Skip to content

පටුනට යන්න

2 හොඳින් අදහස් හුවමාරු කරන්න

2 හොඳින් අදහස් හුවමාරු කරන්න

“මං කොච්චර මහන්සියෙන් හිටියත් දරුවන් මාත් එක්ක කතා කරද්දී ඉවසීමෙන් අහගෙන ඉන්න මම පුරුදු වුණා.”—දකුණු අප්‍රිකාවේ මිරැන්ඩා.

අභියෝගය.

“මගේ ඔළුවේ දහසකුත් ප්‍රශ්න හින්දා දුවට සම්පූර්ණ අවධානය දෙන්න විදිහක් නෑ” කියා ක්‍රිස්ටිනා නම් මව පවසනවා.

යෝජනා.

දරුවන්ට ඔබ සමඟ නිදහසේ කතා කිරීමට සුදුසු පරිසරයක් ඇති කරන්න. “මම දරුවන් එක්ක හොඳට කතාබහ කරනවා. ඒ නිසා දරුවනුත් එයාලගේ හිතේ තියෙන දේවල් මට කියනවා. මම එයාලට උනන්දු කරන්නේ යාළුවෝ වගේ ඉන්න කියලයි. තරහා මරහා තියාගෙන නින්දට යන්න එපා කියලත් කියලා තියෙනවා. කතා නොකර බුම්මගෙන ඉන්නවට මම කැමති නැහැ කියලත් එයාලා දන්නවා.” එසේ පැවසුවේ දරුවන් පස්දෙනෙකුගේ මවක් වන එලිසබෙත්.

දරුවන්ට සවන් දෙන්න. ලිඈන් නම් මවගේ අද්දැකීම මෙයයි. “පුතා පුංචි කාලේ තොරතෝංචියක් නැතුව කියෝනවා. මම සමහර වෙලාවට එයා කියන දේවල්ට ඇහුම්කන් දෙන්නෙත් නැහැ. එයා ටිකක් ලොකු වෙද්දී මාත් එක්ක කතා කරන එක නැවැත්තුවා. පස්සෙයි මට මගේ අතින් වෙච්ච වැරැද්ද තේරුණේ. මම ලොකු මහන්සියක් ගත්තා ආයෙත් එයාව මුලින් හිටිය තත්වෙට ගේන්න. මම වැඩිමහල්ලෙක්ගෙන් උපදෙස් ගත්තා. එයා කිව්වේ ටික ටික ආයෙත් පුතා එක්ක කතා කරන්න පටන්ගන්න කියලයි. ටික කාලෙකින් ප්‍රශ්නේ විසඳුණා.”

ඉවසීමෙන් කටයුතු කරන්න. “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:7) “මගේ දරුවෝ කතා කරන්න ආස නැති වෙලාවල් තියෙනවා. ඒත් ඕනෙ වෙලාවක මාත් එක්ක කතා කරන්න පුළුවන් කියලා මම එයාලට දැනෙන්න සලස්වනවා.” එසේ පැවසුවේ දරුවන් තිදෙනෙකුගේ මවක් වන ඩල්සි. දරුවන් කතා කරන්න අකමැති වෙලාවට කතා කරන්න කියා බල කරනවා වෙනුවට ඉවසීමෙන් දරුවාව ඒ සඳහා පොලඹවන්න. “මිනිස් සිතේ අදහස් ගැඹුරු ළිඳක වතුර වැනිය. නැණ නුවණ ඇති අය එය ඇදගනිති” කියා බයිබලයෙත් සඳහන් වෙනවා.—හිතෝපදේශ 20:5, නව අනුවාදය.

“ඇහුම්කන් දීමට ඉක්මන් වෙන්න. කතා කිරීමට ප්‍රමාද වෙන්න.” (යාකොබ් 1:19) කලින් ලිපියේ සඳහන් කළ ලයිසාන් පවසන්නේ ඇගේ දරුවන් ප්‍රශ්නයක් කියන්න එනකොට ඇය ඉවසීමෙන් ඔවුන්ට ඇහුම්කන් දෙනවා කියායි. ඒ වගේම ප්‍රශ්නයක් කියපු ගමන්ම උපදෙසක් දෙන්න ඇය ඉක්මන් වෙන්නෙත් නැහැ. පුතුන් දෙදෙනෙකුගේ මවක් වන ලීසා පවසන්නේ ඇය හැමවිටම හොඳින් ඇහුම්කන් දුන්නේ නැහැ කියලයි. දරුවන් කියන දේවල් එතරම් වැදගත් නොවුණත් එයාලගේ හැඟීම් තේරුම්ගන්න ඕනේ කියලා ඇය අවබෝධ කරගත්තා.

