Skip to content

පටුනට යන්න

සැලසුම් කරන්න

සැලසුම් කරන්න

සැලසුම් කරන්න අවශ්‍ය වන්නේ පොඩි උත්සාහයක්. ඒත් ඒකෙන් ලැබෙන ප්‍රයෝජන බොහොමයි. කාලය ඉතුරුයි, පීඩනය අඩුයි, ලකුණුත් වැඩියි.

බඩුවක් මිල දී ගන්න ඔබ වෙළඳසැලකට ගියා කියා සිතන්න. ඒ වෙළඳසැලේ බඩු පිළිවෙළකට අසුරා නැත්නම් ඔබ ගන්න ගිය බඩුව හොයාගන්න පහසු වෙයිද? නැහැ. ඒත් බඩු පිළිවෙළකට රාක්කවල අසුරා ලේබල් කර තිබෙනවා නම් ඒ බඩුව හොයාගන්න පහසු වෙයි. ඔබේ පාසැල් කටයුතුවලටත් ඒ ක්‍රමය අදාළ කරගන්න පුළුවන් කොහොමද?

කළ යුතු දේවල් ලියාගන්න.

ඇමරිකාවේ ජීවත් වන 18 හැවිරිදි යෞවනියක් මෙවැනි දෙයක් පවසනවා. “එක සති අන්තයක මම යාළුවෙකුගේ ගෙදර හිටපු නිසා ඉස්කෝලේ දීපු වැඩයි ගෙදර කරන්න තිබුණ වැඩයි සම්පූර්ණයෙන්ම අමතක වුණා. සඳුදා ඉස්කෝලේ ගියාම දීපු වැඩ ටික පස්සේ කරලා පෙන්නන්නං කියලා ගුරුවරුන්ට පින්සේණ්ඩු වෙන්න සිද්ධ වුණා. ඒත් දැන් මම කරන්න ඕනේ වැඩ ටික ලියාගන්නවා. ඒ නිසා අමතක වෙන්නේ නැහැ.”

කරන්න ඕනේ වැඩ ටික ලියාගැනීම පැපුවා නිව් ගිනියාවේ ජීවත් වන සෙලෙස්ටින්ටත් උපකාරවත් වී තිබෙනවා. ඇගේ පාසැල් කාලය සිහිපත් කරමින් ඇය මෙසේ පවසනවා. “මට කරන්න තිබුණ ඉස්කෝලේ වැඩ, විභාගවල වැඩ, අමතර වැඩ වගේ හැම දෙයක්ම මම ලියාගත්තා. ඒ නිසා වෙලාවට වැඩ ඉවර කරන්නත් මුලින් කරන්න ඕනේ වැඩවලට මුල් තැන දෙන්නත් මට පුළුවන් වුණා.”

යෝජනාවක්: ඔබ කරන්න ඕනේ වැඩ පොතක ලියාගන්න. එහෙම නැත්නම් ජංගම දුරකථනය හෝ වෙනත් ක්‍රමයක් භාවිත කරන්න.

කල් දාන්න එපා.

“මම පස්සේ කරන්නම්” කියලා කියන්න ලේසියි. ඒත් පාසැලෙන් දෙන ගෙදර වැඩ වගේ දේවල් පුළුවන් ඉක්මනින් කිරීම වඩා හොඳයි.

යෝජනාවක්: ඔබ පාසැල ඇරී ගෙදර ආ පසු, හැකි විගස පාසැලෙන් දුන් ගෙදර වැඩ කරන්න. පසුව රූපවාහිනිය නැරඹීමට හෝ වෙනත් විනෝදාංශයක නියැලෙන්න පුළුවන්.

සූදානම් කරගන්න.

කවදා හෝ දවසක පන්තියට ආවට පස්සේ ඔබට මතක් වෙලා තියෙනවද පොත ගෙනාවේ නැහැ, පෑන ගෙනාවේ නැහැ කියලා. මියන්මාරයේ ජීවත් වන ශිෂ්‍යයෙක් කළ දේ බලන්න. “ඉස්කෝලේ ගෙනියන බෑග් එක මම කලින්ම සූදානම් කරලා තිබ්බා.” ඔබටත් ඒ වගේ කරන්න පුළුවන්.

යෝජනාවක්: පාසැලට ගෙනියන බෑග් එක පිළිවෙළකට සූදානම් කරගන්න. එවිට ඉක්මනින් දේවල් හොයාගන්න පුළුවන්.

නිගමනය: කලින්ම දේවල් සැලසුම් කරනවා නම් අමතක වීම, ප්‍රමාද වීම වළක්වාගන්න පුළුවන් වගේම වෙනත් දේවල් සඳහාත් කාලය ඉතුරු වෙයි.

ඔබ දැනටමත් පරක්කු නැහැ. ඔබ සැලසුම් කළ යුත්තේ මොන වගේ දේවල්ද කියා සිතන්න. ඉන්පසු ඒ සඳහා දෙමව්පියන්ගෙන් හෝ මිතුරෙකුගෙන් උපකාර ලබාගන්න.