Skip to content

පටුනට යන්න

බයිබලය තේරුම්ගැනීමට යෝජනාවක්

බයිබලය තේරුම්ගැනීමට යෝජනාවක්

“ඔයා බයිබලය තේරුම්ගත්ත විදිහ හරි කියලා කොහොමද කියන්නේ? ඒක තමන්ට ඕනේ විදිහට තේරුම්ගන්න ඕනම කෙනෙකුට පුළුවන්.”

සමහර අය එහෙම කියනවා ඔයත් අහලා ඇති. නමුත් ඔයා දැනගෙන හිටියද බයිබල් පදයක් තේරුම්ගන්න අපිට බයිබලයෙන්ම උදව් ලබාගන්න පුළුවන් කියලා? බයිබල් පදයක් කියවද්දී ඒ පදයට කලින් සහ පසුව තියෙන පද කියෙව්වත් එය තේරුම්ගන්න අමාරුයි නම් ඒ විෂය ගැන සඳහන් වෙනත් බයිබල් පද සන්සන්දනය කරලා බැලීම තමයි හොඳම දේ. අපි ඒ විදිහට බයිබලය කියවනවා නම් අපට හිතෙන හිතෙන විදිහේ නිගමනවලට එන්නේ නැතුව බයිබලයේ සඳහන් ඉගැන්වීම්වල නියම හරය බයිබලය තුළින්ම වටහාගන්න පුළුවන්.

උදාහරණයකට, මැරුණු කෙනෙකුගේ තත්වය ගැන බයිබලයේ කියන දේ බලමු. ඒ සම්බන්ධයෙන් බයිබලයේ විවිධ තැන්වලින් උපුටාගත් බයිබල් පද හයක් පහත සඳහන් වෙනවා. ඒවා එකිනෙකට ගැළපෙන විදිහ බලන්න.

  • “මිය ගිය අයවත්, පාතාල ලෝකයේ අයවත් සමිඳුන්ට ප්‍රශංසා නොකරති.”ගීතාවලිය 115:17. *

  • “රජ කුමරුන් කෙරෙහිවත්, පිහිට විය නොහැකි කිසිම මිනිසෙකු කෙරෙහිවත් විශ්වාසය නොතබන්න. මිනිසා අන්තිම හුස්ම හෙළයි. පසට ආපසු හැරෙයි. එදිනම ඔහුගේ යෝජනා සුන් වී යයි.”ගීතාවලිය 146:3, 4.

  • “ජීවත්ව සිටින අය තමන් මිය යා යුතු බව දනිති. මිය ගිය අය කිසිවක් නොදනිති.”ධර්මදේශකයා 9:5.

  • “ඔබට ප්‍රශංසා කරන්ට පාතාල ලෝකයේ කිසිවෙකුට නොහැක. ඔබ කෙරෙහි විශ්වාස කරන්ට මළගියවුන්ට නොහැක. මා ඔබට ප්‍රශංසා කරන්නාක් මෙන් ඔබට ප්‍රශංසා කරන්නේ ජීවතුන් අතර සිටින අයමය.”යෙසායා 38:18, 19.

  • “පාපයේ ප්‍රතිවිපාකය [එනම් මරණය] විඳින්නේ පව් කළ පුද්ගලයාමය.”එසකියෙල් 18:4.

  • යේසුස්ගේ මිත්‍රයෙක් මිය ගිය අවස්ථාවේදී යේසුස් මෙසේ පැවසුවා. ‘අප හිත මිත්‍ර ලාසරස් සැතපී සිටියි. ඔහු පුබුදුවන පිණිස යන්නෙමියි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ කතාකොට ස්වාමීනි, ඔහු සැතපී සිටි නම් ඔහුට සුව වනු ඇතැයි කීහ. එබැවින් ජේසූන් වහන්සේ පැහැදිලි ලෙස කතා කරමින් ලාසරස් මිය ගොස් ඇත.’යොහන් 11:11-14.

ඒ බයිබල් පදවලින් පැහැදිලි වන්නේ අද බොහෝදෙනෙක් විශ්වාස කරන විදිහට මිය ගිය අය ස්වර්ගයේ හෝ වෙනත් ස්ථානයක ජීවත් වන්නේ නැති බවයි. ඒ වගේම ඔවුන්ට අවට ලෝකයේ සිදු වන කිසිම දෙයක් ගැන හැඟීමක්වත් දැනීමක්වත් නැහැ. ඔවුන් සිටින්නේ තද නින්දක් හා සමාන තත්වයකයි. ඒ නිසා දෙවියන්ට ප්‍රශංසා කිරීමටවත් කල්පනා කිරීමටවත් ඔවුන්ට හැකියාවක් නැහැ. *

වැදගත්ම දේ: බයිබලයේ යම් විෂයක් ගැන සොයා බලන විට එයට සම්බන්ධ අනිකුත් පද සොයා බැලීමෙන් එහි නියම හරය පැහැදිලිව තේරුම්ගත හැකියි. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් යොදාගන්නේ එම ක්‍රමයයි. ඒ සඳහා ලොකු වෑයමක් දරන්න සිදු වුණත් එය ඇත්තෙන්ම වටිනා දෙයක්.—හිතෝපදේශ 2:1-5.

^ 5 ඡේ. මෙහි බයිබල් පද උපුටා ගෙන ඇත්තේ පොදු නව අනුවාදයෙනුයි.

^ 11 ඡේ. දෙවිඳුන්ගේ මතකයේ සිටින අයව ඔහු නියමිත කාලයේදී නැවත නැඟිටුවන බව බයිබලයේ සඳහන් වෙනවා.—යෝබ් 14:14, 15; යොහන් 5:28, 29; ක්‍රියා 24:15 බලන්න.