දෙමව්පියන්ට කළ හැකි දේ
“පන්තියේ ළමයි ඉන්නේ හිරවෙලා. ෆෑන් එකක්වත් නැහැ. පුදුම රස්නයක්. හුස්ම ගන්නෙත් අමාරුවෙන්.”—බොලිවියාවේ ලූයිස්.
“අපේ ඉස්කෝලේ ගුරුවරු හිටියේ ටිකදෙනයි. ඒ නිසා ළමයින්ට ඒ තරම් අවධානයක් ලැබුණේ නැහැ. අවශ්‍ය සිතියම් තිබුණේ නැහැ. විද්‍යාගාරයේ උපකරණ තිබුණෙත් නැහැ. පුස්තකාලයක් තිබුණෙත් නැහැ.”—මියන්මාරයේ ඩෝකස්.
“ගුරුවරුන් හුඟදෙනෙකුට අපේ පන්තියේ ළමයින්ව පාලනය කරගන්න බැහැ. සමහර දවස්වලට ළමයි දඟ වැඩ කරන නිසා පාඩම්වලට අවධානය දෙන්නත් අමාරුයි.”—දකුණු අප්‍රිකාවේ නීනා.
ඉහත අද්දැකීම්වලින් පෙනී යන්නේ සමහර පාසැල්වල ඉගෙනගැනීමට සුදුසු වාතාවරණයක් නැති බවයි. එවැනි දුෂ්කර තත්වයන් යටතේ ඉගෙනගන්න දරුවන්ට උපකාර කරන්න දෙමව්පියන් හැටියට ඔබට කරන්න පුළුවන් කුමක්ද? යෝජනා කිහිපයක්.
පියවර ගන්න.
එවැනි දුෂ්කර තත්වයක් වෙනස් කරන්න ඔබට හැකියාවක් නැහැ. ඒත් ඔබට කළ හැකි දේ මොකක්ද කියා සොයා බලන්න පුළුවන්. ඔබේ දරුවාට යම් විෂයක් අමාරුයි කියා සිතෙනවා නම් හෝ දරුවාට දෙන ගෙදර වැඩ අධිකයි කියා සිතෙනවා නම් දරුවා සමඟ එකතු වී ඊට විසඳුමක් සොයන්න. උදාහරණයකට පාඩම් කිරීම සඳහා දරුවාට නිවසේ සුදුසු තැනක් තිබෙනවාද? වැඩිපුර අවධානය දිය යුතු ක්‍රියාකාරකම්වලට අවධානය දීම සඳහා කාලය කලමනාකරණය කිරීමට දරුවාට යම් උපකාරයක් අවශ්‍යද? අමාරු විෂයන් සඳහා දරුවාව අමතර පන්තියකට යැවිය යුතුද? ඊට අමතරව ඔබේ දරුවාගේ ගුරුවරුන් සමඟ කතා කර දරුවාට අවශ්‍ය උපකාර දැනගන්න. දරුවාගේ ගුරුවරුන්ව මිතුරන් හැටියට සලකන්න.
අධ්‍යාපනයේ මූලික අරමුණ දරුවාට අවබෝධ කර දෙන්න.
අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ වගකීම් උසුලන ගුණ යහපත් පුරවැසියන් බිහි කිරීමයි. අධ්‍යාපනය ලැබිය යුත්තේ රැකියාවක් සඳහා පමණක් නොවේ. නමුත් පර්යේෂණවලින් හෙළි වී තිබෙන්නේ බොහෝ යෞවනයන් අධ්‍යාපනය ලැබීමේ එකම අරමුණ හොඳ රැකියාවක් සොයාගැනීම බවයි. බයිබලයේ මුදල් සම්බන්ධයෙන් තබාගත යුතු සමබර ආකල්පය ගැන උපදෙස් දී තිබෙනවා. එහි පවසන්නේ “මුදල ආරක්ෂාවක්” වුවත් ‘පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අයට’ ජීවිතයේ සතුට අද්දකින්න බැරි බවයි.—දේශනාකාරයා 7:12; 1 තිමෝති 6:9.
