රචනා හා පර්යේෂණය කර ලබාගත යුතු තොරතුරු ශිෂ්‍යයන් අන්තර්ජාලය හරහා ලබාගන්නවා. ඒ වගේම ඒවා ඔවුන්ගේ මිත්‍රයන් අතරේ බෙදාගන්නවා. එවැනි වංචනික ක්‍රියා සිදු කරන අය බොහෝවිට හසු වන්නේ නැහැ. ඒ නිසා එය අනික් අයටත් වංචනික ක්‍රියා කිරීමට දිරි දීමක්.

නරක බලපෑම්. ව්‍යාපාර හා දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා තරඟවලදීත් වංචනික ක්‍රියා බහුලව සිදු වෙනවා. නිවෙස් තුළ පවා දෙමාපියන් බදු ගෙවීමේදී හා රක්ෂණ වන්දි ලබාගැනීමේදී වංචනික ලෙස කටයුතු කරනවා. “මම හිතන විදිහට යම් තනතුරු දරන අය හෝ වැඩිහිටියන් වංචනික ලෙස කටයුතු කරන විට ඒවා දකින දරුවන්ද එසේ කිරීම වැරදි නැහැ කියා සිතනවා.” එසේ සඳහන් වුණේ ඩේවිඩ් කැලහැන් විසින් ලියනු ලැබූ පොතකයි. එහි සත්‍යතාවක් තිබෙනවාද? වැඩි ලකුණු ගැනීමට වංචා කිරීම වැරදිද? අපි ඒ ගැන සලකා බලමු.—The Cheating Culture.

වංචාව සුදුසු නොවන්නේ ඇයි?

මෙසේ කල්පනා කර බලන්න. ‘හොඳ අධ්‍යාපනයකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?’ ඇත්තෙන්ම අධ්‍යාපනයකින් සිදු විය යුත්තේ දරුවෙකුව වගකීම් ඉසිලිය හැකි, ගුණ යහපත් පුද්ගලයෙකු කිරීමයි. ඒත් පාසැල් කාලයේ වංචනික ක්‍රියා කරනවා නම් හොඳ ගතිගුණ වර්ධනය වෙයිද? එවැනි කෙනෙක් සැමදා තමන්ගේ නියම ස්වභාවය වසං කරන නිසා ඔහුට කිසි දිනක සාර්ථක විය නොහැකියි.

ඒ විතරක් නොව, “පාසැල් කාලයේ වංචා කරන ළමයි රැකියාවක් කරන කාලයේදීත් හැසිරෙන්නේ වංචනික ලෙසයි” කියා ඩේවිඩ් කැලහැන් පවසනවා. ඒ දරුවන් හරියට ව්‍යාජ වෙළඳ නාමයක් ඇති භාණ්ඩ වගෙයි. පිටතින් හොඳයි වගේ පෙනුණත් කිසි වටිනාකමක් නැහැ.

වංචා කිරීම සෙල්ලමක් නොවෙයි. කවදා හෝ දවසක හසු වුණොත් වන්දි ගෙවන්න සිදු වෙන්නේ පොලියත් සමඟයි. අන්තිමේදී ඉතුරු වන්නේ ලැජ්ජාව පමණයි. සමහරවිට පාසැලෙන් අස් කිරීමට හෝ ඊටත් වඩා බරපතළ දඬුවම් ලැබීමට පවා පුළුවන්. බයිබලයේ දී තිබෙන මේ උපදෙස සත්‍යයක් බව එදාට තේරුම්ගනියි. “කෙනෙක් නෙළාගන්නේ තමා වපුරන දෙයමයි.” (ගලාති 6:7) ඒත් කෙනෙක් අවංක විය යුත්තේ වංචා කර හසු වුණොත් කරදරයකට වැටෙන නිසාම නොවෙයි. ඊට වඩා හොඳ හේතුවක් තිබෙන නිසයි.

