Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

තමන් සතු දේ ප්‍රදර්ශනය කිරීම හරිද?

තමන් සතු දේ ප්‍රදර්ශනය කිරීම හරිද?

‘කෙනෙක් ළඟ ඉතා මිල අධික වෙළඳ භාණ්ඩ හෝ ප්‍රසිද්ධ වෙළඳ ලාංඡන සහිත ඇඳුම් පැළඳුම් තිබෙනවා නම් ඔහුට හෝ ඇයට ඒකෙන් උඩඟුකමක් ඇති වෙනවා.’—මනෝ වෛද්‍යවරයෙක් වන චේටර් ඩී. මේසන්.

අන් අයගේ ප්‍රසාදය දිනාගැනීමට තමන් සතු දේවල් ප්‍රදර්ශනය කිරීමට බොහෝ අය කැමතියි. උදාහරණයකට ආසියානු රටක තත්වය ගැන එක් පුවත්පතක මෙසේ සඳහන් වුණා. “මෑතකදී ධනවතුන් වූ අය ආනයනය කරන ලද සුඛෝපභෝගී භාණ්ඩ, නවීන පන්නයේ මෝටර් රථ වැනි දේවල් මිල දී ගෙන තමන්ගේ වත්කම් අන් අයට ප්‍රදර්ශනය කරනවා.”—The Washington Post.

යම් පුද්ගලයෙක් වෙහෙස මහන්සි වී උපයාගන්නා මුදලින් තමන් සතුටු දෙයක් මිල දී ගැනීමේ වරදක් නැහැ. බයිබලයේ සඳහන් වන්නේ “මිනිසා තමන් වෙහෙස මහන්සි වී උපයාගත් දේ භුක්ති විඳ, කා බී සතුටින් සිටීමත් ඉතා යහපත් දෙයකි. එය දෙවිගෙන් ලද ආශීර්වාදයකි” කියායි. (දේශනාකාරයා 3:13) නමුත් තමන් සතු වටිනා දේවල් ප්‍රදර්ශනය කිරීම සුදුසුද? ඒ ගැන බයිබලයේ සඳහන් වන්නේ කුමක්ද?

“පොහොසතා මිතුරන්ගෙන් වට වී සිටින්නේය”

ඇත්තටම පොහොසත් පුද්ගලයන් හෝ පොහොසත්කමක් මවාපාන පුද්ගලයන් වටා ගැවසෙන්නේ මොන වගේ මිත්‍රයන්ද? එයට පිළිතුරු දැනගැනීමට පෙර මිනිසුන් වැඩියෙන්ම ආකර්ෂණය වන්නේ මොන වගේ අයටද කියා මුලින්ම සොයා බලමු. බයිබලයේ සඳහන් වන්නේ “දිලින්දාගේ අසල්වැසියෝ පවා ඔහුව හෙළාදකින්නෝය. නමුත් පොහොසතා මිතුරන්ගෙන් වට වී සිටින්නේය” කියායි.—හිතෝපදේශ 14:20.

බයිබලයේ සඳහන් ලෙස ‘පොහොසතා මිතුරන්ගෙන් වට වී සිටිනවා.’ එවැනි කෙනෙකු සමඟ මිත්‍ර වීමට බොහෝ අය උත්සාහ කරන්නේ ඔහුට ඇති ආදරය නිසා නොව ඔහුගේ මුදල්වලට ඇති කෑදරකම නිසයි. ඔවුන්ගේ මිත්‍රත්වය මෙන්ම ඔවුන්ගේ කතාබහද බොරුවක්. එවැනි බොරු කතාබහ හෙවත් චාටු බස් ඔවුන් පවසන්නේ ධනවතාගේ වස්තුවට ඇති ‘තණ්හාව’ නිසයි.—1 තෙසලෝනික 2:5.

මට ඕනේ මොන වගේ මිත්‍රයන්ද? මට ඇත්තටම ආදරය කරන මිත්‍රයන්ද නැත්නම් මගේ වත්පොහොසත්කම්වලට ආදරය කරන මිත්‍රයන්ද කියා ඔබ මොහොතකට කල්පනා කර බලන්න. බයිබලයේ සඳහන් ලෙස අපට ළං වෙන්නේ මොන මිතුරන්ද කියා තීරණය වන්නේ අපි හැසිරෙන ආකාරය අනුවයි.

“නිහතමානී අය ප්‍රඥාවන්තය”

තමන් සතු වස්තුව ප්‍රදර්ශනය කිරීමෙන් ඇති විය හැකි තවත් අනතුරක් ගැන දැනගැනීමට අතීතයේදී යෙරුසලම පාලනය කළ රජෙක් වූ හෙසකියා ක්‍රියා කළ ආකාරය බලමු. එක් අවස්ථාවකදී හෙසකියා රජ බැබිලෝනියෙන් පැමිණි නිලධාරීන්ට ‘තම වස්තු ගබඩාවේ තිබුණු සියල්ල පෙන්නුවා.’ එම වස්තු සම්භාරය දුටු ඔවුන් පුදුමයට පත් වූ අතර ඒවා කෙරෙහි මහත් තණ්හාවක්ද ඇති කරගත්තා. එම නිලධාරීන් පිටත්ව ගිය පසු දෙවියන්ගේ අනාගතවක්තෘ කෙනෙක් වූ යෙසායා, හෙසකියා රජට මෙසේ පැවසුවා. ‘ඔබ රැස් කර තිබෙන සියල්ල බැබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේය. මෙහි කිසිවක් ඉතුරු නොවන්නේය.’ පසු කාලයකදී බැබිලෝනිවරුන් පැමිණ හෙසකියා රජ සතුව තිබූ සෑම සම්පතක්ම රැගෙන ගියා.—2 රාජාවලිය 20:12-17; 24:12, 13.