දුෂ්කර තත්වයන්ට මුහුණ දීමට දරුවාව පුහුණු කරන්න.
බොහෝ ගුරුවරුන් පවසන්නේ සමහර දරුවන් සමඟ කටයුතු කරනවාට වඩා දෙමාපියන් සමඟ කටයුතු කිරීම අපහසු බවයි. තමන්ගේ දරුවා ලකුණු අඩුවෙන් ලබාගත් විට හෝ වෙනත් ගැටලුවකට මුහුණ දුන් විට ඊට මැදිහත් වෙන්නේ දෙමව්පියනුයි. උදාහරණයකට ගුරුවරියකගේ අද්දැකීමක් ටයිම් සඟරාවේ මෙසේ වාර්තා කර තිබුණා. “ඇගේ පන්තියේ සමහර ශිෂ්‍යයන් අඩු ලකුණු ගත් විට ඒ මොහොතේම
ඔවුන් තම දෙමව්පියන්ට දුරකථනයෙන් කතා කර ඉන්පසු ගුරුවරියටත් දෙමව්පියන් සමඟ කතා කිරීමට දුරකථනය දෙනවා. මෙලෙස දෙමව්පියන් මැදිහත් වීම නිසා එය පන්තියේ ඉගැන්වීම් කටයුතුවලට බාධාවක්. දෙමව්පියන් පවසන්නේ ඔවුන් දරුවන් වෙනුවෙන් හුඟක් වියදම් කරන නිසා දරුවන් හොඳම ලකුණු ලබාගත යුතු බවයි.”දෙමව්පියන් එලෙස කටයුතු කිරීමෙන් හානියක් සිදු වන්නේ දරුවන්ටයි. මේ පිළිබඳව එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “දෙමව්පියන් මැදිහත් වෙන නිසා දරුවන් තනිවම තීරණ ගැනීමටත් ප්‍රශ්න ගැටලු විසඳාගැනීමටත් ඉගෙනගන්නේ නැහැ. දරුවන්ගේ සෑම ප්‍රශ්නයක්ම දෙමව්පියන් විසඳීමට උත්සාහ කරනවා නම් දරුවන් වැඩිහිටියන් වූ පසු යම් දිනක ප්‍රශ්න ගැටලුවලට මුහුණ දෙන විට ඔවුන් අසරණ වෙනවා.”—The Self-Esteem Trap.
අධ්‍යාපනය සම්බන්ධයෙන් සමබර වෙන්න.
කලින් සඳහන් කළ ලෙස අධ්‍යාපනය ලැබීමෙන් බලාපොරොත්තු වන්නේ දරුවාව වගකීම් ඉසිලිය හැකි ගුණ යහපත් පුරවැසියෙක් කිරීමයි. (උත්පත්ති 2:24) ඒ සඳහා අධ්‍යාපනය ලැබිය යුත්තේ කොතෙක් දුරකටද?
දරුවෙකුට හොඳ රැකියාවක් ලබාගැනීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබිය යුතුයි කියා සිතන්න එපා. වෙනත් පාඨමාලා හැදෑරීමෙන්ද විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් සතු කෙනෙකුට ලැබෙන රැකියාවක් හා සමාන රැකියාවක් සොයාගත හැකියි.
නිගමනය: අප බලාපොරොත්තු වන ආකාරයේ සර්ව සම්පූර්ණ අධ්‍යාපනයක් පාසැලකින් ලැබෙන්නේ නැහැ. මීට දශක කිහිපයකට පෙර දරුවන් මුහුණ නොදුන් ආකාරයේ අභියෝගවලට අද සිටින දරුවන් මුහුණ දෙනවා. නමුත් දෙමව්පියෙනි, ඔබේ සහයෝගය ඇතුව දරුවන්ට සාර්ථක විය හැකියි. මෙම සඟරාවේ 3වෙනි පිටුවේ සිට 7වෙනි පිටුව දක්වා ඇති තොරතුරු පවුලක් හැටියට සාකච්ඡා කරන්න.