Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

වර්ෂ 1993දී ජර්මනියේ විවාහ නොවූ යුවළයන්ට දාව ඉපදුණු දරුවන් සිටියේ සියයට 15යි. නමුත් 2010දී එම සංඛ්‍යාව සියයට 33ක් පමණ වී තිබෙනවා.—ÄRZTE ZEITUNG සහ THE LOCAL, GERMANY.

ඇමරිකාවේ 2010දී කරන ලද ජන ලේඛනයට අනුව දෙමව්පියන් දෙදෙනාගේම රැකවරණය යටතේ හැදෙන දරුවන් සිටින්නේ සියයට 69.4යි. මව සමඟ සියයට 23.1යි. පියා සමඟ සියයට 3.4යි. මාපිය රැකවරණය නැතුව හැදෙන දරුවන්ගේ සංඛ්‍යාව සියයට 4.1යි.—U.S. CENSUS BUREAU, U.S.A.

වර්ෂ 2011දී ස්වභාවික විපත් නිසා ලෝක ආර්ථිකයට සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 380ක් බව තක්සේරු කර තිබෙනවා. “මෙතෙක් වැඩිම වියදමක්” දැරීමට සිදු වූයේ ජපානයේ සිදු වූ භූමිකම්පාවට වන අතර “ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 210ක් වැය වුණා. ඊට ෆුකුෂිමාහි න්‍යෂ්ටික බලාගාරයට ඇති වූ හානිය ඇතුළත් කර නැහැ.”—NEW SCIENTIST, BRITAIN.

ලෝකයේ වැඩියෙන්ම සොරකම් කරන ආහාරය වන්නේ චීස්. සෑම වසරකම සියයට තුනකට අධික චීස් ප්‍රමාණයක් කඩ සේවකයන් විසින් හෝ සොරුන් විසින් සොරාගන්නවා.—CENTRE FOR RETAIL RESEARCH, BRITAIN.

පාපන්දු ක්‍රීඩාවේ අනතුර

හිසෙන් බෝලයට පහර දීම (heading) පාපන්දු ක්‍රීඩකයන්ට සාමාන්‍ය දෙයක්. එලෙස දිගටම පහර දීමේ අවදානමක් තිබෙනවාද කියා මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ කරන පරීක්ෂණ සහ දියුණු තාක්ෂණික වෛද්‍ය පරීක්ෂණ යොදාගෙන පර්යේෂණ කර තිබෙනවා. ඇමරිකාවේ ඇල්බට් අයින්ස්ටයින් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂකයන් පවසන්නේ එසේ කිරීමෙන් “මොළයට හානි ඇති විය හැකි අතර බුද්ධිමය හැකියාවද අඩු වන” බවයි. වසරකට 1,000ත් 1,500ත් අතර වාර සංඛ්‍යාවක් බෝලයට හිසෙන් පහර දෙන නවක ක්‍රීඩකයන්ගේ මොළයට, හඳුනාගත හැකි ප්‍රමාණයේ හානියක් සිදු වන බවත් සොයාගෙන තිබෙනවා.

පදිකයන්ගේ මාරයා

“පදිකයන් හා පාපැදිකරුවන් බොහෝවිට වාහනයක් ළඟ එන බව දැනගන්නේ ඒවායෙන් නිකුත් වන ශබ්දය නිසයි. නමුත් හයිබ්‍රීඩ් වාහනවලින් ශබ්දයක් නිකුත් වන්නේ නැහැ. ඒ නිසා වෙනත් ස්ථානවලදී මෙන්ම මංසන්ධිවලදී වාහනයක් එන බව දැනගැනීමට ඔවුන්ට හැකියාවක් නැහැ. ඒ නිසා එය අනතුරුදායකයි” කියා එක්සත් ජනපදයේ ප්‍රවාහණ දෙපාර්තමේන්තුව පවසනවා. අධ්‍යයනවලින් හෙළි වී තිබෙන්නේ සාමාන්‍ය වාහනවලින් පදිකයන්ට සිදු වන අනතුරුවලට වඩා, හයිබ්‍රීඩ් වාහනවලින් සිදු වන අනතුරු සංඛ්‍යාව දෙගුණයකින් වැඩි බවයි. හයිබ්‍රීඩ් වාහන අඩු වේගයකින් ධාවනය වන විට යම් ශබ්දයක් නිකුත් කිරීමට ක්‍රමයක් යොදන්න කියා එක්සත් ජනපදයේ මහා මාර්ග ප්‍රවාහණ අධිකාරිය යෝජනා කර තිබෙනවා.