ඒ හා සමානව අද දිනත් තමන් සතු දේවල් ප්‍රදර්ශනය කරන අයට ඒවා අහිමි විය හැකියි. මෙක්සිකෝවේ අපරාධ විමර්ශන අංශය විසින් නිකුත් කළ වාර්තාවක මෙසේ සඳහන් වුණා. “අධික වටිනාකමකින් යුත් ආභරණ, ඔරලෝසු පැළඳීම හා අන් අයට පෙනෙන ලෙස විශාල වශයෙන් මුදල් පරිහරණය කිරීම මෙක්සිකෝ නගරයේ ඉන්න සොරුන්ට කරන ආරාධනාවක් වගෙයි.” එහෙමනම් කෙනෙක් “තමාගේ ධන සම්පත් ගැන පුරසාරම් දෙඩීමෙන් වැළකී සිටිය යුතුයි” යන බයිබලයේ සඳහන් උපදෙස අදාළ කරගැනීම මොන තරම් වටිනවාද! (යෙරෙමියා 9:23) මොකද හිතෝපදේශ 11:2 කියන්නේ “නිහතමානී අය ප්‍රඥාවන්තය” කියලයි.

අන් අය තුළ ඇති යහපත් ගුණාංග අගය කරන්න

නිහතමානී කෙනෙක් උඩඟු ලෙස තමන්ට අවධානය ඇදගන්නවා වෙනුවට අන් අය තුළ ඇති හොඳ ගුණාංග මෙන්ම ඔවුන්ගේ හැකියාවන්වලට අවධානය දෙනවා. බයිබලයේ අපට මෙවැනි උපදෙස් දී තිබෙනවා. “කිසි දෙයක් දබරකාරී ස්වභාවයකින්වත් අහංකාරකමින්වත් නොකරන්න. ඒ වෙනුවට නිහතමානීව අන් අය ඔබට වඩා උතුම් කියා සිතන්න.” (ෆිලිප්පි 2:3) එමෙන්ම ‘අහංකාරකමින් ක්‍රියා නොකර එකිනෙකා අතරේ තරඟකාරිත්වයක් ඇති කරමින් එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරන්න.’—ගලාති 5:26.

 

සැබෑ මිත්‍රත්වයක් රඳා පවතින්නේ පරාර්ථකාමී වීමෙන් හා එකිනෙකාට ගෞරව කිරීමෙන් බව දෙවිගේ මඟ පෙන්වීම් පිළිගන්නා අය තේරුම්ගෙන සිටිනවා. කාලයත් සමඟම එවැනි මිත්‍රත්වයන් ශක්තිමත් වෙනවා. සැබෑ මිතුරන් ගැන බයිබලයේ සඳහන් වන්නේ මෙසේයි. “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.” (හිතෝපදේශ 17:17) ප්‍රඥාවන්ත කෙනෙක් උත්සාහ කරන්නේ දෙවිව සතුටු කිරීමටයි. දෙවියන් බලන්නේ කෙනෙකුගේ පිටත පෙනුම නොව “ඇතුළාන්තය” බව ඔහු දන්නවා. (1 පේතෘස් 3:4) ඒ නිසා ඔහු බයිබලයේ සඳහන් “අලුත් පෞද්ගලිකත්වය” පැළඳගැනීම සඳහා යහපත් ගුණාංග වර්ධනය කරගැනීමට මහත් වෙහෙසක් දරනවා. (එෆීස 4:24) අප වර්ධනය කරගත යුතු එවැනි ගුණාංග කිහිපයක් ගැන බයිබලයේ මලාකි නම් පොතේ සඳහන් වෙනවා. “සාධාරණව ක්‍රියා කරන්න. ප්‍රේමයෙන් කටයුතු කරන්න. ඔබේ දෙවි ඉදිරියේ නිහතමානීව හැසිරෙන්න.”—මීකා 6:8.

අද සමාජය නිහතමානී අයව ගණන්ගන්නේ නැහැ. බයිබලය ගැන ඉගෙනගෙන තිබෙන අයට එය පුදුමයක් නොවෙයි. ඊට හේතුව “අවසාන කාලයේදී” සිටින බොහෝ මනුෂ්‍යයන් ‘මුදලට ලොල් වී සිටින, පුරසාරම් දොඩන, උඩඟු, අහංකාර’ අය බව බයිබලයේ පවසා තිබීමයි. (2 තිමෝති 3:1-5) එවැනි සමාජයක ජීවත් වන මිනිසුන්ට තමන්ගේ වත්පොහොසත්කම් ප්‍රදර්ශනය කිරීම සාමාන්‍ය දෙයක්. ඒත් දෙවියන් අපට පවසන්නේ “එවැනි අයගෙන් අහක්ව සිටින්න” කියායි.