Skip to content

පටුනට යන්න

විවිධාකාර ස්වර රටා මවනා ලූන් කුරුල්ලා

විවිධාකාර ස්වර රටා මවනා ලූන් කුරුල්ලා

ලූන් කුරුල්ලාව දැකගත හැකි වන්නේ කැනඩාව, යුරෝපය සහ උතුරු ඇමරිකාව වැනි රටවල ගංගා සහ විල් ආශ්‍රිතවයි. මෙම කුරුල්ලා නඟන විලාප හඬ ඇසූ කෙනෙකුට නම් එය කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඇත්තෙන්ම එවැනි හඬක් කුරුල්ලෙකුට නැඟිය හැකිද කියා කෙනෙකුට සිතෙයි.

මෙම පියකරු කුරුල්ලා මිනසෝටා ප්‍රාන්තයේ ජාතික පක්ෂියා ලෙස නම් කර තිබෙන අතර කැනඩාවේ කාසියකද දක්නට ලැබෙනවා. සංක්‍රමණික කුරුල්ලෙක් වන ලූන්, අධික ශීත කාලයේදී දකුණු දෙසින් පිහිටි මුහුදුබඩ ප්‍රදේශවලට ඇදී යනවා. දැන් අපි මේ කුරුල්ලාගේ වගතුග ටිකක් සොයා බලමු.

හඬේ ඇති විවිධත්වය

සවස් කාලයේදී හා රාත්‍රී කාලයේදී නඟන විලාප හඬ සැතපුම් ගණනාවක් ඈතට ඇසෙයි. විලේ සිටින තම සහකරුටත්, පැටවුන්ටත්, සෙසු සගයන්ටත් තමා සිටින බව ඇඟවීමට නඟන්නේ කෙටි හූ හඬක්. කැඩි කැඩී නඟන වෙව්ලන හඬින් කියාපාන්නේ තමන්ට අනතුරක සේයාවක් දැනෙන බවයි. උන් පියාසර කරනවිටද නඟන්නේ එම හඬමයි.

එම පක්ෂියාගේ පිරිමි සතා පමණක් නඟන හඬක් ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. ‘තම වසමේ අයිතිය පෙන්වීමට කුරුල්ලා නඟන්නේ වෙනත් හඬක්. එය ඇසෙන්නේ වේගයෙන් ස්වර වෙනස් කරමින් නඟන හඬක් ලෙසයි. කුරුල්ලාගෙන් කුරුල්ලාට මේ හඬ වෙනස්. ඒ විතරක් නෙවෙයි උන් තම වසම වෙනස් කරද්දී හඬත් වෙනස් කරනවා. එම වසමේ කලින් සිටි කුරුල්ලාට වඩා වෙනස් හඬක් නැඟීමටත් උන් වගබලා ගන්නවා. උගේ බර වැඩි වන විට උගේ හඬේ තීව්‍රතාව අඩු වෙනවා.’—BirdWatch Canada.

ලස්සනයි, දක්ෂයි, ඒත් . . .

උන්ට තිබෙන්නේ තද කොළ පැහැයට හුරු කලු පාට හිසක්. උන්ගේ ඇස් දෙක රතු පාට වන අතර හොට කලු පාටයි. එක් එක් ඍතුවලට අනුව උන්ගේ පිහාටුවල වර්ණය වෙනස් වෙයි.

උන්ට තිබෙන්නේ තාරාවන්ගේ වගේ පාද. ඒ නිසා සතුන්ව ගොදුරු කරගන්නත් පීනන්නත් කිමිදෙන්නත් උන් හරි දක්ෂයි. සමහර අවස්ථාවලදී අඩි 200ක් පමණ ගැඹුරට කිමිදෙන උන්ට, විනාඩි කිහිපයක් ජලය යට එලෙස සිටීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම උන් දක්ෂ දඩයක්කරුවෝ.

උන්ගේ ශරීරයේ බර නිසා ඉහළට පියාසර කිරීමත් නැවත වතුරට බැසීමත් උන්ට පහසු කාර්යයක් නොවෙයි. පියාසර කිරීමට පෙර වතුර මත මීටර් සීයක් පමණ පිහිනා යෑමට උන්ට සිදු වෙයි. ඒ වගේම උන් ඉහළ සිට නැවත වතුරට එනවිට කකුල් පිටුපසට කරගෙන වේගයෙන් පහළට එයි. මුලින්ම වතුරට වදින්නේ උන්ගේ බඩ ප්‍රදේශයයි. ඉන්පසුව සෑහෙන දුරක් වතුර දිගේ ඉදිරියට ඇදීගෙන යයි. විශාල විල් හා පොකුණුවලට උන් ආස කරන්නේ ඒ නිසයි.

උන්ගේ පාද පිහිනීමට හුඟක් ප්‍රයෝජන වුණත් ඒවා නිසා උන් ඇවිදින්නේ හා හිටගෙන ඉන්නේ හරිම අමුතු විදිහටයි. ඉක්මනට වතුරට බැසිය හැකි ස්ථානවල උන් කූඩු තනන්නේ ඒ නිසයි.

කුරුල්ලයි කිරිල්ලියි මාරුවෙන් මාරුවට බිත්තර රකියි. පුල්ලි ඇති කොළ පාටට හුරු බිත්තරවලින් පැටවුන් බිහි වීමට දවස් 29ක් ගත වෙයි. අලුත උපන් පැටවුන්ට දින දෙකකට පසුව පිහිනීමටත් ටිකක් කිමිදීමටත් හැකියි. උන්ට පොඩි විවේකයක් අවශ්‍ය වන විට මවගේ පිටේ රවුමක් යනවා. මාස දෙක තුනකින් ඉගිලෙන්න පටන්ගන්න උන් දෙමව්පියන්ගෙන් වෙන් වෙයි.

ලූන් කුරුල්ලට තර්ජනයක් වී තිබෙන්නේ රාජාලීන්, ලිහිණින් සහ රැකූන් වැනි සතුනුයි. ඒත් ලොකුම සතුරා මිනිසායි. ඊයම්වලින් තැනූ බිලි කොකු සහ ජාලාශවලට මිශ්‍ර වන තෙල්ද කුරුල්ලන්ගේ ජීවිතයට හානියක්. අම්ල වැසි නිසා ජාලාශවල මත්ස්‍යයන් වඳ වී යෑම මෙම පක්ෂියාගේ පැවැත්මට විශාල තර්ජනයක් වී තිබෙනවා. බෝට්ටු එහා මෙහා යෑමේදී ඇති වන රැළිවලට මෙම පක්ෂියාගේ කූඩු ගසාගෙන යනවා. එමෙන්ම විල් හා වැව් අවට සංවර්ධනය කිරීම නිසා උන්ගේ නිජබිම අහිමි වීම තවත් තර්ජනයක්.

එම සියලු තර්ජන හමුවේ ලූන් කුරුල්ලා තවමත් දිවි රැකගැනීමට සමත් වීසිටිනවා. ඒ නිසා මෙම මනහර කුරුල්ලාගේ හඬ මෙන්ම උන්ගේ චර්යාවන් තවත් වසර කිහිපයකට දැක බලා ගැනීමට හැකියි.

Page 16, loon landing: Spectrumphotofile; page 17, loon chick: © All Canada Photos/SuperStock; loon vocalizing: © Roberta Olenick/age fotostock