Skip to content

පටුනට යන්න

3 මුල් තැන දිය යුතු දේවල් හඳුනාගන්න

3 මුල් තැන දිය යුතු දේවල් හඳුනාගන්න

“රස්සාවයි, දරුවෝ බලාගන්න එකයි, ආගමේ වැඩයි, ගෙදර වැඩයි සමබරව කරන එක හරිම අමාරුයි. සමහර වෙලාවට විවේකයක් ඇත්තෙම නැහැ.”—ජපානයේ යෝකෝ.

අභියෝගය.

“රස්සාව කරන ගමන් දරුවන්ගේ ඕනෑ එපාකම් වගේම එයාලගේ මානසික අවශ්‍යතාත් හොයලා බලන්න ඕනේ. එයාලව ආගමික දේවල්වලට යොමු කරන්නත් ඕනේ. ඕවා තමයි මට තියෙන ලොකුම අභියෝග.” එසේ පැවසුවේ පුතුන් දෙදෙනෙක් සිටින මවක් වන මිරැන්ඩා.

යෝජනා.

ඔබටත් ඔබේ දරුවන්ටත් ඇත්තටම වැදගත් මොනවාද කියා සිතා බලා ඒවාට මුල් තැන දෙන්න.

මුල් තැන දිය යුතු දේවල් මනසේ තබාගෙන ඒ අනුව ඔබේ කාලය හා මුදල් යොදවන්න. උදාහරණයකට ඔබ දරුවන්ගේ සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන නිසා මහන්සි වී උපයාගන්නා මුදල් පෝෂ්‍යදායී ආහාර ලබාගැනීමට යොදවන්න. එවිට බේත්හේත්වලට අනවශ්‍ය ලෙස මුදල් වැය කිරීමට සිදු වන්නේ නැහැ. වෙළඳපොලට යෑමට පෙර මිල දී ගත යුතු බඩු ලැයිස්තුවක් සකස් කරන්න. එවිට දකින දකින දේ ගැනීමට ඇති වන පෙලඹීම මඟහරවා ගත හැකියි. ඇමරිකාවේ වෙසෙන දරුවන් හතරදෙනෙකුගේ පියෙක් වන රොබෙටො මෙසේ පවසනවා. “අපි නම් ගෙදර උයලයි කන්නේ. ඒ වගේම මම මුදල් වැය කරන්නේ අත්‍යවශ්‍ය දේවල්වලට විතරයි.”

හැම දවසකම අඩුම තරමින් එක කෑම වේලක් හෝ එකට එකතු වී ගන්න

පාවිච්චි නොකරන ඇඳුම් පැළඳුම්, පොත් පත්, බඩුමුට්ටු වගේ දේවල් අයින් කරන්න. මවක් මෙසේ පවසනවා. “බඩු වැඩි නම් වැඩත් වැඩියි. ඒ නිසා ජීවිතය සරල කරගන්න නම් බඩු අඩු කරන එක තමයි හොඳම දේ.”

ගෙදර දොරේ වැඩ පිළිවෙළට කරන්න දරුවන්ව පුහුණු කරන්න. ඔවුන්ගේ කාමර පිළිවෙළකට තබාගන්න පුහුණු කළොත් නිවස පිළිවෙළකට තබාගැනීමට ඔවුන් පුරුදු වෙයි. මේ සම්බන්ධයෙන් ඔබ හොඳ ආදර්ශයක් තබන විට දරුවනුත් ඔබව අනුකරණය කරයි.

ඔබ කොතරම් කාර්යබහුල වුණත් දරුවන් සමඟ කාලය ගත කිරීමට අමතක කරන්න එපා. නමුත් එය යම් නිශ්චිත කාලයකට සීමා නොකර ඔබට හැකි සෑමවිටම ඔවුන් සමඟ කාලය ගත කරන්න. දරුවන් සමඟ කාලය ගත කිරීමත් ඔවුන්ට ඔබේ අවධානය දීමත් අත්‍යවශ්‍යයි.—ද්විතීය කතාව 6:7.

හැම දවසකම අඩුම තරමින් එක කෑම වේලක් හෝ එකට එකතු වී ගන්න. ඒ අවස්ථාව සතුටින් ගත කරන්න. දරුවන් තිදෙනෙකුගේ මවක් වන කොලෙට් මෙසේ පවසනවා. “අපි හැමෝම ගෙදර ඉන්නේ රෑට නිසා රෑ කෑම කන්නේ එකට. ඒ වෙලාවෙදි තමයි අපි හුඟක් දේවල් කතා කරන්නේ. අදටත් අපි හැමෝම එකට එකතු වෙලා කෑම කන එකෙන් සතුටක් ලබනවා.”