අවංකකම නියම සාර්ථකත්වයට මඟයි

බුද්ධිමත් දරුවෙක් හොඳ ගතිගුණ ඇති කරගන්නේ අධ්‍යාපනයෙන් සාර්ථක වීමට පමණක් නොවෙයි. ජීවිතේ සෑම කාරණයකටම එය අත්‍යවශ්‍ය නිසයි. ඒ නිසා ඔවුන් වෑයම් කරන්නේ පාසැලේදී උනන්දුවෙන් කටයුතු කර අනාගතයේදී සමාජයට වැඩදායක පුද්ගලයෙක් වීමටයි. සදාකාලික සතුටට දායක වන්නේ එයයි.

අවංක කෙනෙක් වීමට අවශ්‍ය යහපත් ගුණාංග මොනවාද කියා බයිබලයේ සඳහන් වෙනවා. ඒ අනුව ජීවත් වෙන යෞවනයන්ගේ ජීවිත සාර්ථකයි. ඔවුන් ‘සියලු දේ කිරීමට සමත් එනම්, සෑම යහපත් ක්‍රියාවක් කිරීම සඳහා සැදී පැහැදී සිටින’ අය බවට පත් වෙනවා. (2 තිමෝති 3:16, 17) නවවන පන්තියේ සිටින හෝර්හේ මෙසේ පවසනවා. “මගේ පන්තියේ ළමයි හොර වැඩ කරන්නේ මහන්සි වෙන්නේ නැතුව වැඩි ලකුණු ගන්න. ඒත් මට අවශ්‍ය යෙහෝවා දෙවිව සතුටු කරන්න. බයිබලයේ කියන්නේ ‘ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගත කරන අයට යෙහෝවා දෙවි කෙරෙහි ගරුබියක් තියෙනවා’ කියලයි. ඒත් ‘වංක තැනැත්තා දෙවිව සුළු කොට තකනවා’ කියලත් කියනවා. (හිතෝපදේශ 14:2) දෙවිට හැම දෙයක්ම පේනවා. ඒ නිසා මම හොර වැඩ කරන්නේ නැහැ. ඒ වගේම අනික් අයට හොර වැඩ කරන්න උදව් කරන්නෙත් නැහැ.”

බයිබලයේ ප්‍රතිපත්තිවලට එකඟව ජීවත් වෙන දරුවන් පන්තියේ දක්ෂම දරුවන් වෙන්න හෝ නොවෙන්න පුළුවන්. නමුත් ඔවුන් තමයි ඥානවන්තම අය. ඔවුන් තම ජීවිතය ස්ථිර අඩිතාලමක් මත ගොඩනඟනවා. (ගීතාවලිය 1:1-3; මතෙව් 7:24, 25) ඒ විතරක් නොවෙයි, ඔවුන්ට යෙහෝවා දෙවිගේ ආශීර්වාදයද ලැබෙයි.

[28වන පිටුවේ පින්තූරය/කොටුව]

රන් ඔවදන්

● “සත්‍යය කතා කරන තැනැත්තා සදහටම පවතියි. නමුත් බොරු කියන දිව සැණෙකින් නිහඬ කරනු ලබයි.”—හිතෝපදේශ 12:19.

● “විශ්වාසවන්තව ක්‍රියා කරන කෙනාට බොහෝ ආශීර්වාද ලැබේ.”—හිතෝපදේශ 28:20.

● “සැබෑ දෙවි මිනිසාගේ සියලු ක්‍රියා ගැනත් සියලු රහස් කාරණා ගැනත් සොයා බලා ඒවා යහපත්ද නැද්ද කියා විනිශ්චය කරනු ඇත.”—දේශනාකාරයා 12:14.

● ‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’—හෙබ්‍රෙව් 13:18.

[26, 27වන පිටුවල පින්තූර]

නවීන තාක්ෂණය නිසා ශිෂ්‍යයන්ට වංචනික ක්‍රියා කිරීමට පහසු වී තිබෙනවා

[28වන පිටුවේ පින්තූරය]

වංචා කරන දරුවන් හරියට ව්‍යාජ වෙළඳ නාමයක් ඇති අත් ඔරලෝසුවක් වගෙයි. හොඳයි වගේ පෙනුණත් වටිනාකමක් නැහැ