“නිතරම කාරුණිකව කතා කිරීමට පුරුදු වන්න.” (කොලොස්සි 4:6) “දරුවන් කතා කරනකොට ඒකට බාධා කරන්නේ නැතුව ඉවසීමෙන් ඇහුම්කන් දෙන්න මම ලොකු වෑයමක් ගන්නවා. ලොකු ප්‍රශ්නයක් ගැන කියනකොටත් මම ඒ විදිහටම තමයි කටයුතු කරන්නේ” කියා ලිඈන් පවසනවා.

ඔබ කෝපයෙන් දරුවන්ට කෑගැසුවොත් ඔවුන් මානසිකව බිඳ වැටෙනවා. (එෆීස 4:31) උදාහරණයකට දරුවෙක්ට කෑගැසීමෙන් දරුවාගේ හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. යෞවන දියණියක් සිටින මවක් වන හයිඩි පැවසුවේ මෙසේයි. ‘දරුවෙක්ට ආදරෙන් කතා කළොත් එයා එයාගේ හිතේ තියෙන දේවල් භය නැතුව කියන්න පෙලඹෙනවා. ඒත් දරුවෙකුට අපහාස කරලා කෑගහනවා නම් දරුවා ආයෙත් කිසිම දෙයක් කියන්නේ නැහැ.’

දරුවාව තේරුම්ගන්න. “මගේ පුතාලා දෙන්නා, දෙවිදියක්. එක් කෙනෙක් කටකාරයි. අනිත් කෙනා හරි නිශ්ශබ්දයි. නිශ්ශබ්ද කෙනා එක්ක කතා කරද්දී කෙලින්ම දේවල් අහලා දැනගන්න බැහැ. ඒ නිසා එයා ආස දෙයක් ගැන කියනකොට හරි මම එයත් එක්ක සෙල්ලමක් කරනකොට හරි තමයි මම එයාගේ හිතේ මොනවද තියෙන්නේ කියලා දැනගන්නේ.” එසේ පැවසුවේ කලින් සඳහන් කළ යාස්මින් නම් මවයි.

යෞවන පිරිමි දරුවෙක් සමහර විෂයන් ගැන තම මව සමඟ කතා කරන්න අකමැති වෙන්න පුළුවන්. එවැනි තත්වයකට මිසාඕ නම් මව මුහුණ දුන්නා. මගේ පුතා හැමතිස්සෙම කිව්වේ “අම්මේ ඔයාට මාව තේරුම්ගන්න බැහැ” කියලයි. ඒ නිසා ඇය ක්‍රිස්තියානි සභාවේ විශ්වාසවන්ත තැනැත්තෙකුගෙන් උපකාර පැතුවා. “දැන් ඔහු මගේ පුතාට හොඳ මඟ පෙන්වීම් ලබා දෙනවා. පුතා දැන් ඉන්නේ සතුටින්” කියා ඇය පැවසුවා.

දරුවාට හොඳ මිතුරියක් වෙන්න. ඒ වුණත් දරුවාගේ මව ඔබයි. “මගේ හැම ප්‍රශ්නයක්ම මම දුවට කිව්වා. පස්සේ මම තේරුම්ගත්තා එහෙම කරන එක වැරදියි කියලා” කියා යෞවන දරුවන් දෙදෙනෙක් සිටින ඉවෝනා නම් මව පවසනවා. ඔබ දරුවන් සමඟ කිට්ටු මිත්‍රත්වයක් තියා ගත්තත් දරුවාගේ මව ඔබයි කියන එක අමතක කරන්න එපා. මවක් හැටියට ඔබේ ගෞරවය රැකගත්තොත් ‘දරුවෙනි, ඔබේ දෙමාපියන්ට කීකරු වන්න’ යන බයිබලයේ සඳහන් උපදෙස පිළිපදින්න දරුවන්ට පහසු වෙයි.—එෆීස 6:1, 2.

‘දරුවන්ට ප්‍රේම කරන්න.’ (තීතස් 2:4) දරුවන්ට කෑම බීම වගේම ආදරයත් අත්‍යවශ්‍යයි. ඒ නිසා ඔබේ කතාබහෙන් සහ ක්‍රියාවෙන් ඔබේ ආදරය ඔවුන්ට දැනෙන්න සලස්වන්න. එවිට පවුල තුළ ඔවුන්ට ආරක්ෂාවක් දැනෙයි. ඒ වගේම ඔවුන්ගේ සිතේ තිබෙන දේ ඔබට පවසන්නත් ඔබට කීකරු වෙන්නත් ඔවුන්ට පහසු වෙයි.